දේශීය

ලාදුරු රෝගය මෙරටින් තුරන් කිරීම අරමුණු කරගත් ‘ජාතික ලාදුරු සමුළුව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියමද එළිදැක්වෙයි

ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය.

file

ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහිදී සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ

1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුවද, එම ගමන තවමත් අවසන් වී නොමැති අතර නව රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බවයි. ඒ අනුව, වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත්, රෝගය පැතිර යාමට හේතු වන රෝගින් කල්තියා හඳුනා ගැනීම, රෝහල් පද්ධතිය මගින් රෝගින්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරිම, ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කෙරෙන බවත්, මෙම සමුළුව මගින් ලාදුරු රෝගය පැතිර යාමට තිත තැබීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සසකාවා පදනම වසර ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මේ අතර අලුතෙන් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 40%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, පිළිවෙළින්, මඩකලපුව, ගම්පහ, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් සැලකිය යුතු ප්‍රමාණවලින් වාර්තා වන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

නිපොන් පදනමේ සභාපති, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු රෝගය තුරන් කිරීම පිළිබඳ කීර්තිනාම තානාපති, ලාදුරු රෝගයට ගොදුරුවූවන්ගේ මානව හිමිකම් පිළිබඳ ජපාන රජයේ කීර්තිනාම තානාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මියද අදහස් දැක්වීය.

සමස්ත ලාදුරු රෝගීන් නියෝජනය කරමින් අජිත් දිසානායක මහතාද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA), ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය කාර්යාලයේ ස්ථානභාර මොමෝ තකයුචි (Momoe Takeuchi), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ලාදුරු වැඩසටහනේ කණ්ඩායම් නායක වෛද්‍ය විවේක් ලාල් යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය නියෝජිතයෝ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මීට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2025-11-06

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

6 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

6 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 week ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 week ago