දේශීය

බදු අයකර ගැනිම කාර්යක්ෂම කිරීම සඳහා පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කලයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බනධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙනඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට අවස්ථා කීපයකදී ගෙන්වා සාකච්ඡා කළ බවත් එහිදී හදුනාගත් ගැටලු ගණනාවක් පවතින බවයි. සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ඔනෑම පුද්ගලයකුට බදු නොගෙවා වසර 15 සිටිය හැකි බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ලිපිගොනුවක් තක්සේරු කිරීම සඳහා පවතින පනත යටතේ මාස 30 සහ අභියාචනා සලකා බැලීම සඳහා තවත් මාස 24 පවතී. ඒ අනුව බදු ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54කට අධික කාලයක් පවතින අතර ඉන්පසු බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව ඔවුන්ට වසර 2 කාලයක් ඒ සඳහා හිමි වන බවද හෙතෙම පැවසීය. ඉන් පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බවත් මේ සඳහා ආසන්න වශයෙන් වසර 15 කට අධික කාලයක් ගත වන බවත් හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ කළේ 2023.06.30 දිනයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 බවත් විවිධ හේතු මත අයකර ගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767 බව සහ අය කර ගත හැකි මුදල් රුපියල් බිලියන 175 බවයි. එමෙන්ම හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37 මුදලක් අයකර ගෙන ඇති බවද නිලධාරීන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

සෑම වසරකම නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු පසු ඉන් අනතුරුව ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නිලධාරීන් පෙන්වා දුන්නේ එම බදු වාර්තාව ලැබුණු පසු අදාල නිලධාරියා එම තොරතුරු RAMIS පද්ධතියට ඇතුලත් කරන බවත් ගැටලු පවතින අවස්ථා හදුනා ගැනීම සිදු කරන බවත් ඉන් අනතුරුව විගණනයක් සිදු කරන බව සහ ඇතැම් අවස්ථාවන්හීදී යම් පැහැදිලි කිරීම් සිදු කිරීම සඳහා වැඩිදුර තොරතුර ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. එසේ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හිදී බොහෝවිට බදු හිමියන් විසින් එම තොරතුර හිතාමතාම ප්‍රමාද කරන බව ද නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වා දෙන ලදී.

බදු වාර්තාව නිලධාරීයා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනුතුරුව කොමසාරිස් ජෙනරාල්ට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාරක සභාව ප්‍රකාශ ක‍ළේ කොමසාරිස්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක (02) කාලය වැඩි බවත් එය මාස හයක් (06) දක්වා අඩු කිරීම යෝග්‍ය බවයි. කෙසේ වුවත් මාස 06 තුළ තීරණය ලබා නොදෙන්නේ නම් තක්සේරු මුදල වෙනස් නොවෙන බව උපකල්පනය කළ යුතු බව මෙහිදි අධිකරණ අමාත්‍යයවරයා ප්‍රකාශ කළේය. මෙනිසා බදු ගෙවන්නන් බදු කොමිෂන් සභාවට අභියාචනා කරන්නේ නම් තක්සේරු මුදලින් අවම වශයෙන් 50 % ගෙවිය යුතු බවට පනත සංසෝධනය කළ යුතු බවට මෙහිදි යෝජනා විය.

බදු අභියාචන කොමිෂන් සභාවේ බලතල පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. ඒ අනුව බදු අභියාචනා කොමිෂන් සභා පනතේ යම් සංශෝධනයන් සිදු කිරීම පිළිබඳව කරක සභාවේ අවධානය යොමු විය. දැනට දින 270 කාලයක් අභියාචනයක් විභාග කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට පවතින අතර ඒ සඳහා යම් කාල රාමුවක් ලබා දීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බදු අභියාචනා කොමිෂන් සභාවේදී සලකා බැලිය යුත්තේ තක්සේරු මුදල හෝ ගණනය කිරීම් පිළිබඳව පවතින ප්‍රශ්න පමණක් බවත් මුලික කාරණාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනාකිරීම සඳහා අවශ්‍ය පනතට සංශෝධනය ගෙන ආ යුතු බවත් මෙහිදි කමිටුව තීරණ කළේය.

දැනට පනතේ තක්සේරු කිරිම සඳහා මාස 30 කාලය වසර එකක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවද කාරක සභාවේ අදහස විය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව කමිටුව තීරණය කළේ එම මාස 30 එසේ තැබීමටත් නමුත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය අවස්ථාවන්හිදී එම කාල සීමාව ගැසට් මගින් වෙනස් කිරීම සඳහා අවශ්‍ය බලය පනතින් ලබා දීමට කටයුතු කිරීම සුදුසු බවයි.

ඒ අනුව පනත සඳහා සංශෝධන ලෙස කොමසාරිස් ජෙනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවට සහ එසේ නොවුනහොත් මුලික තක්සේරුව නිවරදි හා ස්ථිර වු බවට උපකල්පනය කරන බවට පනතට ඇතුළත් කිරීමට යෝජනා විය. ඒ අනුව බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකිය. බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයක් (06) ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් එ් ගැන විභාග කිරීම පමණි. අනෙකුත් ප්‍රාථමික විරෝධතාවයන් එනම් නීතියේ ප්‍රශ්න පවතීනම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකිය. අභියාචනාධිකරණයටද යම් කාල රාමුවක් හදුන්වා දිය යුතු බව, එනම් අවුරුදු එකක් ඇතුළත අභියාචනය විභාග කර අවසන් විය යුතු බව පනතේ දැක්විය යුතු බවද මෙහිදී යෝජනා විය.

එමෙන්ම බදු අභියාචනා විභාග කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අධිකරණ සංකීර්ණයක් පිහිටුවීමට ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා එකඟතාවය පළ කළේය.

මෙම සාකච්ඡාවේදී මතු වු කරුණු ඇතුළත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන කෙටුම්පත් කිරීම නීතිපතිතුමා හා පනත් කෙටුම්පත් සම්පාදක විසින් සිදු කිරීමටත් එම සංසෝධනය සකස් කළ පසු ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී රැස්වී නැවත සාකච්ඡා කිරීමටත් කමිටුව තීරණය කළේය.

Recent Posts

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

7 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

21 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

1 day ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

1 day ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

4 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 days ago