දේශීය

CGLP වගා ව්‍යාපෘති අර්බුදය හමුවේ ගොවි පවුල් 1000කට අධික පිරිසක් අසරණයි! – රජරට ගොවි ජනතාවගෙන් ජනපතිට හදිසි ඉල්ලීමක්

“අපේ දරුවන්ගේ ජීවිතත්, ගොවි පවුල්වල අනාගතයත් ආරක්ෂා කරන්න” – අනුරාධපුරයේ ගොවීන් උද්ඝෝෂණයේදී කියයි

වගා ව්‍යාපෘති ආශ්‍රිතව වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තම ජීවනෝපාය මාර්ග අහිමිවීමේ අවදානමකට මුහුණ දී ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති.

සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (Ceylon Green Life Plantation – CGLP) ආයතනය සමඟ සම්බන්ධ වී වගා කටයුතුවල නිරත වූ ගොවි පවුල් 1000කට අධික පිරිසක් මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව අද පැවැති උද්ඝෝෂණයට එක්වූ ගොවි ජනතාව ප්‍රකාශ කළහ.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ වගා ව්‍යාපෘති මඟින් තම පවුල්වල දෛනික ජීවනෝපාය සලසාගෙන සිටි බවත්, වර්තමානයේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ වී සිටින බවත්ය.

මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් CGLP ආයතනයේ කටයුතු අඩාල වී ඇති බවට ගොවි ජනතාව පෙන්වා දෙන අතර, එම තත්ත්වය තමන්ගේ ජීවිතවලට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, පවුල්වල දෛනික අවශ්‍යතා සහ ආර්ථික ස්ථාවරත්වයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ඔවුහු පවසති.

මෙම ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ මහ බැංකු නියෝජිතයන්ගෙන් ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම අදාළ වගාබිම් සහ ව්‍යාපෘති වෙත පැමිණ එහි වර්තමාන තත්ත්වය සෘජුව නිරීක්ෂණය කර, ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාධාරණ අවධානයක් යොමු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

“අපි නීතියට විරුද්ධ නැහැ. නමුත් හදිසියේ ගනු ලබන තීරණවලින් අසරණ වන්නේ ගොවියන් සහ ඔවුන්ගේ දරුවන්” යන අදහස ඉදිරිපත් කරමින් උද්ඝෝෂණයට එක්වූ ජනතාව පවසන්නේ නීතියේ ක්‍රියාත්මක වීමත් සමඟ එහි බලපෑමට ලක්වන සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය හා පවුල්වල ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අක්කර 1,800කට ආසන්න වගාබිම් ප්‍රමාණයක් පවත්වාගෙන යන මෙම ව්‍යාපෘති සමඟ ගොවි මහතුන් දහසකට අධික පිරිසක් සම්බන්ධ වී සිටින බවත්, එවැනි ව්‍යාපෘති අකර්මණ්‍ය වීම හෝ දිගුකාලීනව අඩාල වීම හේතුවෙන් විශාල පිරිසකගේ ජීවනෝපාය මාර්ග අවදානමට ලක්වන බවත්ය.

මේ හේතුවෙන් අදාළ ගැටලුවට විසඳුමක් සොයා දීමට ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම අපේක්ෂා කරන බවත්, ගොවි ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කරමින් සාධාරණ විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් උද්ඝෝෂණයට එක්වූ ජනතාව ඉල්ලා සිටියහ.

Recent Posts

රාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…

3 days ago

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

1 week ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

1 week ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

1 week ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

3 weeks ago