දේශීය

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර 77 වසරක ද්විපාර්ශ්වික සබඳතා මෙහිදී සිහිපත් කෙරුණු අතර, දෙරටේ සබඳතා වෙළෙඳ, ආරක්ෂක, ආයෝජන, සංචාරක සහ අන්‍යෝන්‍ය ජන සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ට බහුවිධ සහයෝගීතාවක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කෙරිණි.

එම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ මෙහිදී සතුට පළ කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවද සඳහන් කළේය.

මැදපෙරදිග පවතින තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබීමද මෙහිදී අවධානයට ලක් වූ අතර, ජූනි 19 වනදා එළැඹි සාම ගිවිසුම කලාපය තිරසර සාමය කරා ගෙන යනු ඇති බවටද දෙපාර්ශ්වයේම විශ්වාසය පළ කෙරිණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය ප්‍රතිපත්තිය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ආපදාවට පත් නෞකා දෙක සඳහා නෛතික පදනම මත මානුෂීය සහන සැලසීමට කටයුතු කළ බවද සඳහන් කළේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් පියවර මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.

එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන පංගුවෙන් තනි රටක් ලෙස විශාල පංගුවක් ඇමරිකාව විසින් දරනු ලබන අතර දෙරට අතර පවතින එම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් වර්ධනය කර ගැනීම සහ මෙරටට පනවන ලද තීරුබදු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට හිමිකම් කියන රටක්, ඇමරිකාව වැනි විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටක් සමග සැසඳිය නොහැකි බවත්, දෙරටේ වෙළෙඳ පරතරය පියවීම අපහසු කාර්යයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර වූ වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වයෙහිම අවධානය යොමු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික වැඩසටහන් කළමනාකරු Matthew Ridgeway, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානි Shailaja Kim යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

7 days ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

7 days ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 week ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 week ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 week ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 week ago