Saturday, November 21, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි සමාගමේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබුණා.

මෙම යෝජිත ව්‍යාපෘතිය යටතේ බස් රථවල චැසි සහ බඳ ඇතුළු ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම යුරෝපීය තාක්ෂණික හවුල්කරුවකු සමඟ එක්ව මෙරට බැටරි එකලස් කිරීමේ කර්මාන්තයක් ද ආරම්භ කිරීමට සමාගම යෝජනා කර තිබෙනවා.

සමාගමේ ඇස්තමේන්තුවලට අනුව, වසර 15ක මෙහෙයුම් කාලයක් සැලකිල්ලට ගැනීමේදී සාමාන්‍ය ඩීසල් බස් රථයකට සාපේක්ෂව විදුලි බස් රථයක් භාවිතයෙන් සමස්ත ජීවන චක්‍ර පිරිවැය 50%කින් පමණ අඩු කරගත හැකියි.

ශ්‍රී ලංකාව තුළ විදුලි බස් රථ නිෂ්පාදනය කිරීමෙන් දේශීය රැකියා අවස්ථා ඇති කිරීම, නව තාක්ෂණය මෙරටට හඳුන්වාදීම සහ දේශීය අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සමාගමේ අපේක්ෂාවන් අතරට ඇතුළත්.

එමෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට විදුලි බස් රථ අපනයනය කළ හැකි නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ද මෙම යෝජනාවේ දිගුකාලීන අරමුණක් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය තවමත් යෝජනා මට්ටමේ පවතින අතර, එහි ආයෝජන වටිනාකම, ඉදිකිරීම් ආරම්භ කරන දිනය සහ ක්‍රියාත්මක කිරීමේ කාලසටහන පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

READ:   පස්කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්