කට්ට කලා ජීවිතය ජයගත් මිනිස්සු

‘උඩුවේයාය’ කියන්නේ අපේ පැල්පතේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර දුරින් තියෙන දුෂ්කර ගමක්. අපේ අම්මා මේ ගමේ කුඹුරු වැඩවලට යනවා. එහෙම ගියාම කුලිය හැටියට හම්බ වෙන්නේ සල්ලි නෙවෙයි. කිලෝ 10කටත් වඩා බර ගොයම් මිටියක්.’

‘අම්මා ඔය ගොයම් මිටිය ඔළුව උඩ තියාගෙන ගිනි අව්වේ එහෙමත් නැත්නම් අඳුර වැටෙන වෙලාවට ගෙදර එනවා. ඇවිත් බිම දාලා බිත්තියට අත්දෙක තියාගෙන වරුවක් විතර කකුල් දෙකින් පාගලා වී ටික වෙන් කර ගන්නවා. ඒක හාල් කරගෙන තමයි අපිට කන්න දෙන්නේ. ඒ වගේම තාත්තා කුලී වැඩ කරලා හොයාදෙන සල්ලිවලින්. පුංචි කාලේ අපේ ජීවිත ගෙවුණේ එහෙම.’

දැන් උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස රාජකාරි කරන දිමුතු ප්‍රදීප් තම ළමා කාලය ගැන මතක් කරන්නට පටන් ගත්තේ එහෙමය.

ඒ අතීතය මේ සටහන කියවන ඔබට හා ලියන අපට නම් දුක්බරය. එහෙත් ඔහුට එවැනි හැඟීමක් නැත.

‘අපේ ආච්චි.. ඒ වගේම මගේ අම්මා කවදාවත් ඒ ජීවිතේ දුකයි.. පසුතැවිල්ලයි කියලා අපට අහන්න තියලා නැහැ. ඒ දෙන්නා හැමදේ දිහාම උපේක්‍ෂාවෙන් බලන්න අපට පුරුදු කළා. අම්මා, ආච්චි දෙන්නම මහ පුදුම චරිත. මොන දේ නැති වුණත් අඬන්නේ නැහැ. දුකින් ඉන්නවා දැකලත් නැහැ.’

උප පොලිස් පරීක්‍ෂක දිමුතු ප්‍රදීප් මේ වන විට නීතිඥයෙකි. ඔහු එම පදවිය ලබා ගත්තේ පෙර කී පරිදි අභියෝග රැසක් මැදය. කොටින්ම දෙවරක් අ.පො.ස. උසස් පෙළ විභාගය අසමත් වී මානසික අවුලකට පවා පත්වී සිටි පසුබිමක් තුළය.

‘මම උසස් පෙළ කළේ ගණිත විෂයයන්. ඒත් මට විභාගය සමත් වෙන්න බැරි වුණා. 2002 විභාගයට මුහුණ දුන් මම විෂයයන් තුනම අසමත් වුණා.’

‘ඊළඟට 2003 අවුරුද්දේ ආපහු විභාගය කළා. ඒ පාරත් විෂයන් තුනම අසමත්.’

එස්.අයි. දිමුතු ප්‍රදීප් පවසන්නේ ඔහු මේ ප්‍රතිඵලවලින් පසුව රැකියාවක් සොයා ගැනීමට සිතූ බවය.

‘මම පුංචි කාලේ ඉඳලා කැමැත්තෙන් හිටියේ කලා විෂයක් කරලා ඉදිරියට යන්න. ඒත් මගේ තාත්තා නිතරම කිව්වේ ‘පුතේ ඔයා ඉන්ජිනේරුවෙක් වෙන්න’ කියලා. තාත්තා ඒක කිව්වේ මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඩී’ සාමාර්ථ 5ක් සහ අනෙක් විෂයන්වලට ‘සී’ සාමාර්ථ ලබා ගත්තට පස්සේ.’

