දේශීය

21 වන සියවසේ නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ සිද්ධස්ථානය – සඳහිරු සෑය

 ස්ථූප නාමාවලියට තවත් නමක්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ කරගත් අනුරාධපුර පූජා නගරයේ බෞද්ධ සිද්ධස්ථාන අතර “ස්ථූප” යන්නට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.වෙල් යාය,ඉන් උඩට තුරු මුදුන්,ඉන් උසට කිරි සුදින්
බැබළෙන දාගැබ්,ඉන් උඩට මහා මේඝ,ඉන් උඩට නීල ආකාසය ආදී දසුන් අදියෙන් මේ පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ නෙත් හරහා සිත් වලට නිරාමිස සුවය පැමිණෙන්නේ නිරායාසයෙන්. රුවන්වැලිමහාසෑය,අභයගිරිය,ජේතවනාරාමය,මිරිසවැටිය,ලංකාරාමය,ථූපාරාමය යනාදිය මේ නගරයේ පිහිටා ඇති චෛත්‍ය සමූහය යි. මෙම අනුරාධපුර දාගැබ් වංශ කතාවට 21 වන සියවසේ දී තවත් මහානර්භ දාගැබ් වහන්සේ නමක් තවත් නොබෝ දිනකින් එක් වීමට නිමිතව තිබේ. සඳ හිරු තරු පවතින තුරු පවතීවායි,ප්‍රාර්ථනා පෙරදැරිව “සඳහිරුසෑය” මේ මස 18 වනදා සුබ මොහොතින් සඟ සතු කොට පූජා කිරීමට නියමිත යි.

 සඳහිරුසෑය ඉදිකිරීමේ නිමිත්ත

තිස් වසරක යුද්ධය නිමා කරමින් සිරිලක් දේශය ත්‍රස්තයන්ගෙන් මුදාගෙන විජයග්‍රහණය කළේ 2009 වසරේ මැයි මස 19 වනදායි. මේ මහා යුද්ධයට අපේ රණ ශූරයින් 29000 ක පමණ පිරිසක් සිය ලය පිදූහ. තවත් 37000 ක පමණ රණවිරුවන් පිරිසක් තුවාල ලැබූහ. ඒ නිසාම මේ මහා දාගැබ ඉදිකිරීමේ අරමුණ වූයේ අනාගත පරපුර උදෙසා සුරක්ෂිත රටක් ඉතිරි කිරීමට එලෙස අමිල කැපකිරීමක් කළ රණවිරුවෝ සදා අනුස්මරණය කිරීම යි. කාටත් කුතුහලයක් වූ යුද්ධයේ නිමාව වීරෝධාර රණවිරුවන්ගේ ආශ්චර්යමත් වික්‍රමයකි. එය අනාගත පරපුරට බෞද්ධ සංකේතයක් ලෙස පෙන්වීමට ගත් මහා ප්‍රයත්නය යි, මෙලෙස සාර්ථක වී තිබෙන්නේ.

 සියලු ඉදිකිරීම් රණවිරුවන් අතින්ම

යුධ ජයග්‍රහණය සැමරීම මෙන්ම ඒ වෙනුවෙන් දිවි පිදූ තුවාල ලැබූ රණවිරුවන් අගය කරනු වස් ඉදි වූ මේ දාගැබේ සියලු කාර්යයන් සිදුකරනු ලැබුවේ වීරෝධාර රණවිරුවන් අතින්ම වීම සුවිශේෂී වේ. හැකි අවස්ථාවන් හි රටේ සාමාන්‍ය ජනයා ද මේ වෙනුවෙන් ශ්‍රම දායකත්වය සැපයී ය. එහෙත් සමස්ථ කාර්යයේ වගකීම සිය උර මතට ගත්තේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළ සමූහය විසින්. නොහැක්කක් නොමැත,යන්න මේ ඔස්සේ ද සිහළ විරු පුතුන් රටට පමණක් නොව ලොවටම කියූ සංකේතයක් ලෙස සඳහිරුසෑය පිළිබඳව අවිවාදයෙන්ම සඳහන් කළ හැකියි. චෛත්‍ය පාදම සැකසීමේ සිට චූඩා මාණික්‍ය පැළඳවීම දක්වා පූර්ණ චෛත්‍යයක් නිමැවීමේ කාර්යය ඔවුහු මහා පරිශ්‍රමයකින් මෙන්ම පුණ්‍යාභිලාශීව සිදු කළහ. ඒ සඳහා සෑම දිනකම සෙබලුන් 500 ක පමණ පිරිසක් විවිධ අයුරින් ඉදිකිරීම් වල නිරත වූහ.

 ඉදිකිරීම් සමාරම්භයේ සිට ඉතිහාසය

21 වන සියවසේ ඉදිකළ මේ දාගැබ් වහන්සේ ගේ ඉදිකිරීම් ආරම්භ කළේ,2010 වසරේ නොවැම්බර් 22 වනදායි. ඒ එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එවකට ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළේ, වත්මන් ජනාධිපති අතිගරු ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා යි. 2014 වසරේ දී ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ මහා පුණ‍‍්‍යා්ත්සවය පැවැත්විණි. චූඩා මාණික්‍ය තැන්පත් කිරීම සිදු වූ අතර චෛත්‍ය බොදු වන්දනය උදෙසා සඟ සතු කොට පූජා කිරීමේ මහා පිංකම පැවැත්වෙන්නේ එළඹෙන 18 වනදායි. ඒ අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම සුබ මොහොත උදාවන්නේ වසර 11 ක් මුළුල්ලේ කළ කැපකිරීමක් මල්ඵල ගැන්වීමක් ලෙසයි.

වසර 1700 කට පසුව රටතුල ගොඩනැගූ විශාලතම චෛත්‍ය වන්නේ සඳහිරු සෑය යි. ක්‍රි.ව. 303 දී මහසෙන් මහ රජු විසින් ජේතවනාරාමය ඉදිකර තිබේ. සදහිරු සෑයේ ඉහළ සිට බලන විට පෙනෙන ආකාරයෙන් රුවන්වැලි මහ සෑ රදුන්ට උතුරු දෙසින් පෙනෙන්නේ අභයගිරි චෛත්‍ය වන අතර නැගෙනහිර දෙසින් ජේතවනාරාමය දිස් වේ.
බටහිර දිසාවට ඇත්තේ ‌ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යය යි. දකුණු දෙසින් මෙතෙක් එවන් සුවිශාල චෛත්‍යයක් නොතිබුණේ ය. එම අඩුව සපිරෙන්නේ සඳහිරු සෑයෙන් බව ගුවනට දිස්වන අයුරින් ඕනෑම අයෙකුට වටහා ගැනීමට හැකියාව තිබේ.

default

 දාගැබේ විස්තරය

මෙම දාගැබෙහි පාදම නිර්මාණය කිරීමේ දී අඩි 45 ක් පොළොව යට සිට ඉතා ශක්තිමත්ව නිර්මාණය කර තිබේ. එහි මතුපිටට පෙනෙන සමස්ත උස අඩි 283 ක්. විශ්කම්භය අඩි 225 කි. මෙහි කොත් වහන්සේ මත තැන්පත් කෙරුණු චූඩා මාණික්‍යයෙහි උස අඩි 3 යි අඟල් 6 ක් වන අතර එය නිර්මාණය කිරීම සඳහා විවිධ වර්ගයේ මැණික් ගල් 1895 ක් යොදාගෙන තිබේ. මීට අමතරව රත්රන් හා මුතු ද
යොදාගෙන ඇත. චූඩා මාණික්‍යය තැන්පත් කිරීම සඳහා කොත සකසා ඇත්තේ කාලතුවක්කු හමුදාව භාවිත කළ උන්ඩවල පිත්තල කොපු වීම ද විශේෂත්වයක්. බුබුලාකාර හැඩය ගත් මෙහි අලංකාරවත් වාහල්කඩ සතරකි. චෛත්‍යයට පහලින් විසල් විහාර මන්දිරයක් හා කෞතුකාගාරයක් ද ඉදි වේ.චෛත්‍ය වටා කළු ගලෙන් නෙලන ලද කැටයම් සහිත පවුර තවත් අලංකාරවත් නිර්මාණයකි.

