Saturday, April 18, 2026
Homeදේශීයවිදේශ විනිමය ඉතිරි කරන්න යුද්ධ හමුදාවෙන් අලුත් වැඩක් (PHOTOS)

විදේශ විනිමය ඉතිරි කරන්න යුද්ධ හමුදාවෙන් අලුත් වැඩක් (PHOTOS)

රටට බරක් නොවී රටට සේවය කිරීමේ සංකල්පය මේවන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මකවන වැදගත්ම සංකල්පයකි. විශේෂයෙන්ම තමන් ස්වයංපෝෂිත වී රටට අවශ්‍ය සේවය මෙන්ම ඉන් ඔබ්බට ගිය මෙහෙවරක් ඉටු කිරීමට මේ තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හැකි වී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේවන විට කෘෂිකර්මාන්තය වෙනුවෙන්ම වූ බලකායක් ස්ථාපකය කර යුද්ධ හමුදාවට අවශ්‍යය ආහාර ද්‍රව්‍යය නිෂ්පානදය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එලෙස නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍යය සහන මිලකට යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ සංකල්පයක් අනුව පසුගිය දා ආරම්භ කෙරුණි.

ඉන් නොනැවතී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් යුද්ධ හමුදාව තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සකස්කර අවසන්ය. එහි කූඨෝප්‍රාප්තිය ලෙස සඳහන් කළ හැකිවන්නේ වේයන්ගොඩ දී ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ARMY ORDNANCE INDUSTRIES නමින් ඉකුත් දෙසැම්බර් 08 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විවෘත කිරීමයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අවශ්‍යය යුද්ධෝපකරණ භාණ්ඩ යුද්ධ හමුදාව තුළම නිෂ්පාදනය කරගැනීමේ මූලික අභිමතාර්ථය සහිතව කළුතර දොඹගොඩදී යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලද්දේ බ්‍රිගේඩියර් කෙම්පිටිය සහ බ්‍රිගේඩියර් පියසෝම විසින් “කෙම්පියා” මෝටාරය නිෂ්පාදනය කටයුතු අත්හදා බැලීමත් සමඟය. එය එල්ටීටීඊ සංවිධානයේ පාසිලාන් -200 මෝටාරයට එරෙහිව අත්හදාබලන ලද මෝටාරයයි. එහි සියලු නිෂ්පාදනයන් හා අත්හදාබැලීම් එම යුද්ධෝපකරණ භූමියේ සිදුවිය.

ඉන් අනතුරුව දශකයකටත් වැඩි කාලයක් නිහඬව පැවති දොඹගෙඩ යුද්ධොපකරණ කර්මාන්තශාලාව 2014 වසරේදී යළි ආරම්භ කෙරුණි. ඒ කර්නල් එච්එල් ගුරුගේ ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අඩු පිරිවැය ඉහළ ගුණාත්මකභාවය යන සංකල්පය පෙරදැරි කරගනිමිනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2020-2025 මූලෝපායික සැලැස්මට අනුව මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් සැපයුම්දාමය අඩපණවීමත් සමඟ යුද්ධ හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ ද්‍රව්‍යය යුද්ධ හමුදාව තුළින්ම නිෂ්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය පැණනැඟුණු නිසාත් මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් වඩාත් පුළුල් කිරීම සහ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ අනුව අත්හැරදාමා තිබූ වේයන්ගොඩ පෙහෙකම්හල් සංකීර්ණය නවීකරණය කර ARMY ORDNANCE INDUSTRIES නමින් ආරම්භ කෙරුණි.

READ:   පොහොර මිල අඩු කෙරේ

එලෙස යළි ආරම්භකළ කර්මාන්තශාලවේ දී යුද්ධ හමුදාවට අත්‍යවශ්‍යය භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලදී. ඊට යකඩ ඇඳන් නිෂ්පාදන අංශය, හණෝපකරණ අංශය, ඇඟළුම් නිෂ්පාදන අංශය, ටයර් කට්ටා නැවත ඇලවීමේ අංශය වැනි අංශයන් ඇතුළත්ය. පසුගිය කොරෝනා වසංගත සමය තුළ යුද්ධ හමුදාව සහ සෞඛ්‍යය අංශ විසින් පවත්වාගෙන ගිය සියලු නිරෝධානය මධ්‍යස්ථාන වෙත අවශ්‍යය යකඩ ඇඳන් 20000 කට අධික ප්‍රමාණයක් සහ ඇඳ ඇතිරිලි සහ කොට්ටා උර 40000 කට අධික ප්‍රමාණයක් නිස්පාදනය කරනු ලැබුවේද කලුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින දෙකක් වැනි කාලයක් තුළ යකඩ ඇඳන් 200ක් නිෂ්පාදනය කිරීමටත් කටයුතු කළේ මෙම කර්මාන්ත ශාලාවෙනි.

ඇඟළුම් නිස්පාදන අංශයෙන් ආධුනික සෙසුනිලයින් පුහුණු කිරීම සඳහා අවශ්‍යය නිලඇඳුම්, කොට කලිසම්, හිස්වැසුම්, වැඩඇඳුම්, ටී ෂර්ට්, ඇඳඇතිරිලි, කොට්ට උර නිෂ්පාදනය කරනු ලබන අතර ටයර් කට්ටා ඇලවීමේ අංශය මඟින් යුද්ධ හමුදාවේ ධාවනය වන සියලුම බර වාහන සඳහා ටයර් කට්ටා ඇලවීම සිදුකරනු ලබයි. උපකරණ නිෂ්පාදන අංශය වෙතින් සියලුම වර්ගයේ පැක්වර්ග, වැහිකබා, පොංචො කේප්, වාහන කැනපි, සියලුම වර්ගයේ කුඩාරම්, නිලධාරීන් සහ සෙසු නිලයින් පළඳින සියලුම වර්ගවල බෙල්ට්, ඇසෝල්ට් ජැකට්, ෆ්ලැට් ජැකට් වැනි විශේෂ උපකරණ නිෂ්පාදනය කරනු ලබයි.

රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉකිරි කරමින් බැලැස්ටික් හෙල්මට් නිෂ්පාදනය කිරීමද මෙම කර්මාන්ත ශාලාවේ සිදුකිරීම සුවිශේෂි කරුණකි. ඊට අමතරව නියමු ව්‍යාපෘතියක් ලෙස බෙරට් ( හිස්වැසුම් ) නිෂ්පාදන අංශය, පාවහන් නිෂ්පාදන අංශය, අත්යන්ත්‍ර හා රෙදිපිළි නිෂ්පාදන අංශය ආරම්භ කර ඇති අතර, එම අංශයන් මඟින් උසස් ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදීම සිදුකෙරේ. එමෙන්ම ගෑස් ලිප්, ගෑස් උඳුන්, පිහි වැනි උපකරණද යුද්ධොපකරණ කර්මාන්තශාලාව තුළින් නිෂ්පාදනය කිරීම තුළින් රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වී ඇත.

මේවන විට මෙම කර්මාන්ත ශාලාව සඳහා අතිනවීන පහසුකම් සහිත අධිවේගී යන්ත්‍ර 115ක් නිෂ්පාදන ක්‍රියාවලියට එක්කර ඇති අතර ඒ නිසා නවතමයෙන් ආර්සීඑච් 100 පැක්, 58 මාදිලියේ පැක්, ඇලිස් පැක් වැනි සංකීර්ණ නිෂ්පාදන පවා මෙහිදී සිදු කෙරේ.

READ:   කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනපති ගත් අලුත්ම තීරණය..

මේවන විට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පෑස්සුම් ශිල්පී සහ මැහුම් ශිල්පී පාඨමාලාවන් සිදුකරනු ලබන අතර ඒ සඳහා NVQ – L3 සහතිකය ලබා දී වෘත්තීය මට්ටමේ සෙබළුන් බිහිකිරීමටද කර්මාන්තශාලාව විසින් සිදුකරනු ලැබේ. මේ වන විට මෙම කර්මාන්තශාලාව තුළ පුහුණු ශ්‍රමිකයින් 240ක් සේවය කරනු ලබයි.

මෙම කර්මාන්තශාලාව ස්ථාපනය කිරීමත් සමඟ යුද්ධ හමුදාවේ ඉහත සඳහන් කළ අවශ්‍යතාවයන් දේශීය සහ විදේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමෙදී වැයවන මුදලින් 40%ක් අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හැකි වී ඇත . එය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටට ලබාදෙන සුවිශේෂී දායකත්වයකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සෑමවිටම කටයුතු කරනු ලබන්නේ ජාතියේ ආරක්ෂකයා ලෙසිනි. රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටින මේ අවස්ථාවේ දී විදෙස් විනිමය රටට ඉතිරි කර ජාතික අර්ථිකයට ශක්තියන් වන්නේද ඔවුන් සැබැවින්ම රටේ ආරක්ෂකයන් වශයෙන් රටට අවැසි ඕනෑම මොහොතක රට වෙනුවෙන් පෙරට එන්නට සූදානම් නිසාය.

දිලංක ගුණතිලක

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්