එස්.අයි. දිමුතු ප්‍රදීප්ගේ උපන් ගම මාතර, තිහගොඩ ප්‍රදේශයේ කිතලගමය. කිතලගම බටහිර මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව ඇතුළු වන්නේ මාතර මහා විද්‍යාලයටය. ඒ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කිරීමේ අරමුණ ඇතිවය.

ඒත් මේ කාලයේදී දිමුතු ප්‍රදීප්ගේ මව දැඩි ලෙස ගිලන් වූවාය. ඒ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ කාරණය පසුබිම් කරගෙනය.

‘මුලින්ම අම්මාට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ මාතර මහ රෝහලට. එතැනින් වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට අම්මව අරන් ආවා.

එතැනින් අංගොඩ රෝහලටත් අරන් ගියා. ඒ අම්මාගේ මානසික තත්ත්වය හොඳ නැහැ කියලා නිර්දේශ කර තිබුණු නිසා.’

මේ අභාග්‍යසම්පන්න පසුබිම මත දිමුතු ප්‍රදීප්ට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබුණේ නැත. පොතපතේ පාඩම් මතක හිටියේ නැත.

මේ ආකාරයට දෙවරක්ම උසස් පෙළ විභාගය අසමත් දිමුතු ප්‍රදීප් අවසානයේදී කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමට සිතා ගත්තේය. ඒ අනුව හිතවතකුගේ මාර්ගයෙන් ඔහුට ළමා පුවත්පත් බෙදාහරින ආයතනයක රැකියාවක් ලැබුණේය.

‘ඒක මාතර ප්‍රදේශයේ තිබුණු ළමා පත්තර මුද්‍රණය කර බෙදාහරින ආයතනයක්. ජයන්ත වීරසිංහ මහත්තයා තමයි ඒකේ අයිතිකාරයා.’

‘ඉතින් මට තිබුණේ පත්තර මිටි බැඳලා උඩට පහළට අරන් යන රස්සාව. මම ඒක ආසාවෙන් කළා. අමාරු වුණත් ඒක මගේ රස්සාවනේ.’

මේ රැකියාව කරන කාලයේ දිමුතු ප්‍රදීප්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු වී තිබිණි. ඒ තමන් සිටින ගොඩනැඟිල්ලට එහා පැත්තේ ඇති ශාලාවක් තුළ පැවැත්වෙන දේශනයක් වෙතය.

එහි තිබුණේ නීති විෂය උගන්වන අමතර පන්තියකි. දේශකවරයා නීතිඥ රංගජීව මහතාය.

‘මම දවසක් ඒ සර්ව හමු වෙන්න ගියා. මොකද මට හරි ආසාවක් ඇති වුණා මේ විෂය ඉගෙන ගන්න. ඉතින් මම එතැනට ගිහින් ඒ ගැන සර් එක්ක කතා කළා.’

‘ඔයා උසස් පෙළ අසමත් නිසා මේ විභාගය කරන්න බැහැ. ඒත් සාමාන්‍ය පෙළ හොඳින් සමත් නිසා ආපහු සැරයක් උසස් පෙළ කරලා සමත් වෙන්න බලන්න.’

කාලය මේ ආකාරයට ඉදිරියට ඇදී ගියේය. 2004 අවුරුද්දේ දිමුතු ප්‍රදීප්ගේ නැඟණිය පැමිණ තම ධෛර්යවන්ත අයියාට නවමු ප්‍රවෘත්තියක් ලබා දුන්නාය. ඒ ඇය කලා අංශයෙන් උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වූ ආරංචියත් සමඟ මුසු වූ එකකි.

‘ඔයා එක්ක ගණිත අංශයෙන් ඉගෙන ගන්න කසුන් අයියත් අපි එක්ක ආර්ට්වලින් විභාගය කළා. එයත් පාස්. එයාටත් කැම්පස් යන්න පුළුවන්. ඔයත් ඊළඟ පාර ආර්ට්වලින් විභාගේ කරන්න අයියේ.’

