විශේෂාංග

සිරිපා වඳින්න යනවා නම් පරිසරය ආරක්ෂා කරන්න. සෞඛ්‍යාරක්ෂිත බව රකින්න.

මෙවර සිරිපා සමය දැන් ආරම්භ වී ඇත. බුද්ධාලම්භන ප්‍රීතිය වඩවමින් හා පරිසර භක්තිය ද ඇතිව ශ්‍රී පාද වන්දනාවේ යෙදීම අපේ යුතුකමයි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී පාදය සුරැකීමට නම් ඒ අවට පරිසරය හා ගහ කොළ සුරැකීම අත්‍යවශ්‍ය වන බැවිනි. බුද්ධත්වයෙන් පසු අටවැනි වසරේදි අප මහ බුදු රජාණන් වහන්සේ තෙවැනි වර කැලණියට වැඩම කළහ. ඒ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන්. වෙසක් පුර පසළොස්වක දිනයකදීය.

පසුව ඒ දිනවලදීම සුමන සමන් දෙවි රජාණන්ගේ ආරාධනයෙන් බුදු රජාණන් වහන්සේ තවත් මහ රහතන් වහන්සේ සමඟ අහසින් වැඩම කොට වම් ශ්‍රී පාද ලාංඡනය එහි සලකුණු කළ සේක. මේ භද්‍ර කල්පයට පෙර බුදු වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදු හාමුදුරුවන් ගේද සිරිපා සටහන සමනල කඳු මුඳුනෙහි පිහිටා ඇතැයි පොලොන්නරු යුගයට අයත් අඹගමු සෙල් ලිපියේ සඳහන් වී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

නිශ්ශංකමල්ල රජු සමයේ ශ්‍රී පාදය පිළිබඳව රටට හෙළිදරව් වූ බවත් වලගම්බා රජ ශ්‍රී පාදස්ථානය වන්දනා කර ඇති බව ද පුරාවිද්‍යා තොරතුරු සනාථ කරයි.

මෙතෙක් කල් ශ්‍රී පාදස්ථානය පිළිබඳව ලෝකයේ බොහෝ සිතියම්වලින් ‘ඇඩම්ස්පීක්’ හෙවත් ආදම්ගේ පාදය ලෙස හඳුන්වනු ලැබූවත් පසුගිය වසරේ සිට මෙරට සංස්කෘතික අමාත්‍යාංශය හා ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඒ සියලු නම් ඉවත් කර ‘ශ්‍රී පාදස්ථානය’ ලෙස පමණක් නම් කර තිබේ. එමෙන්ම ශ්‍රී පාදස්ථානයට අයත් හෙක්ටයාර් 9400ක ප්‍රමාණයක පූජා භූමිය ලෙස ද ජාතික උරුමයක් බවට ද පත්කිරීමට පසුගිය වසරේ වත්මන් රජය මඟින් සිදුකර ඇත.

බෞද්ධ ඉතිහාසයට අනුව බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණු සටහන් වන ස්ථාන හතරක් පිළිබඳව බෞද්ධ පොත් පත්වල සඳහන් වේ. ඒ අනුව එක් සිරිපා සටහනක් නර්මදා නදී තීරයේ ද, දෙවැන්න සච්ච බද්ධ පර්වතයේ ද, තුන්වැන්න සමන්තකූට පර්වතයේ ද අනෙක යෝනක පුරයේ ද පිහිටා ඇති බව කියවේ. මීට අමතරව අනුරාධපුර අභයගිරි චෛත්‍ය පිහිටි ස්ථානයේ ද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවැති බව ක්‍රි.ව. 5 වැනි සියවසට අයත් පුරාවිද්‍යා වාර්තාවල දැක්වේ.

මෙවර ශ්‍රී පාද වන්දනාව පිළිබඳව කරුණු දක්වන ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හා පැල්මඩුල්ල පුරාණ විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමිපාණෝ පවසන්නේ මෙවර ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන මාර්ග දෙකෙන් ගමන් කරන අයට වෙනදාට වඩා පූර්ණ පහසුකම් සලසා ඇති බවයි. ඒ අනුව සියලු වන්දනාකරුවන් සඳහා විදුලිය බලය, සෞඛ්‍ය වැසිකිළි කැසිකිලි හා ආහාර පාන ලබා ගැනීමට පහසුකම් රැසක් සපයා තිබේ. යුද හමුදාව හා පොලිසිය ආරක්ෂක කටයුතු මෙහෙයවයි.

අප මහ බුදු රජාණන් වහන්සේ ශ්‍රී පාදය තැබූ සමනල කන්ද අප රටට පාරිසරික අතින් ද සුවිශේෂි ස්ථානයකි. එබැවින් මේ වාරයේ සිරිපා වන්දනාවේදි පරිසරය සුරැකීම පිළිබඳවත් කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳවත් අපි දැඩි අවධානය යොමු කළ යුතු බව බෙන්ගමුවේ ධම්මදින්න හිමිපාණෝ පවසති.

“මුව ආවරණ දමා පිරිසුදුව අත් පවිත්‍ර කර සිරිපා වන්දනාවට එන්න. එන හැම දෙනාම කෝවිඩ් 19 එන්නත් කාඩ්පත හෝ ඡායාපිටපතක් රැගෙන එන්න.” වෙනදා වගේම මත්පැන්, ශබ්ද දූෂණය කරන සංගීත භාණ්ඩ හා මත්ද්‍රව්‍ය මෙම පූජා භූමියට රැගෙන ඒම තහනම්.

මෙවර හමුදා හා සිවිල් ආරක්ෂක බළකාවල පූර්ණ සහායෙන් අපි ශ්‍රී පාදස්ථානය සංවර්ධනය කිරීම ද පිරිසුදු කිරීම් කර තිබෙනවා. විදුලි ආලෝකකර වෙළෙඳසැල් ගණනාවක් පිහිටුවීම කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඇළ දොළ ජලය පාවිච්චිය පිළිබඳව උනන්දු විය යුතුයි.

ප්‍රධාන ලෙසම දූ දරුවන් හා වැඩිහිටි අය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මේ ගමන කැඳවාගෙන යාමට කටයුතු කළ යුතුයි” ශ්‍රී පාදස්ථානාධිපති හා භාරකාර හිමිපාණෝ පවසති.

ශ්‍රී පාදය නැත්නම් සමනල කන්ද යනු වන්දනා කරන ස්ථානයක් පමණක් නොවේ එය සුන්දර අභය භූමියකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි කේතු හැඩැති කන්දක් වන සමනල කන්ද ප්‍රදේශය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එහි විශාලත්වය හෙක්ටයාර 22,380කි. කන්දේ ඉහළම උස මීටර 2215කි. මෙය ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කන්දයි.

කඳුකර වැසි වනාන්තර බහුල සමනල අභය භූමිය ජෛව විවිධත්වයෙන් සුවිශේෂී වේ. මේ නිසාම සිරිපා වන්දනාව යනු තවත් අතකින් පාරිසරික වන්දනාවකි. සිරිපා වන්දනාවේ යන ඔබ මොන මාර්ගයෙන් ආවත් අවට ගහකොළ දෙස බැලුවොත් පේන්නේ ඒ බොහෝ හරිතවර්ණ ගහකොළ සිරිපාදය දෙසට නැමී ඇති බවකි. සප්ත මහා කඳු වැටි, බුද්ධරාජගල, කුණු දිය පර්වතය වැනි සිරිපාදය අවට ඇති මහ කඳු සියල්ලම වාගේ සිරිපා කන්ද දෙසට නැමී ඇති බව පෙනේ. ඒ අනුව ඔබ සිරිපා කරුණා කරන්නේ රාත්‍රියට නම් මළුවේ සිට ආපසු බසින විට උදේ වරුවේ සිරිපාදය පහළ වනාන්තර ප්‍රදේශය දෙස බැලුවොත් එහි ඇති චමත්කාරය ඔබ මෙතෙක් අත්විඳි දෙයක් නොවනු ඇත. ඒ අනුව සිරිපාදේ නඟින විට සිරිපාද භක්තිය මෙන්ම බසින විට පාරිසරික භක්තිය ද උපදවා ගෙන ‘කරුණා’ කළ යුතුය.

මෙවර උඳුවප් පුර පසළොස්වක දින 2021 – 2022 ශ්‍රී පාද වන්දනා සමය නිරෝධායන සෞඛ්‍ය උපදෙස් අනුව ආරම්භ වූ බවත් ශ්‍රී පාද වන්දනාවට එන සියලු දෙනා ඒ උපදෙස් දිගටම අනුගමනය කළ යුතු බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

සමන් දෙවි ප්‍රතිමාව සධාතුක කරඬුව උඩ මළුවට වැඩම කරවීම කුරුවිට යුද හමුදා නිලධාරින් විසින් සිදු කළ අතර දේවාභරන හා පූජා භාණ්ඩ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුවට වැඩම කරවීම ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීහු සිදුකළහ.

මෙවර සිරිපා සමය වෙනුවෙන් හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට සිරිපා උඩමළුව දක්වා සියලු පඩිපෙළවල් ආධාරක වැටවල් යුද හමුදාව හා සිවිල් ආරක්ෂක භටයන් විසින් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ප්‍රතිසංස්කරණය කර තිබීම විශේෂත්වයකි.

ඒ නිසා වැඩිහිටි අයෙකුට වුවද මෙවර හැටන් පාරෙන් කාගේවත් උදව්වක් නැතුව සිරිපාදය කරුණා කළ හැකිය.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙවර සිරිපා සමය අවසන් වීමට නියමිතව ඇත්තේ 2022 මැයි මස වෙසක් පුර පසළොස්වක දිනයේදීය. අපේ යුතුකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ කාලය තුළ පරිස්සමින් ශ්‍රී පාද වන්දනාවේ යෙදීමයි.

වර්තමානයෙහි මළුව කරා ගමන් කරන ප්‍රධාන මාර්ග දෙකක් ඇතුළු මාර්ග හයකි.

පලාබද්දල

රජ මාවත

පලාබද්දල සිට දුර සැතපුම් හයකි.

පසුකරන තැන පලාබද්දල – උඩ පවනැල්ල, දොරනෙ කඩේ, කෙකටිය කඩේ ලිහිණි හෙළ, කටු කිතුල අම්බලම, ගැටනෙටුල කඩේ, කොඩිය කඩේ කන්ද මුඳුන, කළු ගඟ උපදින තැන දිය බෙත්තම් කඩේ, ගජමං නෝනගේ අම්බලම, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, සීතගඟුල, හැරමිටිපාන, මකර තොරණ, වැල්ලවල කඩේ, මලකඳුර (ආඬි බිරිය මළ තැන්න), ආඬියා මළ තැන්න, ඇහැළ කණුව, මහගිරිදඹේ, හුලං කපොල්ල හා උඩ මළුව දක්වා මේ මාර්ගය දිස්වේ.

හැටන් පාර

නල්ලතන්නිය, මකර තොරණ, රතු පාලම, ජපන් සාම චෛත්‍ය, සාමි මඩම, නිශ්ශංක ලෙන, ගඟුල තැන්න, සීතගඟුල (රත්නපුර පාරේ සීතගඟුල නොවේ.) රතු අම්බලම, ගෙත්තම්පාන, ඉදිකටුපාන, භගවාලෙන, මහගිරිදඹේ, අහස්ගව්ව ඇතුළත් ගමන් මාර්ගයයි. නල්ලතන්නියේ සිට දුර සැතපුම් හතරක් වේ.

මාරතැන්න පාර

බළන්ගොඩ, ඇල්ලඅරාව, මොරහැව, මාරතැන්න, බොල්තුඹේ, බගවන්තලාව, රජවත්ත, මස්කෙළිය හරහා පැමිණ නල්ලතන්නිය හැටන් පාර සම්බන්ධ වේ.

රාජමලේ පාර

රාජමලේ වත්තේ සිට ආරම්භ වන මෙම පාර වනය මැදින් මහ ගිරිදඹය අසලදී හැටන් පාරට එක්වේ. රාජමලේ වත්තේ සිට දුර සැතපුම් හතරක් පමණ වේ.

කුරුවිට පාර

කුරුවිට, කටුතියඹරාව, එක්නැලිගොඩ, එරත්න, කැකුණහින්න, වර්ණගල, සුදුවැල්ල, සීත ගඟුල, මැදහින්න, ගෙත්තම්පාන යන ස්ථාන පසුකර රත්නපුර පාරේ හැරමිටිපානට සම්බන්ධ වේ.

මෙහි දුර සැතපුම් අටක් පමණ වේ.

දෙහෙනකන්ද පාර

වේවැල්වත්තෙන් ආරම්භ වී මහ හිමය මැදින් වැටී ඇති මෙම මාර්ගය පලාබත්දල පාරේ ඇහැළ කණුව අසලට එක්වේ. දුර ප්‍රමාණය සැතපුම් දොළහක් පමණ වේ.

බොහෝ දෙනා රාත්‍රියේ දී සිරිපා කරුණා කර අලුයම සිරිපා මළුවේ සිටම චමත්කාරජනක “හිරු සේවය” නරඹති. ඉහළ මළුවේ සිට අලුයම නැඟෙනහිරින් හිරු පෑයීම නැරඹීම කාටත් අමතක නොවන අත්දැකීමකි. නැඟෙනහිර දෙසින් එසේ බලනවිට අපට පෙනෙන්නේ හිරු ඉහළට එසවෙමින් හා යළි ක්ෂණිකව පහළට යමින් ආලෝක ධාරා නිකුත් කිරීමයි. එහිදී විවිධ වර්ණවලිත් යුත් ආලෝක ධාරා දර්ශනය වීම එක්වරක් හෝ නැරඹිය යුතු ස්වාභාවික පාරිසරික වින්දනාත්මක සංසිද්ධියකි. මෙවර ශ්‍රී පාද වන්දනාවට සියලු මාර්ගවලින් එන ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සංරක්ෂණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වනජීවී සංරක්ෂණ නිලධාරීහු හා ප්‍රථමාධාර කණ්ඩායම් වෙනදාට වඩා බහුලව යොදවා තිබේ. සමනල රක්ෂිතයේ වනජීවී සංරක්ෂණය ගැන අපට කරුණු දැක්වූ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න පැවසුවේ මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමත් සමඟ ශ්‍රී පාද රක්ෂිතයට ඇතුළු වන සියලු මාර්ගවල හා රක්ෂිතය තුළ වනජීවී නිලධාරීන් වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවන බවයි. සංරක්ෂණ ක්‍රමවේද කාර්යක්ෂම කරන බවත් ගහ කොළ පැළෑටි ගලවා ගැනීමට හා කැලේ ගස් කපා දර ලෙස පාවිච්චි කිරීම වැළැක්වීමටත් පියවර ගෙන ඇති බව ඔහු කියයි.

“සිරිපා වන්දනා කරුවන් යන මාර්ග සියල්ල ඇතුළත් ප්‍රදේශය සිරිපා අභය භූමිය ලෙස පවත්වාගෙන යනවා. ඊට අමතරව සිරිපා රක්ෂිතයේ ඉතුරු ප්‍රදේශ හා නකල්ස් රක්ෂිතය ඇතුළත් කඳුකර වනාන්තර ප්‍රදේශ යුනෙස්කෝ කඳුකර ලෝක උරුම රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල වනජීවී හා වන සංරක්ෂණ නීති දැඩි ලෙස ක්‍රියාත්මකයි.” මංජුල අමරරත්න පවසයි.

සිරිපාද මාර්ගවල සිදුවන පරිසර දූෂණය වැඩිපුරම සිදුවන්නේ පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් නිසාය. මෙයට වසර 7කට පමණ පෙර පරිසර අමාත්‍යාංශයේ ඉහළ ජලාධාර ව්‍යාපෘතියේ නිලධාරින් විසින් එක් සිරිපා වාර ටොන් 5ක් එකතු කරගෙන තිබිණි. ඊට අමතරව ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 5කට වඩා ශ්‍රී පාද හැටන් මාර්ගයේ පමණක් එකතු වුණු බව ඉහළ ජලාධාර ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ පරිසරවේදී ඩී.පී. මුණවීර පවසයි.

බෞද්ධාගමික ලෙසත්, පාරිසරික ලෙසත්, පුරාවිද්‍යාත්මක ලෙසත්, ජල සංරක්ෂිත ප්‍රදේශයක් ලෙසත් රටට ඉමහත් වටිනාකමක් ඇති ශ්‍රී පාදය සුරැකීමට මෙවර වන්දනා වාරයේදී ද අපි කටයුතු කළ යුතු වෙමු. ඉදිරි පරම්පරාවට මේ රක්ෂිතය මේ සුන්දර පාරිසරික නිකේතනය මේ අයුරින්ම තබා ගැනීමට ශ්‍රී පාදයට රැගෙන යන දේ එහි නොදමා අපි යළි රැගෙන ඒමට කටයුතු කිරීම කළ යුතුමය.

නිහාල් පී. අබේසිංහ (සිළුමිණ පුවත්පත)

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago