උපුටා ගැනීම
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන් සඳහා නොකළ යුතුයි.
වංචාව හා දූෂණයට එරෙහිවීම වෙනුවෙන් අපි සැමදා පෙනී සිටින්නෙමු. ඒ පිළිබඳව විවාදයක් නොමැත. ඒ වෙනුවෙන් වත්මන් ආණ්ඩුව දක්වා තිබෙන අවධානය මා අගය කරමි. ඒ වගේම, ඒ වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම අප ලබාදී ඇති අතර ඉදිරියටත් ලබා දෙන්නෙමු.
නමුත්, වර්තමානයේ සාධාරණත්වය සැමට එක හා සමානව ඉටුවෙනවාද යන කාරණය පිළිබඳව මා තුළ කුකුසක් තිබේ. දැනටමත් ඇතැම් තෝරාගත් පාර්ශවයන් පමණක් ඉලක්කගත වන සහ නඩු පැවරීමට ලක්වන බවටත් ආණ්ඩුවේ චෝදනා එල්ලවන ඇතැම් අය පිළිබඳව එවැනි උනන්දුවකින් පරීක්ෂණ සිදු නොවන බවටත් චෝදනා එල්ල වී ඇත. කිසිවිටෙකත් එසේ සිදු නොවිය යුතුය. සාධාරණත්වය ඉටුවීම පමණක් නොව, එය බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව ඉටුවන බව පැහැදිලිව පෙනෙන්නටද තිබිය යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිත 22 වන සංශෝධනය, ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය අතීතයට බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීම මගින් ජනතාවගේ ස්වෛරීභාවය පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු කරයි. එය ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කර ඇති අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමට ඉඩ ඇත.
මෙම තාක්ෂණික කරුනු අධිකරණයේදී තර්ක කළ හැකි අතර මා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යාමේදී මහජන මතය යනු වැදගත් කාරණයක් පමණක් නොව එය තීරණාත්මක සාධකයක් බවයි. මේනිසා, වංචාවට හා දූෂණයට එරෙහිවීම මුවාවෙන් දේශපාලන පළිගැනීමක් සිදුවන්නේ යැයි සමාජයට හැඟී ගියහොත් එය ඉතාමත් නරක සහ බැරෑරුම් තත්ත්වයකි. එවිට අභිප්‍රායන් කෙතරම් අවංක වුවද අධිකරණ ක්‍රියාවලියට සහ සමාජයට සිදුවන බලපෑම සෘණාත්මක එකක්වීම වැලැක්විය නොහැකිය.
මා සිතන පරිදි යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙස බැලිය යුත්තේ මෙවැනි ඉදිරි දැක්මකින් යුතුවයි. මෙහිදී, පවතින මූලික ගැටළුව වන්නේ දැනට සේවයේ නියුතු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමය. මෙයට හේතුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බැවිනි. අනෙකුත් සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සරල නීති කෙටුම්පතක් මගින් සංශෝධනය කළ හැකිය. මේ නිසා, මෙම ගැටලුව තිබෙන්නේ සියළුම අධිකරණ විනිසුරුවරුන්ගෙ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නොවේ.
මාගේ නිරීක්ෂණයට අනුව මෙම විවාදයේ තර්ක තුනකි.
පළමු තර්කය වන්නේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හමුවේ දූෂණ නඩු රැසක් විභාග වෙමින් පවතින බවත්, ඔවුන් විශ්‍රාම ගියහොත් නව විනිසුරුවරුන්ට එම නඩු නැවත මුල සිට අධ්‍යයනය කර නඩුව ඉදිරියට ගෙන යාමට සූදානම් වීමට සිදුවන බැවින් එම ක්‍රියාවලියට වැඩි කාලයක් ගතවන බවට කෙරෙන තර්කයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වන කණ්ඩායම එසේ කීවද එය සැබවින්ම සත්‍යයක්දැයි ගැඹුරින් සොයා බැලිය යුතුය. මෙය එම කණ්ඩායමේ තර්කය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉදිරියට රැගෙන යන පටු තර්කයක් පමණක්ද?