දිමුතු ප්‍රදීප්ගේ බලාපොරොත්තු අලුත් විය. ඔහු වහා කලා විෂයයන් වෙනුවෙන් අමතර පන්ති පැවැත්වෙන අධ්‍යාපන ආයතනයක් සොයා ගත්තේය.

“විභාගයට තිබුණේ මාස හයයි. මම ඒ මාස හයේම ක්ලාස් ගියා. පාඩම් කළා. ඒකට මට මගේ පුවත්පත් ආයතනයේ අයිතිකාර ජයන්ත වීරසිංහ මහත්තයා හුඟක් උදවු කළා.”

ඒ අනුව 2005 අවුරුද්දේ දිමුතු ප්‍රදීප් අපොස උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දුන්නේය. ඔහු සියලුම විෂයන්වලට ඒ සමාර්ථ ලබා ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ 64 වැනියා බවට පත්විය. ඉනික්බිතිව ඔහු එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට.

මේ කාලය මේ විදියට ගෙවෙද්දී ඔහු පුවත්පත් සමාගමේ රැකියාව අත්හැර දැමුවේද නැත. තවත් මිතුරන් දෙදෙනකු සමඟ එක්වී ඔහු කොළඹ ප්‍රදේශයේ එම ළමා පුවත්පත බෙදා හරින්නා ලෙස අපරිමිත ධෛර්යයකින් යුතුව කටයුතු කළේය.

“ඒ වෙද්දී අපි ජීවත් වෙන්නේ පොල් අතු සෙවිලි කළ කටු මැටි බිත්ති තියෙන ගෙදරක. ඒ ගෙදර තිබුණේ කුස්සියයි, සාලයයි විතරයි.

එදාවේල සොයා ගත්තේ හුඟක් අමාරුවෙන්. මේ කාලේ අම්මා ලෙඩ වෙලා නිසා ගෙදර මුළු බරම ගත්තේ ආච්චි අම්මා.

ඇය පුදුමාකාර ආදර්ශවත් ගැහැනියක්. කවදාවත් හඬාවැලපෙනවා අපි දැකලා නැහැ. පසුතැවිල්ලෙන් කතා කරනවා අහලා නැහැ. හැමදේම සුබවාදී විදියට දැක්කා.”

මේ ආකාරයට ජීවත් වූ දිමුතු ප්‍රදීප්ගේ ආච්චි අම්මා හිටි හැටියේ එක්තැන් වූවාය. ඒ වයසත් සමඟ ඇතිවූ අසනීප තත්ත්වය නිසාවෙනි. කෙසේ හෝ එක්තරා දවසක දිමුතු ප්‍රදීප්ට ලැබෙන්නේ නරක ආරංචියකි.

“එදා මට ලැබුණේ ආච්චි අම්මා මියගියා කියන පුවත. මම මේ ආරංචිය අහලා හොඳට ඇඬුවා. මහ රෑ නිසා මට ගෙදර යන්නත් බැහැ. ඉතින් නේවාසිකාගාරයේ උඩට ගිහින් ඇතිවෙනතුරු ඇඬුවේ ආච්චි අම්මා අපි වෙනුවෙන් කළ කැපවීම ගැන හිතලා. අපේ අම්මා පුංචි කාලේදීම තමයි සීයා මියගිහින් තිබුණේ. එදා ඉඳලම ආච්චි තනියම ජීවිතේට මුහුණ දුන්නා. කැපවීම් කළා.”

දිමුතු ප්‍රදීප් තමන්ට සැලකූ ආච්චි අම්මාට බොහෝ ළැදිය. ඇය අසනීපව සිටි කාල සීමාව තුළ පුංචි දැරියක ලෙස ඔසවාගෙන ගොස් සෝදා සුද්ද පවිත්‍ර කළේද ඔහුගේ දෑතිනි.

“මම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලේ මාස ගණනක් මාතර හෝටලයක වැඩට ගියා. මට තිබුණේ පිඟන් සෝදන්න.

මේ රස්සාවෙන් මට ලැබුණු පඩියෙන් මම අපේ ගෙදර අයට ඇඳුම් පැලඳුම් අරගත්තා. අපේ ආච්චිට ගත්තේ කිරිපිටි පැකට් එකක්. මොකද එයා කවදාවත් කිරිපිටි බීලා තිබුණේ නැහැ. ඒ බොන්න තරම් වත්කමක් අපිට තිබුණේ නැති නිසා.”

දිමුතු ප්‍රදීප්ගේ ආච්චි අම්මා සැලීනෝනාය. එහෙත් බොහෝ දෙනා ඇයව හැඳින් වූයේ “නොසැලී සිටින සැලී” ලෙසිනි.

“මගේ අම්මත් ඒ වගේ ගැහැනියක්. ආච්චි අම්මා මියගිය වෙලාවේ පවා ඇය ඇඬුවේ නැහැ. ජීවිතේ හැටි මෙහෙම තමයි පුතේ කිව්වා. ඇත්තටම ඇය තුළත් තිබුණේ පුදුමාකාර ධෛර්යයක්.

ඒ වගේම තමයි මගේ තාත්තා. එයා සිරිල්. තාත්තා හැම වෙලාවෙම අපිට ඉගෙනගන්න උනන්දු කළා. එයා වැඩිපුර ඉගෙන ගෙන නැති වුණත් අපිව ඒ සඳහා උනන්දු කළේ ටිකක් විතර සැර වෙලා.”

දිමුතු ප්‍රදීප් ඇතුළු බොහෝ දෙනකු දන්නා පරිදි තාත්තා පාසලක මුර රස්සාව කළ කෙනෙකි. එහෙත් තාත්තා විශ්‍රාම ගොස් පැන්ෂන් පඩිය හදා ගන්නට වෙහෙසෙන මොහොතේ දිමුතු ඇතුළු පවුලේ අය තාත්තාගේ රැකියාව නිවැරැදිව දැනගන්නට හැකි වුණි. ඔහු රැකියාව කළේ පාසලක බව ඇත්ත. එහෙත් ඔහු එම පාසලේ කම්කරුවෙකි.

“තාත්තා අපිට ඒ බව හංගා තිබුණේ අපට දුක හිතෙයි කියලා. ඇත්තටම තාත්තගෙ හරි රස්සාව දැනගත්තාම නම් අපිට ගොඩක් දුක හිතුණා. මේ තරම් පුංචි රස්සාවක් කරලා අපිට කන්න බොන්න දෙන්න, උගන්වන්න තාත්තා කළ කැපවීම කොයි තරම්ද කියලා අපට වැටහුණා.”

හය දෙනකුගෙන් සමන්විත පවුලකට කොයිතරම් ඕනෑඑපාකම් ඇත්දැයි වටහා ගැනීමට ලොකු දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ විය හියදම් කොතෙක් දැයි ගණන් බලා කියන්නට නම් කිසිවකුට බැරිය. දිමුතු ප්‍රදීප්ලාගේ පවුල තුළද ඒ තත්ත්වය එලෙසමය.

“ගෙදර ආර්ථික ප්‍රශ්න මමත්, අයියත්, නංගීිත් හොඳින් දැනසිටියා. ඒ නිසාම මම අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලම විවිධ රැකියා කළා. හෝටලේ වැඩ කරලා විතරක් නිකම් හිටියේ නැහැ. ගෙදර හිටපු දවස්වල තේ කොළ පැකට් අරගෙන ගෙවල් ගාණේ ගිහින් වික්කා. තවත් වෙලාවට කොළ මිටි අරන් ගෙවල්වලට ගිහින් විකුණලා සල්ලි හෙව්වා. ඒ වගේම අයිස් පැකට් වික්කා.

