පකිස්තානයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මිලියන 33කට අධික පාකිස්තානු ජනතාව පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධික වර්ෂාවත් සමඟ ගංවතුර ගැලීම නිසා එරට ජනතාවගේ නිවාස හා දේපළ මුළුමනින්ම පාහේ විනාශයට ලක්ව ඇති අතර දෛනික රැකියා කටයුතු හා පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි ගංවතුරින් පීඩාවට පත්වූ පාකිස්තාන වැසියෙක් පළ කළ අදහස්,
“අපේ ගෙදර තත්ත්වය ගොඩක් නරකයි, හැම දෙයක්ම පාහේ විනාශ වුණා… මුදල් ඉතිරි කර ගැනීමට අපට වසර ගණනාවක් ගත වූ අතර ජලයට සියල්ල විනාශ කිරීමට ගත වූයේ පැය 24 ක් විතරයි.
අපේ ගෙදරටත් ලොකු හානියක් වුණා. ගංවතුර ජලයෙන් මායිම් බිත්ති විනාශ වුණා. නිවසේ අභ්‍යන්තර බිත්ති ඉරිතැලීම් වලින් පිරී ඇති නිසා ගරාවැටීමේ අවදානමක් පවතිනවා.
අදටත් අපේ ප්‍රදේශයේ ජලය බැසගොස් නෑ.
ගංවතුර නිසා අපිට තවමත් විදුලිය නැහැ. අපිට හදිසි අවස්ථාවක විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සූර්ය විදුලිය වැනි විකල්ප ප්‍රභවයක් අවශ්‍යය වෙනවා.
අපේ ප්‍රදේශයේ බොහෝ පවුල් අඩු පහසුකම් සහිතයි. ඔවුන්ගේ නිවාස නැවත ගොඩනැඟීමට හෝ අලුත්වැඩියා කිරීමට ඔවුන්ට හැකියාවක් නෑ. මේ ප්‍රශ්න එක්කම ශීත ඍතුවත් වේගයෙන් ළඟා වෙමින් තිබෙනවා.
ගංවතුර හේතුවෙන් කුලී වැඩ කරන කම්කරුවන්ගේ රැකියා උත්පාදන කටයුතු මුළුමනින්ම අඩාල වෙලා.
( මුහම්මද් ඉලියාස් පකිස්ථානයේ – Shaheed Abad ගම්මානයේ පදිංචිකරුවෙකි.)





