දේශීය

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

file

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.

file

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

file

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.

file

රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)

මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ජර්මානු රජයෙන් ලැබුණු මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

file

එම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

එදා අපගේ වෛද්‍යවරුන්ට සිදු වුණේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමටයි. නමුත් දැන් වැඩිහිටි ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාම සහ විවිධ රෝග ඇතිවීම නිසා සේඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වැඩි වී තිබෙනවා. ඒ නිසා ඊට අනුරූපිව සෞඛ්‍ය සේවාවද පරිවර්තනය විය යුතුයි.

ඒ වගේම මෙරට අධ්‍යාපන ක්‍රමයද පරිවර්තනයකට ලක් විය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා මෙතෙක් වැය කෙරුණු ප්‍රාග්ධන මුදල් සීමා සහිත වුණා. එදා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යෙදවුණේ නැහැ. ඊට හේතුව යුද්ධයට විශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමයි.

දෙවනුව අප ලබාගත් විශාල ණය ප්‍රමාණය නිසා එම පොළි ගෙවීමට වැඩි මුදලක් යෙදවීමට සිදුව තිබෙනවා. 1980 – 1989 මම අධ්‍යාපනය අමාත්‍යවරයා ලෙස කටයුත් කරන සමයේ අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කළා. නමුත් පසුව විවිධ හේතු නිසා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අප ඉදිරියේ දී මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

පසුගිය සමයේ අපට විශාල ලෙස ණය ගැනීමට සිදුවීම නිසා අපේ ආදායමෙන් 50%ක් වැය වන්නේ ණය සහ පොළී ගෙවීමටයි. මෙම වසරේ අයවැයෙන් ට්‍රිලියන 07කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට නියමිතව තිබුණා. නමුත් එයින් ට්‍රිලියන 3.9ක් ණය ගෙවීමට වැය කිරීමට සිදුව තිබෙනවා. එයින් තුනෙන් එකක් ණය ආපසු ගෙවීමට සහ තුනෙන් දෙකක් පොළිය ගෙවිමට වැය කෙරෙනවා. ඒ වගේම තවත් ට්‍රිලියන 1.2ක් වැටුප් ගෙවීමට වැය වෙනවා. තවද පුනරාවර්තනය වියදම් වෙන් කළ පසු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයිනුත් වාරිමාර්ග ඇතුළු එම කටයුතුවලටත් මුදල් වෙන් කළ යුතුයි.

මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා.

එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා.

ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නවීකරණයක් නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකියි. 30 දශකයේ අප දියුණුවක් ලැබුයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබු දියුණුව නිසයි. ඒ වගේම 80 දශකයේ අප ඉදිරියට ගියේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිසයි. අද ලංකාව තුළ පමණක් නොවෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය ද ක්‍රියාත්මක වන්නේ අපේ වෛද්‍ය සේවාවන් නිසා. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශය වෙනුවෙන් අවශ්‍ය මුදල් අපම උපයා ගනිමින් එම ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනයක් ඇති කරමු කියා මම ප්‍රකාශ කරනවා.

Recent Posts

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…

10 hours ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…

10 hours ago

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

2 days ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

4 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

4 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

4 days ago