එක දවසක් මාතර මහා විද්‍යාලයේ ටීචර් කෙනකුගේ ගෙදරට මම තේ කොළ අරන් ගියේ ඒ ටීචර් ගෙදර ඉන්න බව නොදැන. ඉතින් අන්තිමට ඒ ටීචර් කිව්වා පුතේ ඔයාට ඉගෙන ගන්න මම වියදම් කරන්නම් ඔයා ඕක නවත්වන්න කියලා. ඒත් මම හා කියලා ආවට ටීචර්ව ඉස්කෝලෙදි හම්බ වෙන්න ගියේ නැහැ. ඒ ලැජ්ජාවට.”

දිමුතු ප්‍රදීප් එසේ කීවේ වේදනාබර කටහඬකිනි.

කෙසේ හෝ 2004 අවුරුද්දෙන් පසු දිමුතු ප්‍රදීප්ලාගේ නිවෙසේ තත්ත්වය තරමක් වෙනස් විය. ඥාති හිතමිත්‍රාදීන් ගෙදර වැඩකටයුතුවලට උදවු කරන්නට ඉදිරිපත් වූහ. කටුමැටි, පොල් අතු නිවෙස වෙනුවට සිමෙන්ති දැමූ ගඩොල් බිත්තිවලින් සමන්විත නිවෙසක් ලැබිණි.

“පොල් අතු ගෙදර තිබුණේ සාලයයි, කුස්සියයි විතරයි. ඒ ගෙදර අපි හැමෝම එකට නිදාගත්තා. ආච්චි කුස්සියට වෙලා නිදාගත්තා. ඇත්තටම ඒක පුදුම දුක්බර මතකයක්.”

මේ කාලයේදීම දිමුතු ප්‍රදීප්ගේ වැඩිමහල් සොයුරා පුංචි ව්‍යාපාරික කටයුත්තකට අත ගැසුවේය. නංගී උපාධිධාරිනියක වී රැකියාවකට යොමු වූවාය.

“මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී මට ලැබුණු හොඳම අවසථාව තමයි ඉගෙන ගන්නා අතරතුර කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබීම.

ඒ වගේම මට මහපොළ ශිෂ්‍යත්වයත් ලැබුණා. ඉතිං මම අර පත්තර විකුණන රස්සාවෙන් සමුගත්තා. එදා මගේ ආයතනයේ ප්‍රධානියා මට සමු දුන්නේ තමන්ගේ ආදරය හා ළෙන්ගතුකම මට පෙන්වන ගමන්. මම හෙළුෑ දහදිය ගැන වර්ණනා කර කවියක් පවා ලියලා මට දුන්නා. මම හිතන්නේ ඒ මම ඒ රස්සාව අවංකවම කළ නිසා

විශ්වවිද්‍යාල ජීවිතයේදී දිමුතු ප්‍රදීප්ව හැඳින්වූයේ “අරටුවා” ලෙසිනි. අරටුවා විශ්විවිද්‍යාල සමයේදී ක්‍රියාකාරී සිසුවෙක් විය.

මේ කාලයේදී පුවත්පතක දුටු දැන්වීමක් ඔස්සේ දිමුතු ප්‍රදීප් හා තවත් මිතුරන් දෙදෙනකු උප පොලිස් පරීක්ෂක තනතුර ලබා ගැනීම පිණිස අයදුම්පත් පුරවා යැව්වේ නිකමට මෙන්ය. එහෙත් ඒ රැකියාව සඳහා දිමුතු ප්‍රදීප් සහ තවත් එක් මිතුරකුට කැදවීම් ලැබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු දිමුතු ප්‍රදීප්ට පුහුණුවෙන් පසු පළමු රාජකාරි ස්ථානය ලෙස සේවයට වාර්තා කිරීමට තිබුණේ කොහුවල පොලිසියටය. කොට කලිසමකින් සැරසී මහ පාරේ රථවාහන රාජකාරි කළ ඔහුට “සාජන් නල්ලතම්බි” ලෙස අන්වර්ත නාමයක්ද ලැබුණේ පාසල් දරු දැරියන් අතර ජනප්‍රිය චරිතයක් වූ නිසාවෙනි.

“කොට කලිසම නිසා තමයි ඒ නම මට ලැබුණේ. ඒ කාලේ මම පාරේ ගමන් කරන හැමෝම එක්ක සුහදව හිනාවුණා. උදවු පදවු කළා. ඒක ඇත්තටම රසබර අත්දැකීමක්. මම කොහුවල පොලිසියෙන් මාරුවීම් ලබද්දී එහි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විදියට රාජකාරි කළා.”

එස්.අයි. දිමුතු ප්‍රදීප් කොහුවල පොලිසියේ රාජකාරි කරද්දී එවකට එම පොලිසියේ ප්‍රධානීන් ලෙස සිටි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ රොෂාන් රාජපක්ෂ යන මහත්වරු දිමුතු ප්‍රදීප්ට තවදුරටත් අධ්‍යාපන කටයුතු කිරීමේ අවස්ථාවද උදාකර දුන්හ. ඒ අනුව ඔහු අපරාධ විද්‍යාව සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ඩිප්ලෝමාව සාර්ථකව නිමා කළේය. ඊටත් පසුව ඔහුගේ ඉලක්කය වූයේ නීතිඥයකු වීමටය. ඒ සඳහා ඔහු නීති විද්‍යාල ප්‍රවේශය සාර්ථකව අවසන් කළේය.

“ඊට පස්සේ තමයි මම නීතිඥ විභාගයට පෙනී සිටියේ. ඒ විභාගයට පෙනී සිටියේ මාස 6ක් වගේ කාලයක් ඉගෙන ගෙන. ඒ අනුව දෙවැනි පෙළ සාමාර්ථයක් එක්ක මම ඒ විභාගය සමත් වුණා. හැබැයි ඒ විභාගය වෙනුවෙන් තිබුණු විෂයන් 9 මම මතක තියාගන්න පුදුම විදියට මහන්සි වුණා. දිවා රෑ නොබලා වෙහෙසුණා.”

ඒ විභාගයෙන් පස්සේ ගාල්ල ප්‍රදේශය ඉන්න නීතිඥ තුසිත් ප්‍රියන්ත මහතා ළඟ උසාවි වැඩ කටයුතු පුහුණු වුණා.

“ඒ හැමදේකින්ම පස්සේ තමයි මම පසුගිය පෙබරවාරි 13 වැනිදා නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ.

“ඇත්තටම අරමුණ සඳහා ගමන් කරද්දී අපේ පොලිසියේ වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර හා නීතිඥ අජිත් රෝහණ යන මහත්වරුන් මගේ ජීවිතයේ පරමාදර්ශී චරිත වුණා. එක දවසක් මට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී රුවන් මහත්තයගේ ඉතා අපූරු දේශනයක් අහන්න ලැබුණා. ඒකත් මගේ ජීවිතයට ලබාදුන්නේ ලොකු රුකුලක්.”

කොහුවල පොලිසියෙන් මාරුවීමක් ලැබූ උප පොලිස් පරීක්ෂක දිමුතු ප්‍රදීප් කළුතර පොලිස් අභ්‍යාසෙට සම්බන්ධ වන්නේ දේශකයකු ලෙසය. ඒ ආධුනික පොලිස් නිලධාරීන් පුහුණු කරන නිලධාරියකු ලෙසය. එතැන් පටන් ඔහුට උදවු කළ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරු සහ පොලිස් අධිකාරිවරු මෙන්ම නිලධාරීහු බොහෝ වූහ. ඒ අතර යූ.එන්.ඒ.එස්. රුද්රිගු, සංජීව ධර්මරත්න, එම්.ජේ. කරුණාරත්න, අජිත් වික්‍රමසේකර, පී.හෙට්ටිආරච්චි, දමයන්ත විජය ශ්‍රී , අනුර පුෂ්පකුමාර යන ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හා පොලිස් අධිකාරිවරුන් ගැන ගෞරවයෙන් යුතුව මතක් කළේය. එමෙන්ම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ හිටපු හා වත්මන් අධ්‍යක්ෂවරුන් හැටියට කටයුතු කළ පොලිස් අධිකාරිවරුන්ටද ස්තුතිය පුද කළේය.

එමෙන්ම වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පිළිබඳව ඔහු හද බැතියෙන් යුතුව මතක් කරන්නට අමතක නොකළේය.

“මම අන්තිම අඩියේ ඉඳලා ඉස්සරහට ආපු කෙනෙක්. දුප්පත්කම ඔළුවටත් උඩින් තිබුණා. ගොඩක් දේවල් ඒ නිසා මට අහිමි වුණා. නමුත් අධ්‍යාපනය නැති වුණේ නැහැ. මගේ දුප්පත්කම ඒකට බාධාවක් නොවුණේ අධිෂ්ඨානය ඊටත් වඩා ප්‍රබල වුණු නිසා. මේ රටේ ඉන්න දුප්පත් දරුවෝ හැමෝටම මම කියන්නේ මගේ ජීවිතේ ආදර්ශයට ගන්න කියලයි. මගේ වයසේ දරුවන්ට හැමදේම තිබෙන කාලේ මම ඒ දේවල් නැතිව ඉස්සරහට ගියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාලේ අවුරුදු හතරක් තිබුණු ආදරයත් එතැනින් අයින් වෙනකොටම නැති වුණා. ඒත් මගේ දුප්පත් පවුල් පසුබිම දැනගත් නිසා. ඒත් මම මානසිකව වැටුණේ නැහැ.

ඒ කියන්නේ ඔබ තාම අවිවාහකයි…?

ඔව්. දැන් ඒවා ගැන මම හිතන්නේ නැහැ. නැති වෙච්ච දේවල් නැතිවුණා. ඉස්සරහ ඊටත් වඩා හොඳ වේවි. උප පොලිස් පරීක්ෂකවරයා එසේ කියා සිනාසුණේය.

“මම පොලිස්කාරයෙක් වුණත් හැම වෙලාවෙම හිතන්නේ මගෙන් ඉගෙන ගන්න ආධුනික පොලිස් නිලධාරීන්ටත් නිතරම කියන්නේ මිනිස්සු අපි ළඟට එන්නේ සල්ලි ඉල්ලලා නෙවෙයි, ඉඩකඩම් ඉල්ලලා නෙවෙයි, පිහිට ඉල්ලලා…. යුක්තිය ඉල්ලලා… යුක්තිය ඉල්ලලා… ඒ අය අපෙන් ඉල්ලන්නේ සතුට… ඒ සතුට ලබාදෙන්න හිනාවෙලා කතා කරන්න කියලයි.

මොකද මට දුප්පත් මිනිසුන්ගේ හදවත තේරෙනවා. අහිංසක මිනිසුන්ගේ දුක තේරෙනවා. ඒ මම ඒ පන්තිය ඉතාමත්ම හොඳින් නියෝජනය කළ කෙනෙක් නිසා.”

උප පොලිස් පරීක්ෂක දිමුතු ප්‍රදීප් හැඟුම්බර හඬකින් යුතුව එක දිගට කීවේය. සැබවින්ම ඔහුගේ ස්වරය පැහැදිලිය. හඳුනාගැනීම පහසුය. ඔහු සැබවින්ම මානුෂික පොලිස්කාරයෙකි. අධිෂ්ඨානශීලී පොලිස්කාරයෙකි. පරමාදර්ශී චරිතයකි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ #මව්බිම
(නිලන්ත)

Recent Posts

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…

13 hours ago

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

5 days ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

6 days ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

3 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago