දේශීය

වත්මන් අර්බුද හේතුවෙන් කාන්තාව මත වැඩි පීඩනයක්, බරක්

2000 දශකයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය පුරුෂයන් ගණන ඉක්මවා ඇති අතර, මේ වන විට රටේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්ය. . ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි නමුදු ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තවමත් දේශපාලනය, රැකියා, විවාහය මෙන්ම පෞද්ගලික දිවිය තුළ බොහෝ බාධකවලට මුහුණ දීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් සියයට 19ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් ය. බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවුල් 1/4 වැඩි ප්‍රමාණයකට අයත් කාන්තාවන්ට දැඩි ලෙස බලපෑම් සිදුව ඇති බව පැවසේ. කාන්තාව ගෘහ මූලිකයා වූ විට ඔවුන්ට පවුල වෙනුවෙන් දැරීමට සිදුවන බර පිරිමියාට සාපේක්ෂව දෙතුන්ගුණයකින් වැඩි වේ. කාන්තාව සහ මාධ්‍ය සාමුහිකයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ පැවසුවේ රටේ පවතින වත්මන් අර්බුද හේතුවෙන් කාන්තාව මත වැඩි පීඩනයක්, බරක් පැටවී ඇති බවයි.

“ගෘහය තුළ තිබෙන සම්පත් පාවිච්චියේදී වගේම පවුලේ සාමාජිකයන්ට ආහාරපාන සැපයීමේදී පවා සමාජයේ පවතින ආකල්ප මත එහි වැඩි බරක් දැරීමට සිදුව ඇත්තේ කාන්තාවටයි. ඉන්ධන හිඟය, ගෑස් හිඟය, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම, දිනකට පැය කිහිපයක් විදුලිය විසන්ධි කිරීම වැනි ප්‍රශ්න සියල්ලම නිසා සැමියා සහ දරුවන් මුහුණ දෙන ප්‍රශ්නවල බර පැටවෙන්නේත් කාන්තාවටයි. විශේෂයෙන් අවිධිමත් ක්ෂේත්‍රයේ නිරත වෙමින් එදිනෙදා උපයාගන්නා මුදලින් පවුල නඩත්තු කරන කාන්තාවන්ට ප්‍රමාණවත් ආදායමක් ලබාගත හැකි අවකාශය දිනෙන් දින ඇකිළෙමින් තිබෙනවා. මෙවර කාන්තා දිනය සැමරෙන්නේ කාන්තාවන්ට සුවිශේෂී වූ අභියෝග රැසක් අතර වත්මන් අර්බුද නිසාත් කාන්තාව දැඩි පීඩනයකට පත්වී සිටින තත්ත්වයක් තුළයි. ඒ නිසා දිනයක් වෙන්කිරීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සමාජයක් ලෙස මේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමුකිරීම අවශ්‍යයි” පවුල වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළද ඇතැම් විට කාන්තාවට හිමිවන්නේ සුන්දර ජීවිතයක් නොවේ. වසංගතය හේතුවෙන් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවී තිබී කාලයේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබිණ. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත තුළින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ට නීතිමය රැකවරණය සැලසෙන අතර, ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කාන්තා අයිතීන්වලින් ඔබ්බට ගිය විශාල වපසරියක් එම පනත මඟින් ආවරණය වන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවාය. සෑම පොලිස් ස්ථානයකම ඒ සම්බන්ධ විශේෂ අංශයක් පවතින අතර ළමයින්ට සහ කාන්තාවන්ට සිදු වන අපරාධ වැළැක්වීම, විමර්ශන පැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම එහි කාර්යභාරයයි.

“කාන්තාවන්ට සහ ළමයින්ට කුමන හෝ හිංසනයක්, ක්‍රෑර ලෙස සැලකීමක්, නොසලකා හැරීමක් සිදුවනවා නම් ළඟම තිබෙන පොලිසියේ කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ හැකියි. ළමා හා කාන්තා කාර්යාංශයට යොමුවන පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි විභාග කරන්නේ පුහුණුව ලත් නිලධාරින් විසින්. පවුල් උපදේශනයේදී සමාදාන කළ හැකි නම් එසේ කරනවා. නැත්නම් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට කාන්තාවට ආරක්ෂාව සලසා දීමට කටයුතු කරනවා. මේ පනත පිළිබඳ ඇතැමුන් තුළ වැරදි අදහසක් තිබෙනවා, නමුත් මෙය පිරිමියකුට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් නෙවෙයි. කාන්තාවක් නිවෙස තුළදී සැමියා පිරිමියා විසින් තදබල ලෙස පහර දෙනවා නම් ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් සුදුසු පරිදි නියෝගයක් ලබාදීමයි එහිදී සිදු කරන්නේ. අධිකරණය ඉදිරියට යෑම තුළින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වඩාත් ශක්තිමත් භාවයක් ලැබෙනවා. ”

