ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ මාධ්‍ය ලබාදුන් බලය පිළිබඳ අවධානය යොමු කරමින් ආචාර්ය රංග කලංසූරිය විසින් රචිත The Youthquake නම් කෘතිය පසුගියදා එලිදැක්වුවා.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල තරුණ විරෝධතා සහ සමාජ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා. විශේෂයෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල මැදිහත්වීමකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ පුරවැසියන් විසින් තොරතුරු හුවමාරු කරගැනීම, ජනමත ගොඩනැගීම සහ බලධාරීන්ගෙන් වගවීම ඉල්ලා සිටීම නව ප්‍රවණතාවක් ලෙස විග්‍රහ කර ඇත.
ආචාර්ය කලංසූරියගේ අධ්‍යයනයට අනුව, විවිධ රටවල තරුණ විරෝධතාවල ආසන්න හේතු වෙනස් වුවද, ඒවා පිටුපස වගවීම, දූෂණය, විනිවිදභාවය නොමැතිකම සහ දුර්වල පාලනය වැනි පොදු කරුණු දක්නට ලැබෙන්නක්.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ජනතා අරගලයද මෙම නව ඩිජිටල් පුරවැසි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට බලපෑ අත්දැකීමක් ලෙස කෘතියේ පසුබිමට එක්වී තිබේ.මෙහිදී සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංවිධානය වන තරුණ පරම්පරාව සාම්ප්‍රදායික දේශපාලන හා මාධ්‍ය ව්‍යුහයන්ට අභියෝගයක් එල්ල කරන ආකාරයද අවධානයට ලක්කර තිබීම මෙහි විශේෂ දෙයක්.කෙසේ වෙතත්, ඩිජිටල් වේදිකා හරහා තොරතුරු බලය පුරවැසියන් අතට පත්වීමත් සමඟම ව්‍යාජ පුවත්, දුස්තොරතුරු, වෛරී ප්‍රකාශ සහ කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය වන අන්තර්ගත වැනි නව අභියෝගද මතුව ඇති බව පෙන්වා දී තිබේ.
මේ අතර,පසුගියදා Daily Mirror සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ආචාර්ය රංග කලංසූරිය පෙන්වා දී ඇත්තේ ඩිජිටල් වේදිකා දේශසීමා නොමැතිව ක්‍රියාත්මක වන නමුත් ඒවා නියාමනය කිරීමට ඇති නීතිමය පද්ධති තවමත් රටවල භූගෝලීය සීමාවන් තුළ පවතින බවයි.
එම පරතරය හේතුවෙන් ඩිජිටල් යුගයේ නව තොරතුරු පද්ධතිය පාලනය කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම Big Tech සමාගම් සමඟ කේවල් කිරීමේදී කුඩා රටවලට තනිව ප්‍රමාණවත් බලයක් නොමැති බැවින් Global South රටවල් පොදු වේදිකාවක් ඔස්සේ එක්විය යුතු බව ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා.
ඩිජිටල් වේදිකා දේශීය වෙළඳ දැන්වීම් ආදායමෙන් විශාල කොටසක් අත්පත් කරගැනීම හේතුවෙන් සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල ආර්ථික පැවැත්මටද බලපෑම් එල්ල වන බව ඔහු පෙන්වා දී තිබේ. එම තත්ත්වය ගවේෂණාත්මක සහ වෘත්තීය මාධ්‍යකරණය පවත්වාගෙන යාමටද අභියෝගයක් බව ඔහුගේ අදහසයි.
ආචාර්ය රංග කලංසූරියගේ The Youthquake කෘතිය හරහා අවධානය යොමු කරන්නේ තරුණ පරම්පරාවේ නැගිටීම පමණක් නොව, එම නැගිටීම බලගන්වන නව ඩිජිටල් තොරතුරු පද්ධතිය සහ එය ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍යය සහ රාජ්‍ය පාලනය මුහුණදෙන අභියෝග පිළිබඳවයි.


