Tuesday, June 30, 2026
Homeක්‍රීඩා2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය ICC නිවේදනය කරයි

2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය ICC නිවේදනය කරයි

ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා T20 තරගාවලි සඳහා සුදුසුකම් ලබාගැනීමේ නිල ක්‍රමවේදය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) ඒකාබද්ධව නිවේදනය කර තිබේ.

ඒ අනුව, පිරිමි සහ කාන්තා තරගාවලි දෙකටම කණ්ඩායම් හයක් බැගින් තරග වදින අතර, ඉන් කණ්ඩායම් පහක් ICC තරගාවලි ප්‍රතිඵල සහ T20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව තෝරාගනු ලබයි. අවසන් ස්ථානය සඳහා 2027 වසරේ පැවැත්වෙන නව ICC Olympics Qualifier තරගාවලියේ ජයග්‍රාහකයා සුදුසුකම් ලබනු ඇත.

මේ වනවිට පැවැත්වෙන ICC Women’s T20 World Cup 2026 තරගාවලිය හරහා කාන්තා ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම් හතරද තහවුරු වී තිබේ. ඒ අනුව ඔෂනියාවෙන් ඕස්ට්‍රේලියාව, යුරෝපයෙන් මහා බ්‍රිතාන්‍යය (එංගලන්තය හරහා), ආසියාවෙන් ඉන්දියාව සහ අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබාගෙන ඇත.

සත්කාරක රට වන එක්සත් ජනපදය (USA) 2026 ජූනි 30 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ICC T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළම 15 අතරට පැමිණියහොත් පිරිමි සහ කාන්තා තරගාවලි දෙකටම ස්වයංක්‍රීය සුදුසුකම හිමි වේ.

පිරිමි තරගාවලිය සඳහා අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඔෂනියාව නියෝජනය කරන ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් ද ස්වයංක්‍රීයව සුදුසුකම් ලබනු ඇත.

2027 ICC Olympics Qualifier තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා අංශ දෙකටම කණ්ඩායම් අට බැගින් සහභාගි වන අතර, ඒ සඳහා තවමත් ඔලිම්පික් සුදුසුකම් නොලැබූ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් හතක් තෝරාගනු ලැබේ. එහි ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය සඳහා අවසන් ප්‍රවේශය හිමිවනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සම්බන්ධයෙන්ද විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රටවල් කිහිපයක එකමුතුවක් වන බැවින් ඔලිම්පික් තරගාවලියේ සෘජුව තරග කළ නොහැක. එබැවින් ඔවුන් සුදුසුකම් ලබන තත්ත්වයක පසුවුවහොත් කැරිබියන් කලාපීය තේරීම් තරගාවලියක් පවත්වා එම කලාපය නියෝජනය කරන ජාතික කණ්ඩායම තෝරාගනු ඇත.

READ:   සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල කොදෙව්වන් දන ගස්වයි

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන සෑම රටක්ම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ යුතු අතර, කණ්ඩායම් දෙකක් ලෙස බෙදා තරගාවලිය පැවැත්වේ. අවසානයේ ඉහළම කණ්ඩායම් දෙක රන් පදක්කම සඳහාත්, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහාත් තරග වදිනු ඇත.

පිරිමි සහ කාන්තා තරගාවලි දෙකම ඇතුළුව සමස්ත තරග 28ක් ඇමරිකාවේ පොමෝනා නගරයේ විශේෂයෙන් ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට නියමිත අතර, 2027 ICC Olympics Qualifier තරගාවලියේ දිනයන් සහ සත්කාරක රට ඉදිරියේදී නිවේදනය කරන බව ICC සඳහන් කර ඇත.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්