Thursday, September 17, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator...

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation) සඳහා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද Civil Society Shadow Report එළිදැක්වීම අද පැවැත්වුණා.

එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සිවිල් අවකාශය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.

ඔහු පෙන්වා දුන්නේ, සිවිල් සමාජ සංවිධාන රජයට විරුද්ධ පාර්ශ්වයක් ලෙස පමණක් නොව, හවුල්කරුවන්, නිරීක්ෂකයන් සහ ජනතාව හා ආයතන අතර සම්බන්ධතාවයක් ඇති කරන පාර්ශ්වයක් ලෙස කටයුතු කරන බවයි.

FATF හි නිර්දේශ අංක 8 සම්බන්ධයෙන් අදහස් දක්වමින් Franche මහතා සඳහන් කළේ, අතීතයේදී ඇතැම් රටවල් ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි ක්‍රියාමාර්ග ලෙස සමස්ත ලාභ නොලබන සංවිධාන ක්ෂේත්‍රයටම පුළුල් සීමා පැනවූ බවයි.

එමඟින් නීත්‍යානුකූල පුණ්‍යායතන සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම්වලටද බලපෑම් එල්ල වූ බව ඔහු පෙන්වා දුන්නේය.

2023 වසරේ FATF නිර්දේශ අංක 8 සංශෝධනය කිරීමෙන් පසුව, සැබෑ අවදානමක් පවතින ලාභ නොලබන සංවිධාන හඳුනාගෙන ඒවාට අදාළ පියවර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Franche මහතා පෙන්වා දුන්නේ, ආරක්ෂාව සහතික කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ග ඉලක්කගත, සමානුපාතික සහ සාක්ෂි මත පදනම් වූ ක්‍රියාමාර්ග විය යුතු බවයි.

එමෙන්ම සිවිල් අවකාශය රටක සංවර්ධනය, සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් සඳහා වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමටත්, ප්‍රජාවන් සංවිධානය වීමටත්, ආයතන සහ ජනතාව අතර සම්බන්ධතාව ගොඩනැගීමටත් සිවිල් සමාජය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂාව සම්බන්ධ නීති පුළුල් ලෙස අර්ථකථනය කර භාවිත කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව Franche මහතා ප්‍රකාශ කලේය.

ඔහුගේ ප්‍රකාශයට අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන් සහ සුළුතර කණ්ඩායම් පිළිබඳව මීට පෙරද අවධානය යොමු වී තිබෙනවා.

READ:   ව්‍යාජ 5,000 නෝට්ටු තොගයක් සමග විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට

සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් විසින් නිරීක්ෂණය කිරීම, බිය ගැන්වීම සහ අසමානුපාතික පරීක්ෂාවන් පිළිබඳව වාර්තා කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර 2026 වසරේදී ත්‍රස්තවාදී මූල්‍යකරණය, මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණයට අදාළව නීති සංශෝධන සිදුකර ඇති බවත්, එම නීති මඟින් විමර්ශන, නිරීක්ෂණ, වත්කම් අත්හිටුවීම සහ වත්කම් කළමනාකරණයට අදාළ බලතල පුළුල් වී ඇති බවත් Franche මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ සහ NGO ලියාපදිංචිය හා අධීක්ෂණයට අදාළව යෝජනා වී ඇති නව නීති සම්බන්ධයෙන්ද සිවිල් අවකාශය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

එවැනි නීති සකස් කිරීමේදී අත්තනෝමතික රඳවා තබා ගැනීම්, අසමානුපාතික නිරීක්ෂණ, සාධාරණ හේතුවකින් තොරව වත්කම් අත්පත් කර ගැනීම සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් සඳහා අනවශ්‍ය සීමා පැනවීම වැළැක්වීමට ආරක්ෂණ ක්‍රමවේද තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

Franche මහතා වැඩිදුරටත් කියා සිටියේ, නීති සම්පාදනයේදී රජය, පාර්ලිමේන්තුව, මූල්‍ය ආයතන සහ නියාමන ආයතන විසින් සිවිල් සමාජය සමඟ පුළුල් හා අර්ථවත් සාකච්ඡාවක් පවත්වාගෙන යාම වැදගත් බවයි.

යෝජිත නීති කෙටුම්පත් දේශීය භාෂාවලින් ප්‍රසිද්ධ කර, ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ලබාදී අදහස් ලබාගත යුතු බවද ඔහු සඳහන් කළේය.

සිවිල් සමාජ සංවිධාන සම්බන්ධ නීති මඟින් ඔවුන්ගේ නීත්‍යානුකූල කටයුතුවලට අනවශ්‍ය සීමා නොපැනවිය යුතු බවත්, මානුෂීය සහ ආපදා ප්‍රතිචාර කටයුතු, බැංකු සේවා සඳහා ප්‍රවේශය සහ ස්වාධීන සමාලෝචන හා ප්‍රතිකර්ම සඳහා අවස්ථාව සහතික කළ යුතු බවත් Franche මහතා පෙන්වා දුන්නේය.

සිවිල් අවකාශය ආරක්ෂා කරමින්, සාක්ෂි මත පදනම් වූ සහ සමානුපාතික ප්‍රවේශයක් අනුගමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN Resident Coordinator
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්