එසේ පැවසූ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර අන්තර්ජාලය සම්බන්ධ අපරාධ වැඩිවෙමින් තිබෙන පසුබිමක් තුළ කාන්තාවන් සහ ගැහැනු දරුවන් වඩාත් සුපරික්ෂාකාරී විය යුතු බව පැවසුවාය.

“නිවෙස තුළදී දැරියන්ට සිදුවන අපචාර වළක්වා ගැනීමට දියණියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. අපි පාසල්වලට ගොස් දේශන පවත්වමින් දැරියන් දැනුම්වත් කිරීම සිදු කරනවා. නමුත් නිවෙස තුළදී සිදුවන දේවල් වළක්වා ගැනීමට නම් නිවෙස ඇතුළත සිටින අයගේ දැනුම්වත්භාවය අත්‍යවශ්‍යයි. හැමදේම දරාගෙන සිටීමට නොව මුල් අවස්ථාවේදීම ඒවාට විරුද්ධ වීමට, ඒ පිළිබඳ සමීපතම අයකු දැනුම්වත් කිරීමට දියණියන් දැනුම්වත් කළ යුතුයි. විශේෂයෙන් යොවුන් දැරියන් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ලිංගික අපයෝජනට මඟ ඇහිරිය යුතුයි. දියණියන්ට තමාගේ වටිනාකම සහ අයිතීන් ගැන අවබෝධ කරදීමත් වැදගත්”

ඇය වැඩිදුරටත් එසේ පැවසුවේ දියණියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මවුපියන්ගේ වගකීම ද අවධාරණය කරමිනි. සෑම පුද්ගලයකුටම තම ශරීරය ගැන ස්වාධීන තීරණ ගැනීමට අයිතියක් ඇතිවාක් මෙන් සෑම කාන්තාවකටම ලිංගික හා ප්‍රජනන අයිතීන් ඇත. ලිංගිකව එක්වීමට, ගැබ් ගැනීමෙන් ආරක්ෂා වීමට මෙන්ම ආරක්ෂිත ගබ්සා කිරීම් වැනි සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශ වීමට කාන්තාවන්ට අයිතියක් තිබුණද ගබ්සාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය ඉතා දැඩිය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළද මේ දක්වා ඒ ඉල්ලීම කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නැත. එමෙන්ම නොගැළපෙන විවාහ බැම්මෙන් නිදහස් වීම සඳහා දික්කසාදය ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා නිසා ද වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ කාන්තාවයි. මෙකී කරුණු පිළිබඳ අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු විමර්ශන සහ පරීක්ෂණ භාර කොමසාරිස් සහ මානව හිමිකම් පිළිබඳ ජ්‍යේෂ්ඨ නීතිඥ රමණි මුත්තෙටුවේගම ගෙන් විමසීමක් කළෙමු.

අතවර හේතුවෙන් සිදුවන ගැබ් ගැනීම් සහ අනපේක්ෂිත ගැබ් ගැනීම් හේතුවෙන් ඇතැම් කාන්තාවන් සියදිවි නසාගත් අවස්ථා ද වාර්තා වෙනවා. යොවුන් දැරියන් ගැබ්ගැනීම වගේම පවුල් ඒකකයට දරා ගත නොහැකි ලෙස පිළිසිඳගැනීම් සිදුවන අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය අවසරයක් නොමැති වීම තුළ කාන්තාවන් සහ දැරියන් බරපතළ ගැටලුවලට මුහුණ දෙනවා. මෙය ඉතා සංවේදී කාරණාවක්. තරුණ සහ මැදිවියේ පුද්ගලයන් අතර පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ නිවැරදි දැනුම්වක් භාවයක් නොමැති වීමත් අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට මූලික හේතුවක්. ඒ වගේම දික්කසාදයේදී කාන්තා අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය වන අවස්ථා කිහිපයක් තිබෙනවා. දික්කසාදය ලබාගැනීමේ ක්‍රමවේදය ඉතා දීර්ඝ වීම එහි එක් අවස්ථාවක්. ඒ වගේම සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය ස්ථිර වන තුරු තවත් මාස 3ක් සිටිය යුතුයි. බොහෝ කාන්තාවන් ඒ ගැන දන්නෙත් නැහැ. අපේ රටේ උඩරට නීතියේ හැර, අඹුසැමි දෙදෙනාගේ එකඟත්වය මත දික්කසාදය ලබාගැනීමේ වෙනත් කිසිම නීතියක් නැහැ. ”

ඒ හේතුව නිසා ගිනි ගෙයක් වූ කුල ගෙදර මියෙන තුරාවට දහදුක් විඳිමින් ජීවත් වන ගැහැනු දුලබ නොවේ. හානිකර සමාජ සම්මතයන් මෙන්ම අයිතීන් ගැන නොදැනුවත්කම මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා බාධක ලෙස ක්‍රියා කරන බව ද ජ්‍යේෂ්ඨ නීතිඥ රමණි මුත්තෙටුවේගම පැවසුවාය.

“කාන්තා අයිතිවාසිකම් දිනාගන්න නිතරම පාරට බැහැලා පෙළපාළි යෑම, විරෝධතා පැවැත්වීම අවශ්‍ය නැහැ. එදිනෙදා ජීවිතයේදී කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව දැනෙනවා නම් නිහඬව නොසිට ඒ ගැන කතාකළ යුතුයි. ඊට පිළියම් සෙවිය යුතුයි. පළමුව නිවෙසින් පටන් ගත යුතුයි. පවුල තුළ පුතාට වඩා වෙනස් විදිහට දුවට සැලකීම නතර කිරීමට, දෑවැද්ද ඉල්ලීමට එරෙහි වීමට කාන්තාවට ශක්තියක් තිබිය යුතුයි.”

ස්ත්‍රී, පුරුෂ අසමාන භාවය හේතුවෙන් කාන්තාව පීඩනයට ලක්වන්නේ නිවෙස තුළ පමණක් නොවේ. 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.8 දක්වා වැඩි වුව ද 2021 ලෝක ආර්ථික සංසද වාර්තාවට අනුව දකුණු ආසියානු රටවල දේශපාලනය තුළ අවම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේය.

“සියයට 52ක ජනගහනයේ අයිතිය කාන්තාවන්ට තිබුණත් තවමත් ශ්‍රී ලංකාවේ දත්ත සහ ප්‍රතිපත්ති හරහා පුරවැසියන් විදිහට අපට දැනෙන පරිවර්තනයක් සිදුවෙලා නැහැ. ප්‍රාදේශීය දේශපාලනය තුළ කාන්තාවට ගරු කරන නිදහස් වාතාවරණයක් ඇතිකිරීමට දේශපාලන අධිකාරියට හැකිවී නැති බව ප්‍රාදේශීය සභා තුළ ඇතැම් මහජන නියෝජිතයන් සහෝදර මන්ත්‍රීවරියන්ට සලකන ආකාරයෙන් පැහැදිලි වෙනවා. දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට කුමනාකාර පරිවර්තන ගෙනාවත් කාන්තා අයිතිවාසිකම් පිළිගන්නා තත්ත්වයට සමාජ සහ දේශපාලන මනස වෙනස් කළ යුතු බවයි ඉන් ගම්‍ය වන්නේ. අපි පැහැදිලිවම දර්ශකයන්ගෙන් පහළට වැටෙනවා මිසක් නැඟීමක් නැහැ. මේ තත්වයන් ගැන කතා කරන්න අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්නෙත් එක ඇමතිවරියක් පමණයි. මේවා අපේ ප්‍රතිරූපයට සහ ඇගයීමට බලපානවා. කාන්තා සෞභාග්‍යය කියන්නේ ස්වයං රැකියා ව්‍යාපෘති පමණක් නොවේ. එක සමානව පුරවැසියන් සියලු දෙනා රටේ පොහොසත්කමේ කොටස්කරුවන් විය යුතුයි. නමුත් අද අපි දකින්නේ රටේ දුප්පත්කමේ මුහුණ, නැතිබැරිකමේ මුහුණ, ණයබරින් මිරිකෙන මුහුණ. එවැනි තත්ත්වයක් තුළ කුමක් සැමරිය යුතුද? කුමක් කළ යුතුද යන ප්‍රශ්නයට සමාජ ක්‍රියාකාරිනියක ලෙස මමත් කල්පනා කරනවා. සියයට පනස්දෙකේ කෝ අපේ බලය? කෝ අපේ ශක්තිය? කෝ අපේ අනාගතය?”

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

4 days ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

4 days ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

3 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

1 month ago