Categories: දේශීය

හදිසියේම සමුගන්නට සිදු වූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගැන සංවේදී සටහනක්

ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන නාමල් පෙරේරා ෆේස්බුක් හරහා සමාජ මාධ්‍යයට සටහනක් තබා තිබෙනවා.

උපුටා ගැනීමයි.

සුබ ගමන් චන්දන!
ඔබේ හදිසි වියෝව පිළිබඳ දුරකථන ඇමතුම ලැබෙන විට මා සිටියේ අද උදේ රාජකාරි සඳහා කාර්යාලය කරා පැමිණෙමිනි. විශ්වාස කිරීමට නොහැකි ඒ නපුරු ආරංචිය නිසා හදවත රිදුම් දෙන්නේ සමීප මිතුරෙකුගේ අනපේක්ෂිත හදිසි මරණය නිසාම පමණක් නොවේ. යහපත් මිනිසෙකු මෙන්ම යුක්තිගරුක නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් සිය යුතුකම, අකුරටම නමුත් අඬබෙර නොගසා ඉටුකල කීර්තිමත් අයෙකුගේ හදිසි වෙන්ව යෑම නිසාය.
වර්තමානයේ රාජ්‍ය බුද්ධි සේවය ලෙස හඳුන්වන ජාතික බුද්ධි කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනු චන්දන දීපාල් වික්‍රමරත්න බොහෝ දෙනා දැන සිටියේ ඔහුගේ නමේ මුලකුරු වලින් කියැවෙන අන්දමට සී. ඩී. වික්‍රමරත්න ලෙසිනි. පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ චන්දන අනතුරුව, පොලිස්පති ලෙස පත්වීම ලැබ 2023 වසරේ නොවැම්බර් මස තනතුරින් විශ්‍රාම ලැබීය. 2019 සිට 2023 දක්වා වූ සිවි වසරක පොලිස්පති ධූරයේ ඔහු කටයුතු කළේ, එකිනෙකට වෙනස් දේශපාලන පක්ෂ තුනක, ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේය. ඔහුගේ නිර්පාක්ෂික සහ ස්වාධීනභාවයට එයම පමණක් වුවද ප්‍රමාණවත් සාක්ෂියකි.
2022 වසරේ රටේ ඇතිවූ තීරණාත්මක මහජන අරගලයේ දී පොලිසීයේ පාලනය නීතීයේ සීමාව තුල තබාගැනීමට,ඔහුට මුහුණ දීමට සිදූවූ අභියෝග සහ දුෂ්කර කොන්දේසි පිලිබඳ ඔහුගේ සමීප මිතුරන්ට අවබෝධයක් තිබුණි. ඔහුගේ රාජකාරි ස්වාධීනභාවය ගැන මට ඇති අවබෝධය නම්, සෑම දේම “පොතට අනුව” කිරීමට ඔහු දැක්වූ උනන්දුවයි. ඒ නිසාම ඔහුගෙන් මිතුරන්ට පොලිසියෙන් උදව් ලබා ගැනීමට නොහැකි විය. ඔහුගේ හැටි දන්නා කිසිවෙක් එවැනි උදව් ඔහුගෙන් ඉල්ලීමට පෙළඹුනේද නැත. චන්දන ස්වකීය රාජකාරි ප්‍රවේශය ගැන නිතර කීවේ, ” මං ඉතින් මචං පරණ NIB කාරයා නේ” යනුවෙනි. එහි අදහස වුයේ ඔහු සෑම දෙයක්ම කළේ හොඳින් සිතා මතා, ඉන් සිදුවිය හැකි ප්‍රතිඵල ගැන පුද්ගලිකව විශ්ලේෂණයක යෙදෙමින් බවයි.
පොලිස්පතිධූරය ඔහු කිසි විටෙක ආභරණය කර ගත්තේ නැත. තනතුරේ සාටෝපයෙන් වසා ගන්නට කිසිදු අඩුපාඩුවක් ඔහුට තිබුනේ ද නැත. තනතුරින් ඔහු බැබලෙන්නට එය ආභරණයක් කර ගැනීමට ඔහු මොහොතකටවත් සිතූ අයෙක් නොවීය. අඩුම තරමින් තමන්ට ඇති පදක්කම්, ලාංඡන කිසිවක් හෝ සිය නිල ඇඳුමේ ප්‍රදර්ශනය කලේ එය අත්‍යවශ්‍ය වූ ජාතික නිදහස් දිනය හෝ පොලිස් දිනය වැනි උත්සව අවස්ථාවලදී පමණි. එවැනි තනතුරකට පත්වන බොහෝ දෙනෙක් මග යන එන පරිදි ආරක්ෂකයින් පිරිවරාගෙන “ෂෝ” දැමීමේ පුරුද්දක් චන්දනට නොතිබිණ. ජනමාධ්‍යයෙන් සිය ප්‍රතිරූපය නංවා ගැනීමට දඟලන බොහෝ අයට ඉඩදී ඔහු උත්සහ කලේ එවැනි ප්‍රචාරවලින් හැකිතාක් ඇතිවී සිටීමටය. එනිසා වසර හතරක් පහක් පොලිස්පතිධූරයේ කටයුතු කළද සමහර පහල නිලධාරීන් ඔහු ගැන දැන සිටියේ නමින් පමණක් බවට උදාහරණ ද ඇත.
තමන් විශ්වාස කළ ආගමික දර්ශනය මගින් ඔහුගේ චරිතය පමණක් නොව රාජකාරි ජිවිත භූමිකාවේද හික්මීමක් මෙන්ම උපේක්ෂාවෙන් සියලු දේ දැකීමේ පරිචයක් ද ඔහු තුලින් හැම විටම විද්‍යාමාන විය. රට තොට පොදු කරුණුවලට අමතරව ඔහු සහ මා අතර කතාබහට වැඩි වශයෙන් විෂය වුයේ පොතපතයි. දෙදෙනාම පොත්පත් කියවීමට දැඩි ඇල්මක් දැක්වීම ඊට හේතුවයි. අප අතර හුවමාරු වූ පොත්පත් යළිත් එකිනෙකාට නොලැබුණු අවස්ථාද ඇත්තේ දෙදෙනාම පොත්පත් කියවීමට අමතරව පොත්පත් එකතු කිරීමටත් කැමැත්තක් දැක්වූ බැවිනි. මරණය පිළිබඳ විද්‍යාව හෙවත් “තිබ්බතීය මළපොත” මීට විසි වසරකට පෙර මා ඔහුට තිළිණ කළ බව මතකය. එවකට ඔහු සේවය කළේ මාතර ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසය. මා එවකට සිටියේ TNL රූපවාහිනී සේවයේය.
අද උදෑසන සැලවූ ඔහුගේ දෛවෝපගත ඉරණමින් පසු නැවත කිසිදාක ඒ මිත්‍රශීලි හඬ, මිතුරු සාද හෝ හමුවීම් සිදු නොවේ. අදින් පසු ඒ සියල්ල ඔහු පිළිබඳ ඇති මතකයකට පමණක් සීමා වනු ඇත. මරණින් මතු ජිවිතය ගැන අප කතාබහ කල පරිදි සහ ඔබ අපේක්ෂා කළ පරිදි ලෝකෝත්තර සැනසුම ඔබට සැලසේවා!
සුවෙන් නිදන්න මා මිතුර!””-ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරා

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago