ක්‍රීඩා

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට බලාපොරොත්තු එක් කළ විශේන් හැළඹගේ නම් ක්‍රිකට් ක්‍රීඩකයා වර්තමාන ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුවේද බරපතල කැපිල්ලකට හසු වී ඇති ආකාරයක් ඉතා පැහිදිළිව දක්නට ලැබේ.

ඉතිහාස කතාව

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන සංචිතයෙන් විශේන් හැලඹගේ නම් ක්‍රීඩකයා කපා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාව සිටින කාලයේය.

ඉතා සියුම්ව ක්‍රියාත්මක වූ එම මෙහෙයුම නතර කර ගන්නට අවස්ථාවක් උදා වූයේ එවක ක්‍රීඩා අමාත්‍යවරයාගේ හා තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ සනත් ජයසූරියටද අත් හැරිය නොහැකි මාධ්‍යවේදියෙකු හරහා ලැබූ ඉල්ලීමක් හරහාය.

එම අවස්ථාවේදීද තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තරගයකදී 19න් පහළ යොවුන් ක්‍රීඩකයින් ලකුණු 60ගණනකට කඩුලු 6ක් බිඳ වැටී තිබූ අවස්ථාවක තරගයට ඇතුළත්ව නොසිටි නමුත් ඒ අවස්ථාවේදී අසල නෙට් එකක පිතිකරණයේ යෙදෙමින් සිටි විශේන් හදිසියේ පිතිකරුවෙකු ලෙස පිටියට යැවීමට ගත් තීරණයේ ප්‍රතිඵලය වූයේ විශේන් හැළඹගේ නම් පිතිකරුවා පිටිය දෙසට එල්ල කළ 6 පහරවල් කිහිපයක්ය.

අසල සිටි රුවන් කල්පගේගෙන් සනත් ජයසූරිය එම අවස්ථාවේදී විමසා සිටියේ මෙච්චර දවසක් මූ කොහේද හිටියේ ? එවිට රුවන් කල්පගේ පිළිතුරු දුන්නේ මේ තමයි විශේන් හැළඹගේ.

තම ප්‍රශ්නය ඇස් වලින් ගිල ගත් සනත් එදා විශේන් හැළඹගේ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කළේ ඒ හැර අන් විකල්පයක් සොයා ගැනීමට නොහැකි නිසාවෙනි.

නමුත් විශේන්ගේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ගමන එක් තරගයකට පමණක් සීමා විය.

ඔහුට හරි හමන් අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව ක්‍රියා නොකළේ කුමන අදෘශ්‍යමාන හස්ථයක බලපෑම නිසාදැයි අදටත් ප්‍රශ්නාර්ථයකි.

වර්තමාන තත්වය ඊට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගෙන තිබෙනු දැකීමද විමතිය දනවන්නකි.

ගෙවී යන 2026 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ හොඳම පිතිකරුවා සහ වසරේ ක්‍රීඩකයා විශේන් හැළඹගේය.

තමා දක්ෂයෙකු පමණක්ම බව ක්‍රීඩාව තුළ එලෙස ඔප්පු කළ විශේන් වර්තමාන පරිපාලනය තුළ ද අනාතයෙකු බවට පත්ව ඇත.

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුවෙන් විශේන් හැළඹගේ පිළිබඳ විමසීමේදී එදින මාධ්‍ය හමුවට සහභාගී වූ තරංග පරණවිතාන නම් තේරීම් කමිටු සාමාජිකයා ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර පැවසුවේ අපි මේ ප්‍රශ්නයට උත්තර දීමට සූදානම් වී පැමිණි බවය.

ඒ හරහා පෙනී යන්නේ විශේන් හැළඹගේගේ ක්‍රීඩා දක්ෂතා තේරීම් කමිටුවටද හිසරදයක් බවට පත්ව තිබූ බව විනා අන් කිසිවක් නොවේ.

කෑමට උවමනා වූ විට කබර ගොයා තලගොයා කර ගන්නා ප්‍රතිපත්තියක එදා සිටම සිටි මෙවැනි නිලධාරීන් ඉතිහාසය පුරා දක්ෂ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා අනාගතයන් විනාශ කළ අවස්ථා පිළිබඳ ඕනෑ තරම් ඉතිහාසයේ උදාහරණ පෙන්වා දිය හැකිය.

ආසියානු නැගී එන ක්‍රීඩකයින්ගේ තරගාවලියට ගිය විශේන් යලිත් ක්‍රිකට් අනාතයෙකු බවට පත් වූයේ ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුණු තරග ගණන සමගය.

වර්තමාන තත්වය තවදුරටත් විශේන් නැමැති ක්‍රීඩකයා ක්‍රීඩා පිටියෙන් අතුගා දැමීමේ කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

තේරීම් කමිටුව ඔහුට උපදෙස් දී ඇත්තේ පන්දු රැකීම තවත් දියුණු කර ගන්නා ලෙසය.

විටින් විට විවිධ හේතු දෙමින් විශේන් ක්‍රිකට් පිටියෙන් ඈත් කිරීමේ මෙහෙයුමට හොඳම උදාහරණය ලෙස ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කණ්ඩායමට ඔහු ඇතුළත් නොකිරීම පෙන්වා දිය හැකිය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් පවා කණ්ඩායමට එක් වද්දී මේ තරුණ ක්‍රීඩකයාට සිදු වූයේ වසරේ දක්ෂතම ක්‍රීඩකයා හා හොඳම පිතිකරුවා ලෙස ඔහුට ලැබුණු සම්මාන දෙස බලා සුසුමක් හෙලීමට පමණි.

අවස්ථා ගණනාවක් තරගාවලි කිහිපයක අසාර්ථක වූ පිතිකරුවන් තේරීම් කමිටු සාමාජිකයින් එහෙට මෙහෙට මාරු කරමින් විශේන් නම් ක්‍රීඩකයාට අවස්ථාවක් ලබා දීම මග හැරීමට කටයුතු කිරීම විමතිය දනවන කරුණක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සඳහා විශේන් ඇතුළු ක්‍රීඩකයින් 40 දෙනෙකු ප්‍රමෝධ්‍යගේ තේරීම් කමිටුව විසින් නම් කර තිබුණේ ඒ සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය ඇතුළු කරුණු ගණනාවක් යටතේයි.

ඒ අතරින් ක්‍රීඩකයින් 10 දෙනෙකු වෙනුවෙන් මසකට රුපියල් පන් ලක්ෂ විසි පන්දහසක මාසික කොන්ත්‍රාත්තු ගෙවීමක් ක්‍රීඩකයින් හට ලබා දෙද්දී විශේන් හැළඹගේට පමණක් මාසිකව රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට එක් කිරීම විශේන්ට දක්වන කුඩම්මාගේ සැලකිකිල්ල පිළිබඳ ඇති හොදම සාක්ෂියයි.

දේශීය ක්‍රීඩා පිටිය තුළ බටහිර ඉන්දීය කදෙව් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සහ ලකුණු 48ක් ලබා ගනිමින් අවසන් අවස්ථාවේ දක්ෂතා දැක්වූ විශේන් තේරීම් කමිටු කැපිල්ලට හසු වද්දී එම තරගයට ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර පිටියේ අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව කටයුතු කර තිබුණේ කාගේ උවමනාවක් මතද යන්න පිළිබඳ බලධාරීන් පිළිතුරු බැඳිය යුතුමය.

මෙවැනි දැඩි කැපිල්ලකට ලක්ව සිටින විශේන් හොංකොංහි පැවති සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා යැවීමට තේරීම් කමිටුව ගත් තීරණය කපන්නට බැරි අත සිඹීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

කඩුලු රකින්නෙක් නොමැතිව හොංකොං ගිය සය සාමාජික කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස වි‍ශේන් යොදා ගැනීමට කටයුතු කරන ලෙසත් එසේ නොමැතිනම් ඔහු එලියේ තබන ලෙසත් උපදෙස් දුන්නේ කුමන බලධාරියාදැයි යන්න ඔහු ඔහුගේම හෘද සාක්ෂියෙන් විමසිය යුතුය.

තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් විශේන් පළමු තරගයේදීම යළිත් ක්‍රිකට් තේරීම් කමිටුවට තම පිත්තේ බලය පෙන්වා දුන්නේ පන්දු 11කින් අර්ධ ශතකයක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙනම ක්‍රීඩකයා ලෙස තම හැකියාවේ බලය පිත්තෙන් පෙන්වූ විශේන් හැළඹගේ නම් ක්‍රීඩකයා යළිත් තේරීම් කමිටුවට හිසරදයක් වූවාට කිසිම සැකයක් නැත.

තරගාවලිය ආරම්භයට පෙරම විශේන්ගේ පිතිකරණ හැකියාව පිළිබඳව දැන සිටි ඔහුට එරෙහි පුද්ගලයෙක් සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ගොඩ නගමින් හොංකොං සික්සර්ස් තරගාවලියේ හයේ සීමාවන් වල දුර මීටර 50ක් බව සඳහන් කරමින් එහිදී දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ගෙන ඒමට ඉල්ලීම් නොකරන ලෙස මුහුණුපොත පුරා සටහන් තබන්නට කටයුතු කර තිබෙනු දක්නට ලැබිණි.

ක්‍රිකට් මතින් යැපෙන බඩගෝස්තරවාදී මාධ්‍ය පැංචන් තම ගිණුමට වැටෙන මුදල් හරහා මෙවැනි තර්ක විතර්ක සිය මුහුණු පොත් වල සටහන් තබා තිබෙනු දක්නට ලැබීම කණගාටුවට මෙන්ම මුදල් මත යැපෙන එවැනි මාධ්‍ය පොඩ්ඩන්ට අන් විකල්පයක් නොමැති වීම ගැනද ඇත්තේ කණගාටුදායක තත්වයකි.

එදා හොංකොං සිකස්ර්ස් තරගාවලියට සහභාගී වූ සනත් ජයසූරිය මේ පිටියෙන් එහා පන්දුව පාරට වැටෙන්නට ගැසූ ක්‍රිකට් ඉතිහාසය පොරවල් යැයි සිතනා මේ ලිලිපුට්ටන් නොදැන සිටීම ඔවුන්ගේ ක්‍රිකට් දැනුම ගැන සිත ගැනීමට මිණුම් දණ්ඩකි.

විශේන්ට පන්දුවාර 20 පිටියද පන්දුවාර 50 පිටියද තේරීම් කමිටුවට අනුව තවමත් අකැපය.

එයට හේතුව ක්‍රීඩා සමාජ වල බලය තහවුරු කර ගෙන සිටින ඇතැම් බලධාරීන්ගේ මනදොල සතුටු කිරීමට වර්තමාන තේරීම් කමිටුවට සිදු වී ඇත්ද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කරන්නකි.

දක්ෂතා ඕනෑවටත් වඩා පෙන්වමින් ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේම ඇගයීම් සම්මාන ලබා තවදුරටත් බලා සිටීමට සිදු වී තිබෙන විශේන් හැළඹගේ නම් මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් අනාගතය විනාශ කිරීමට උවමනා වී ඇත්තේ කාටද යන්න ක්‍රිකට් දේශපාලනය තුළ විමසා පිළිතුරු සොයා ගත නොහැකි ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත.

ප්‍රතිපත්තියකින් තොර තේරීම් කලාව කවදා අවසන් වේදැයි යන්න තව දුරටත් ප්‍රශ්නාර්තයකි.

ක්‍රිකට් දූෂිතයින් ඵලවා හැර නව පනතක් හරහා ක්‍රිකට් රැක ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියරට දැන් පැමිණ ඇත.

ඒ ක්‍රිකට් නව පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කර අවසන්ව ඇති බැවිණි.

අධිකරණ නිර්දේශයන්ට යටත්ව සරල බහුතරයකින් ක්‍රිකට් කෙටුම්පත සම්මත වූ පසුව නුදුරු දිනයකදී ක්‍රිකට් පරිපාලනය නව සාමාජිකයින්ට හිමි වීමට නියමිතය.

නමුත් විශේන්ලා වැනි ක්‍රිකට් ගිලටීනයන්ට හසුවූ ක්‍රීඩකයින්ගේ අනාගතය සුරැකීමට ප්‍රතිඵත්තිමය තීන්දු කීරණ ගන්නේ කවදාද යන්න තවදුරටත් ප්‍රශ්නාර්ථයකි.

Recent Posts

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

10 hours ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

15 hours ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

1 week ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

2 weeks ago

Anyone Can Post, But Should Everyone Be Believed?

One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…

2 weeks ago