කපිල වස්තු පුරයෙන් වැඩම වූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු නිධන් වස්තු විශාල ප්‍රමාණයක් දාගැබ තුල තැන්පත් කර තිබේ. රන්පත් මත ලියූ ත්‍රිපිටකය, කිලෝ අටක් තරම් බර දඹ රන් පිළිමය, ආදී නිධන් වස්තු ඒ අතර කැපී පෙනේ. හතරැස් කොටුව තුල ද නිධන් වස්තු විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබේ. 2014 වසරේ පැවති ධාතු නිධානෝත්සවයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරුණේ, ඒ සඳහාම තැනූ විශේෂ මණ්ඩපයක් තුලයි. එහි ත්‍රී ශූල නමින් හැදින්වෙන කළු ගලින් නිමවන ලද කණු හතරකින් යුත් පාදමකි. ඒ මත මහා මේරූ ගල නැමති තට්ටු හතකින් යුත් ටොන් 1.2 ක් බර කළු ගලෙහි මුදුනත සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරිණි. ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේ ආවරණය සඳහා මතුපිටින් ශෛලමය චෛත්‍යයක් ද තැන්පත් කළේ ය. රටෙහි සතර දෙසින් පැමිණි බැතිමතුන් ඉන් අනතුරුව තමන් ගෙන ආ පූජා භාණ්ඩ තැන්පත් කළ අතර ඒ සඳහා ගලින් කරන ලද කුහර 216 ක් තිබේ. චෛත්‍ය මත තැන්පත් කිරීමට පෙර කොත් වහන්සේ හා චූඩා මාණික්‍යය දින 47 ක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩම කරමින් සුවහසක් බොදු ජනයාට වන්දනා කර ගැනීමේ අවස්ථාව උදාකර දුන්නේ ය. ඒ අතර කාලයේ දිවයිනේ විහාරස්ථාන 25 ක චූඩා මාණික්‍යය තැන්පත් කර තැබුයේ ඒ ඒ ප්‍රදේශවල ජනයාට වන්දනා කර ගැනීමේ පහසුව පිණිස යි.

 අභිමානවත් ඉදිකිරීමකට වැය වූ අමුද්‍රව්‍ය

මේ සා විශාල ඉදිකිරීමකට වැය වූ අමුද්‍රව්‍ය කොපමණ ද? ඒ සියල්ල ක්‍රමිකව තනා මනරම් දාගැබක් ලෙස දැන් අපට දිස් වේ. තනන ලද විශේෂ ගඩොල් කෝටි දෙකහමාරක් මීට වැය වී ඇත. මෙම බෞද්ධ සිද්ධස්ථානයේ විශාලත්වය මෙයින්ම වටහා ගත හැකියි. සිමෙන්ති කොට්ට 175000 ක් වැයවිණි. අවශ්‍ය වූ වැලි කියුබ් ගණන 15000 කි. අළු හුණු කිලෝ එක්කෝටි දහසය දහසක් වැය වී තිබේ. මේ චෛත්‍ය සඳහා වැය වූ මූලික අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් පමණි. ඒ හැරෙන්නට කළුගල් ඇතුළු තවත් අමුද්‍රව්‍ය රාශියක් මේ සඳහා යොදාගෙන ඇත.

 මේ මහා ආශ්චර්යමවත් දාගැබ අපි ගෞරවයෙන් වන්දනා කරමු

පුරා දශකයකටත් අධික කාලයක් මුළුල්ලේ අපමණ වෙහෙස වී නිමකළ මෙම පුණ්‍ය කටයුත්තේ අග ඵල ලබා සියැසින් දකින්නට,වැඳපුදා ගන්නට දැන් අපි සැමට වාසනාව උදා වී තිබේ. රණවිරු දැනුම,ඔවුන්ගේ දෑතේ සවිය,තුලින් මේ සෑය ඉදිවෙද් දී, සඳහිරු සෑ අරමුදල,දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්,සිය දායකත්වය මීට ලබා දුන්හ. ඒ ඔස්සේ 21 වන සියවසේ දී නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ

සිද්ධස්ථානය සදහිරු සෑය වීමේ ආඩම්බරය කියා නිමකළ නොහැකියි.

ෂෙල්ටන් බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති නිලධාරී
අනුරාධපුරය

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago