කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන The Life Traveler පරිසර ඇමතිගෙන් විමසයි
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන චෝදනා පිළිබඳව The Life Traveler කළ විමසීමකදී, අදාළ නිලධාරීන් සහ පශු වෛද්යවරුන් ඇතා බේරාගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූ බව පරිසර අමාත්යවරයා පැවසීය.
ඇතා මියයාම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද, සිද්ධිය පිළිබඳ සත්ය තත්ත්වය තහවුරු කරගැනීම සඳහා අදාළ පරීක්ෂණ වාර්තාව වැදගත් වනු ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
The Life Traveler කළ විමසීමට පිළිතුරු දෙමින් පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, සිද්ධිය දැනගත් වහාම අදාළ පශු වෛද්යවරුන්ට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවයි.
එමෙන්ම, තමන් සිද්ධිය වූ ස්ථානයට ගොස් කරුණු සොයා බැලූ බවත්, ඉන් අනතුරුව අදාළ වෛද්ය අංශ සහ නිලධාරීන් සමඟ දිනපතා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අවශ්ය උපදෙස් ලබාදුන් බවත් අමාත්යවරයා පැවසීය.
“මම අමාත්යාංශ දහයක් බලනවා. ඒ වැඩකටයුතු නිසා සමහර අවස්ථාවල ස්ථානයට යාමට නොහැකි වුණත්, සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔවුන්ට අවශ්ය උපදෙස් ලබාදුන්නා,” යැයිද අමාත්යවරයා සඳහන් කළේය.
කාවන්තිස්ස ඇතා බේරාගැනීම සඳහා නිලධාරීන් සහ පශු වෛද්යවරුන් කළ කැපවීම තමන් සියැසින් දුටු බව පැවසූ අමාත්යවරයා, ඔවුන්ට සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන විවේචන පිළිබඳවද අදහස් දැක්වීය.
“සමාජ මාධ්යවලින් අපේ නිලධාරීන්ට සහ වෛද්යවරුන්ට විවේචන එල්ල වුණාට, ඒවා ඇත්ත නොවෙයි. මම ඇස් දෙකෙන් දැක්කා ඔවුන් කොච්චර වෙහෙසුණාද කියලා. මේ ඇතා බේරාගන්න ඔවුන් විශාල කැපකිරීමක් කළා,” යනුවෙන් ඔහු පැවසීය.
කාවන්තිස්ස ඇතා මියයාම රටට වටිනා සම්පතක් අහිමිවීමක් බවත්, ඒ පිළිබඳව තමන්ටද දැඩි කනගාටුවක් පවතින බවත් අමාත්යවරයා සඳහන් කළේය.
“ඇතාව මැරෙන්න ඇරියා කියන චෝදනාව ඇත්තක් නොවෙයි. කාටවත් එහෙම අවශ්යතාවක් නැහැ. ඇත්ත කතාව දන්නේ නැති නිසයි එවැනි චෝදනා කරන්නේ,” යැයිද ඔහු ප්රකාශ කළේය.
අග්බෝ ඇතා ගැන පළ වූ සමාජ මාධ්ය සටහනක් ගැනත් ඇමති කතා කරයි
මේ අතර, තවත් ඇතෙකුට වෙඩි තබා ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන්ද තමන් සොයා බැලූ බව අමාත්යවරයා පැවසීය.
එම සටහන පළ කළ පුද්ගලයා සමඟ සම්බන්ධ වී කරුණු විමසූ බවත්, අග්බෝ ඇතා සම්බන්ධයෙන් සොයා බැලීමට සහාය ලබාදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයාගෙන්ද ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව කරුණු සොයා බැලීමේදී අදාළ සමාජ මාධ්ය සටහනේ සඳහන් තොරතුර සත්ය නොවන බව අනාවරණය වූ බව අමාත්යවරයා පැවසීය.
“සමාජ මාධ්යයෙන් ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒක වැරදි වැඩක්. ඇත්ත කතාව වෙනස් එකක්,” යැයිද ඔහු ප්රකාශ කළේය.
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන චෝදනා සහ මතුව ඇති ප්රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබාගැනීම සඳහා අදාළ පරීක්ෂණ වාර්තාව සහ එහි නිගමන වැදගත් වනු ඇත.


