Saturday, April 18, 2026
Homeදේශීයමරණ 30,000 ඉක්මවීමේ අවදානමක්..! ශ්‍රී ලංකාවේ වසංගතය ගැන වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිතික...

මරණ 30,000 ඉක්මවීමේ අවදානමක්..! ශ්‍රී ලංකාවේ වසංගතය ගැන වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිතික හා අගැයීම් පිලිබඳ ආයතනයෙන් බිය ජනක අනාවැකියක්..!

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) – the University of Washington) සතු covid19.healthdata.org වෙබ් අඩවියේ ලංකාවේ කොවිඩ් වසංගත අර්බූදය සම්බන්ධ ඉදිරි ප්‍රක්ශේපනය ඇස් ඇරෙන සහ බිය ගැන්වෙන සුළුය.

සිය විශ්ලේෂනයන් පදනම වන ක්‍රම විධි පිළිබඳව එම වෙඩ් අඩවිය තොරතුරු සඳහන් කරයි. එකී වෙබ් අඩවිය සිය විශ්ලේෂණයන් නොමිලයේ ලබා දෙන අතර එය දක්වන්නේ ලොව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහායවීම එහි අපේක්ෂාව බවයි.

මෙම අනාවැකි එළෙසින්ම යථාර්තයක් වනු ඇතැයි කීම මෙම ලිපියෙහි අදහස නොවන අතර ඉන් කැරෙන්නේ ඇතිවිය හැකි භයානත තත්වය ගැන දැනුවත් කිරීමක්  පමණි. මෙරටින් අසන්නට ලැබෙන තොරතුරු විසින් පෙන්නුම් කරන්නේ පැහැදිළිවම රටෙහි උග්‍ර සෞඛ්‍ය අර්බූදයක් පවතින බවයි.

වෘත්තීය සමිති නායකයෙකුට වෙච්චි දේ…

පසුගිය දිනක කොවිඩි අසාදිතව රෝහලක් සොයා ගිය ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයකුට පැය තුනක් රාගම රෝහලෙහි සිටගෙන සිටීමට සිදුව තිබේ. නවලෝක රෝහල් පිරී ඇති බැවින් එය මගින් පාලනය වන හෝටලයක ඔහු නතර කිරීමට නම් රුපියල් 175,000 තැන්පත් කරන ලෙස දන්වා තිබේ.  අවසානයේදී ඔහුට රෝහල් ඇඳක් ලැබී ඇත්තේ ඇමැතිවරු දෙදෙනෙකුගේ මැදිහත්විම මතය. එක් ඇමැතිවරයකු ඔහුට කියා ඇත්තේ තමා නතර වී සිටි කොග්ගල හෝටලයෙහි නතරවීමට පහසුකම් ඇති බවයි. නමුත් එම හෝටලය දන්වා ඇත්තේ ගිලන් රථයකින් මිස එහි පැමීණිමට ඉඩ දිය නොහැකි බවයි.

රටපුරාම රෝහල් පිරී ඉතිරි යමින් පවතින බව අද රහසක් නොවේ. මෙම තත්වය යටතේ රට වසා නොදැමීම මගින් රාජපක්ෂලා කරන්නේ මහා අපරාධයකට මඟ සැළසීමය.

මැයි 23 වනදාට පමණක් රෝගීන් 55000 ක්..

ඉහත කී වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුල සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලඟාවේ. ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ශේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි.. එය පරාසයක් ලෙස 21,124ත් 129,270ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.

READ:   අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳ වැටීම අද සියදිවි හානි කර ගන්නා තැනට ඇවිල්ලා - ආචාර්ය හරිනි අමරසූරිය (VIDEO)

මුව ආවරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්තභාවය නොසලකා හැරීම්, සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මග හැරීම්, එන්නත් කිරීම් පසුගාමී වීම් වැනි “නරකම තත්වයක්” තුල දෛනික රෝගීන් වර්ධනය ජුනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත. උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජුනි අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්ථාවනු ඇත.. එහි උපරිම අගය ජුනි මැද භාගයේ වාර්ථා වේ. එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313ත් 188,015ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.

එහි දැක්වෙන ප්‍රක්ශේපන ප්‍රස්තාරය අනුව අද දිනය (මැයි 09) තුල අළුතින් ආසාදනය වන නව රෝගීන් සංඛ්‍යාව 41,690 කි.. එය ගණනය කිරීමට යොදා ගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත. දෛනික පරික්ෂා කිරීම්වලදී රට තුල බිහිවන නව ආසාදිතයන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි.

ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකිය. භයානක තත්වය එයයි.

ජුනි මසදී එක් දිනකට මරණ 360 ක්…

ලංකාව තුල ඉදිරී මාස දෙක තුල සිදු විය හැකියැයි ප්‍රක්ශේපිත කොවිඩ් මරණ සංඛ්‍යාවද බිහිසුණුය.

සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාවේ උපරිමය ලෙස කොවිඩ් මරණ 260ක් හරියටම ජුනි මස මැදදී එක් දිනයක් තුල වාර්ථා වීමට ඒ අනුව ඉඩ ඇති අතර ඉහත කී නරකම තත්වය යටතේ එම අගය එක් දිනයක් තුල මරණ 360 දක්වා ජුනි අග වන විට වර්ධනය විය හැකිය.

මරණ 30,000 ඉක්මවීමේ අවදානමක්..

ඉහත ප්‍රක්ශේපන අනුව දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ අගෝස්තු මාසය නිම වන විට මෙරට කොවිඩ් මරණ 20,000 කට වඩා වාර්ථා විය හැකිය. ඉතා නරක තත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්මවීමේ අවධානමක් පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත.

READ:   " ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත විවෘත ලිපියක්"

ඒ අනුව සෞඛ්‍යාරක්ෂක උපදෙස් නිසි ලෙස පිලිපැදීමෙන් හා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමෙන් නිසි පියවර ගැනීමෙන් සිදුවීමට නියමිත යැයි ප්‍රක්ශේපිත ජීවිත අහිමි වීම් දෙකකින් එකක් තරමි විශාල ප්‍රමාණයක් වලක්වා ගත හැකි බව ප්‍රස්ථාර අධ්‍යයනයේදී පෙනී යයි.

නරකම තත්ත්වයේ දී ඇඳන් 36000 ක අවශ්‍යතාවයක්..

මෙම වෙබ් අඩවියේ දත්ත අනුව මේ වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සදහා වෙන්කළ හැකි රෝහල් ඇඳන් සංඛ්‍යාව 20,769 කි. දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ඒ අතර ඇත්තේ 295 ක් පමණි.

ඇඳන් අවශ්‍යතාවය ප්‍රක්ශේපනයේදී ජුනි මස මැදදී ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ රෝගීන්ට උපරිම වශයෙන් රෝහල් ඇඳන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍යවේ. දත්ත අනුව එම ඇඳන් ප්‍රමාණය දැනටමත් ලංකාවේ රෝහල් පද්ධතිය සතුය.

මේ දත්ත බලා දැනට ක්‍රියාත්මක නව ඇඳන් නිපදවීමේ කටයුතු මන්දගාමී නොකළ යුතුය. ඊට හේතුව ඉතා නරක තත්ව යටතේ ඉහත ඇඳන් අවශ්‍යතාවය 36,000 දක්වා වැඩි විය හැකි බව මේ වෙබ් අඩවියේම දක්වා තිබීමයි. එවැනි විටෙක නව ඇඳන් 16,000 ක් පමණ සෞඛ්‍ය පද්ධතියට අලුතෙන් අවශ්‍යවේ.

නරකම තත්ත්වයේදී අයිසීයූ ඇඳන් 7400ක් අවශ්‍යතාවයක්.. ඇත්තේ 295යි..

මෙහි බරපතලම ගැටළුව මතු වන්නේ දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ප්‍රමාණයයි. එම අවශ්‍යතාවය සාමාන්‍ය තත්ව යටතේ උපරිමය 3,450ක් දක්වාද, නරකම තත්වය යටතේ 7,400ක් දක්වාද ඉහළ යා හැකිය. නමුත් දැනට රෝහල් පද්ධතිය සතුව ඇත්තේ ICU ඇඳන් 295ක් පමණි. මෙය මෙසේ සිදු වුවහොත් එය මේ දිවයින ඉදිරි කාලයේ මුහුණ දෙන බරපතලතම අභියෝගයයි.

වෙනස් තත්ව යටතේ ICU ඇඳන් උපරිම ප්‍රමාණය අවශ්‍ය දිනවලදී එක් ICU ඇඳකට රෝගීන් 12ක් හෝ රෝගීන් 25ක් දක්වා පරතරයක පැවතින බව පෙනේ. ඒ අනුව ICU ඇඳන් නොමැති වීමෙන් බරපතල රෝගීන් 91% – 96%ත් අතර ප්‍රමාණයකගේ ජීවිත අහිමි වීමට ඉඩ තිබේ.

ලංකාවේ ආර්ථික මට්ටම හා ලොව ඇති වී ඇති ඉල්ලුමේ තදබදය සැලකූ විට මෙවැනි කෙටි කාලයකදී මෙතරම් ICU ඒකක ප්‍රමාණයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික නොවේ. ප්‍රායෝගිකව කළ හැකි ප්‍රධානතම දේ නම් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි සහ ඵලදායී පියවර ගැනීමය.

READ:   BREAKING: හිරුණිකා ට ඇප

ඉහත දත්ත සැලකීමේදී මෙම වසංගතයේ බලපෑමේ ප්‍රමාණය ගැන පැහැදිලි තක්සේරුවක් තම තමන්ටම කර ගත හැකිය.

ඒ අනුව තමන් ආසාදිතයෙක් බවට පත්වීම සහ තමන්ගේ වලක්වා ගත හැකි අතපසු වීම් නිසා තමා වටා සිටින ආදරණීයයන් සමීපතමයන් ආසාදිතයන් බවට පත්කිරීම වැලැක්වීම තමන්ගේද රටේද යහපතට හේතු වන බව තරයේ සිතට ගත යුතුය.

30 අවුරුදු යුද්ධයේ දී අහිමි වූ ජීවිත ප්‍රමාණයම මාස කිහිපයක් තුල..

මෙය පැහැදිළිවම පාලනය කල හැකි සහ පාලනය කල යුතු තත්වයකි. 30 අවුරුදු යුද්ධයේ දී රටට අහිමි වූ ජීවිත තරම්ම ප්‍රමාණයක් මාස කිහිපයක් තුල රටට අහිමි වේ නම් එය ඉතාම කණගාටුදායක තත්වයකි.

මෙහි බරපතලකම තේරුම් ගැනීමට මේ සටහනද සහයක් වනු ඇත. තම තමන්ගේ වගකීම් පැහැර නොහරිමු.. තත්වය සැහැල්ලුවට නොසලකමු. රජය ඔවුන්ගේ කාර්යය නිසි ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඒ පියවර තමන් වෙනුවෙන් බව තේරුම් ගෙන ඊට සහාය වෙමු. මෙය කිසිසේත්ම රජයට පමණක් තනිව පාලනය කළ හැකි තත්වයක් නොවේ.

සුළුවෙන් නොසිතමු..

අවසානයේ මේ ප්‍රස්තාරයේ පෙන්වන ආකාරයේ අවසනාවන්ත ඉරණමකට ජාතියක් ලෙස ගොදුරු නොවේවා.! ඒ සමඟම ප්‍රාර්ථනා සැබෑ වන්නේ කැපකිරීමෙන් සහ මනා අනුගතවීමෙන් පමණක් බව නැවත සිහිපත් කළ යුතුය. මෙය කිසිසේත් මොහොතක් හෝ සුළු කර තැකිය යුත්තක් නොවේ. එය තදින්ම සිතට ගන්න.

Wishwa Chinthana FB සටහනක් ද ඇසුරිනි.

උපුටා ගැනීම sinhala.srilankabrief

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්