file
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාව සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අමෙරිකා එක්සත් ජනපදය විසින් ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් පිරිනමනු ලැබ තිබේ.
මෙම නවීන තාක්ෂණික දායකත්වය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා බලඇණියේ (Offshore Patrol Fleet) සමුද්‍රීය සන්නිවේදන හැකියාවන් සහ නිරීක්ෂණ මෙහෙයුම් ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇත. මෙම ප්රදානය පිළිබඳ නිල ප්‍රකාශය පසුගිය 22 වැනිදා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු (SLNS Gajabahu) නෞකාවේ විශේෂ පිළිගැනීමේ උත්සවයකදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්, ආචාර්ය එස්. පෝල් කපූර් (Dr. S. Paul Kapur) යන මහත්වරුන් සහ දෙරට නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ. පැමිණි සම්භාවනීය අමුත්තන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය පෝල් කපූර් ප්‍රකාශ කළේ, ලොව කාර්යබහුලම නැව් මාර්ග කිහිපයක සමුද්‍රීය සන්නිවේදන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබා දෙන බවයි. දළ වශයෙන් අෙමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වටිනා මෙම චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා (OPVs) තුළ ස්ථාපනය කිරීමට නියමිතය.
අමෙරිකා එක්සත් ජනපදයේ උසස් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම Fleet Broadband පද්ධතිය මඟින් ගැඹුරු මුහුදේදී සිදු කරන ක්‍රියාන්විතවලදී පවා විශ්වසනීය හඬ, දත්ත සහ තොරතුරු හුවමාරුව සහතික කරමින් ආරක්ෂිතව නැවෙන් – නැවට (ship-to-ship) සහ නැවේ සිට ගොඩබිමට (ship-to-shore) සන්නිවේදනය කිරීමට පහසුකම් සලසා දෙන අතර, නාවික හමුදා මූලස්ථානය, ගුවන් යානා සහ ඉන්දියන් සාගර කලාපය (IOR) පුරා යොදවා ඇති නෞකා අතර තත්‍ය කාලීන (real-time) සම්බන්ධතාවක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම Fleet Broadband පද්ධතිය හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය (maritime domain awareness) සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමක් බවයි. එය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
උපායමාර්ගිකව වැදගත් වන සමුද්‍රීය මාර්ග ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙහිලා ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව කී ඒ මහතා, මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය මඟින් නාවික හමුදාවේ බළඇණි පුරා අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමටත්, කලාපීය හවුල්කරුවන් සමඟ කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමටත් ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වන බවද අවධාරණය කළේය.
මෙලෙස ඉහළ නංවන ලද සන්නිවේදන පද්ධතිය මඟින් නීතිවිරෝධි සමුද්‍රීය ක්‍රියාකාරකම් සඳහා වඩාත් සම්බන්ධීකරණය වූ ප්‍රතිචාර දැක්වීම් මෙන්ම අමෙරිකා එක්සත් ජනපද සහ ගෝලීය සැපයුම් මාර්ගවල අඛණ්ඩ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සහතික කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනි (Chargé d’Affaires) Jayne Howell මෙණෙවිය, අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.
රක්ෂණ ශ්‍රියන්ත
:උපුටාගැනීම – දිනමිණ
To strengthen cooperation in the tourism sector, Prof. Ruwan Ranasinghe, Deputy Minister of Tourism, participated…
The Coconut Development Authority of Sri Lanka, together with the Embassy of Sri Lanka in…
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…