දෙවැනි තර්කය නම් මෙම සංශෝධනය යනු ආණ්ඩුවට දේශපාලනමය වශයෙන් එරෙහි වන තෝරාගත් පුද්ගලයින් පිරිසකට එරෙහිව කෙරෙන දේශපාලන පළිගැනීමක් ලෙසින් අර්ථ දැක්වීමයි. ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩු පක්ෂයට එරෙහිවන විපක්ෂය දුර්වල කිරීම සඳහා එම පුද්ගලයින් ඉලක්ක කර සිරගත කිරීමට මෙම සංශෝධනය ගෙන එන බවට මෙම තර්කය මතුකරන කණ්ඩායම විශ්වාස කරයි.
තුන්වන සහ ප්‍රබලතම කණ්ඩායම වන්නේ, ඕනෑම ආණ්ඩුවක දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ජනතාව එම ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසයට එරෙහිවීමක් ලෙස විශ්වාස කරන පිරිසයි. මොවුන් වඩාත් මධ්‍යස්ථ මතධාරී ජනතාව වේ. ඔවුන්ට අනුව ආණ්ඩු වෙනස් වන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතී. එක් ආණ්ඩුවක් තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට තාවකාලික සංශෝධන සිදුකරන්නේ නම්, ඊළඟට පැමිණෙන ආණ්ඩුවටද එය කළ හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ අතීතයේ පැවති ආණ්ඩු තමන්ට රුචි පනත් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ ආකාරය සහ පසුව ඉන් බොහෝමයක් ආපසු හැරවූ ආකාරය අපි දැක ඇත්තෙමු.
නඩුව විභාග කරන්නේ කුමන විනිසුරුවරයාද යන්න නොසලකා, නඩු තීන්දුව අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි මත පදනම් වනු ඇතැයි විශ්වාස කිරීම ඉතාමත් වැදගත් වේ. බහුතරයකගේ මතය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දේශපාලනමය අභිප්‍රායන්ගෙන් තොරව, ජාතික අභිලාෂයන් හදවතින්ම දරන, පොදුවේ ගත්කළ සාධාරණ සහ ගෞරවණීය කණ්ඩායමක් බවයි.
එමනිසා, මෙහි ඇති ගැටලුව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් ඕනෑම අධිකරණයක විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කළ යුතුද නැද්ද යන්න නොවේ. ගැටලුව වන්නේ, නඩු විභාග වෙමින් පවතින අතරතුර ධුරය හොබවන වත්මන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කළ යුතුද යන්නයි.
මාගේ මතය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධුරයේ සිටින විනිසුරුවරුන් සඳහා නොකළ යුතු බවයි. එමගින් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත්, අපක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් පැවතීමට කැමති පිරිසගේ මතය තදින් තහවුරු වේ.
කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ විරුද්ධත්වයන් නොසලකා ආණ්ඩුව මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම්, මාගේ මතය වන්නේ විනිසුරුවරුන් ආදායම් බදු ගෙවිය යුතු නැති බවට පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ නොවූ 2022 තීන්දුවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව ලබාදුන් පැහැදිලි කිරීමට අනුව, ධුරය හොබවන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීමේ ඕනෑම සංශෝධනයක් ජනතාවගේ පරමාධිපත්‍යයට බලපෑම් කරන බැවින්, එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවයි.
උපුටා ගැනීම අවසන්
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…
ගරුතර මහා සංඝරත්නය සෑම අවස්ථාවක ම හොඳට සිතා බලා කල්පනා කර, ගවේෂණය කර, සමීක්ෂණය කර…
ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය උඩු යටිකුරු කරන සන්නාමයකට හිමිකම් කියන Ceylon green life plantation පුද්ගලික සමාගම…
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් VietJet ගුවන්සේවය හෝ චි මින්…