විශේෂාංග

ශතකයට තව හතරයි. ජාතික ගුවන් විදුලිය 96 සපුරයි

ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදක ඩී. එම්. කොළඹගේ ට අනුව ලංකා ගුවන් විදුලිය ආරම්භ වන්නේ 1924 ජූනි 27 වැනිදාය. නමුත් යටත් විජිත ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කථිකාව සිදුව ඇත්තේ 1920 තරම් කාලයක සිටය. එලෙසම ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ පර්යේෂකයකු වූ ආචාර්ය නන්දන කරුණායක සිය හැටහය වසරක ගුවන් විදුලිය කෘතියෙන් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශබ්ද මාධ්‍ය හා ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය කෘතියෙන් ද ප්‍රකාශ කරන්නේ ලංකා ගුවන් විදුලිය 1924 ජූනි 27 දින ආරම්භ කරන ලද බවයි.

ගුවන්විදුලිය එතෙක් පැවැති පැරැණි උපකරණ ඉවත්කොට නව උපකරණ සවිකර සන්නිවේදන කටයුතු නිලවශයෙන් ආරම්භ කළේ 1925 දෙසැම්බර් 16 වැනිදා බව එදින දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ. හ්‍යු ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම කටයුතු සිදුවී තිබේ.

ගුවන් විදුලියේ ආරම්භක දිනය පිළිබඳවන මෙම විවාදාත්පන්න කරුණ අරභයා මහාචාර්ය සේන නානායක්කාර ජාතික සංවර්ධනය සහ ලාංකීය ගුවන්විදුලිය නම් සිය පර්යේෂණයේ දී පැහැදිලි කරන්නේ 1924 ජූනි 24 ගුවන්විදුලිය ආරම්භ දිනය ලෙස ප්‍රකාශ කිරීම සාවද්‍ය නොවන නමුත්, 1925 දෙසැම්බර් 16 වැනිදා නව උපකරණ සහිතව නව සේවාවක් ලෙස ගුවන්විදුලිය ක්‍රියාත්මක වූ බවයි.

ඒ අනුව නව අංගෝපාංග සහිතව ගුවන්විදුලිය සිය විකාශන කටයුතු ආරම්භ කළ දිනය අද ගුවන්විදුලි ආරම්භ වූ දිනය ලෙස 1925 දෙසැම්බර් 16 වැනිදා සලකනු ලැබේ.

ලංකා ගුවන්විදුලිය එදා සිට මේ දක්වා වසර 96ක් මෙරට ශ්‍රාවක ප්‍රජාවගේ සන්නිවේදන අභිලාෂ ජයග්‍රහණය කරවීමෙහි ලා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම මෙරට විද්යුත් ධර්ම සන්නිවේදනයේ සමාරම්භක කාර්ය ඉටුකළ ප්‍රමුඛයා ලෙස සටහන් වන්නේ ලංකා ගුවන් විදුලියයි. 1928 අප්ප්‍රේල් 28 වැනිදා ලංකා ගුවන් විදුලිය සිය ප්‍රථම සිංහල ධර්ම දේශනය ප්‍රචාරය කළේය. බම්බලපිටිය සිරිවජිරඥාන විහාරාධිපති පැලෑනේ වජිරඥාන හිමියෝ ලංකා ගුවන් විදුලි වංශකථාවේ ප්‍රථම ධර්ම දේශකයාණන් වහන්සේ ලෙස ඉතිහාසයට එකතු වී ඇත්තාහ. එතැන් සිට පුරා වසර 93ක් ලංකා ගුවන්විදුලිය මෙරට බෞද්ධ ධර්ම සංනිවේදනය උදෙසා සුවිශාල කාර්යභාරයක් ඉටුකර ඇත්තේය. මෙරට ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේලාට, විචිත්‍රභාන ධර්ම කථිකත්වය සඳහා වේදිකාව නිර්මාණය කළේ, ලංකා ගුවන් විදුලිය බව ප්‍රකාශ කළහොත් එහි වරදක් නැත. ගෙවීගිය දශක නවයකට වැඩි කාලය තුළ ලංකා ගුවන්විදුලිය බෞද්ධ ධර්ම දේශනා සිය දහස් ගණනක් ප්‍රචාරය කර තිබේ. මෙරට විද්යුත් ධර්ම සන්නිවේදනයේ ප්‍රමුඛයා මෙන්ම නිර්මාතෘවරයා ද වන්නේ ලංකා ගුවන්විදුලිය, යනුවෙන් ප්‍රකාශ කළහොත් එහි ඇති වරදක් නැත.

මෙරට දරුවන්ගේ අධ්‍යාපන උදෙසා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළ ආයතනයක් ලෙස ද ගුවන්විදුලිය හැඳින්වීමට පුළුවන. 1935 තරම් ඈත කාලයක ගුවන්විදුලිය අධ්‍යාපන වැඩසටහන් ආර්ම්භ කර තිබේ.

ලංකා ගුවන්විදුලිය අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ සේවා අතර පාසැල් සේවය ප්‍රධාන තැනක් ගනී. 1956 පරිවර්තනය හා එහි සමාජ, සංස්කෘතික බලපෑම සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම කාන්දු විය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමඟම ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් හි ප්‍රමාණාත්මක වැඩිවීමක් වූ අතර විශේෂයෙන්ම අධ්‍යාපන, සමාජ, සංස්කෘතික පුනර්ජීවනයට ඉවහල් වන වැඩසටහන්වලට ගුවන්විදුලියේ වැඩි ඉඩකඩක් වෙන්වුණි. ශාස්ත්‍රීය සංග්‍රහය වැනි සාහිත්‍ය, කලාව, විද්‍යාව, දර්ශනය වැනි විෂය ක්ෂේත්‍ර පිළිබඳ ගැඹුරු කියවීම් වෙනුවෙන් සාධනීය ගුවන් කාලයන් වෙන්වීමට 1956 දේශපාලන ජයග්‍රහණය හැරවුම් ලක්ෂ්‍යයක් විය.

1949 කන්දයියා වෛද්‍යනාදන් කොමිසන් වාර්තාවත් 1953 පත් කෙරුණු වීරසූරිය කොමිසමත් ලංකා ගුවන්විදුලියේ භෞතික හා ගුණාත්මක වැඩිදියුණුවේ තීරණාත්මක මඟ සලකුණු ලෙස පෙනෙන්නට තිබේ. එකී කොමිසන් වාර්තා ලංකා ගුවන් විදුලිය ග්‍රාහකාභිමුඛ ගුවන් විදුලි සේවාවක් ලෙස ලංකා ගුවන් විදුලියේ විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා සාධනීය යෝජනා ලංකා රජයට ඉදිරිපත් කර තිබේ. ගුවන් විදුලිය යනු මහජන සේවාවක්‍ ය යන සංකල්පය නිවැරැදිව වෛද්‍යනාදන් කොමිසන් වාර්තාව හා වීරසූරිය කොමිසම් වාර්තාව තහවුරු කර ඇත. 1924 සිට දෙපාර්තමේන්තු ආකෘතියේ වූ ලංකා ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වන්නේ 1965 ජූලි 31 වැනිදා පත්කළ හර්බට් හුලුගල්ල කොමිසන් සභ වාර්තාවේ නිර්දේශ පරිදිය. ආරම්භයේදී තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වූ ලංකා ගුවන් විදුලිය ස්වාධීන දෙපාර්තමේන්තුවක් වන්නේ වෛද්‍යලිංගම් කොමිසමේ නිර්දේශයෙනි. දෙපාර්තමේන්තුවක ඇති පරිපාලන රෙගුලාසිවලට වඩා ස්වාධීන සංස්ථාවක් වීමෙන් වඩා කාර්යක්ෂම සන්නිවේදන සේවාවක් ඉටුකිරීම අරමුණුකොට ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත්වන්නේ 1966 ජනවාරි 05 වැනිදාය. 2021 දෙසැම්බර් 16 වැනිදා ගුවන්විදුලිය සිය 96 වැනි සංවත්සරය සමරණ අතර 2022 ජනවාරි 05 වැනි සමරනු ලබන්නේ සිය 55 වැනි සංස්ථා දිනයයි. එදා මෙදාතුර ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයාගේ සන්නිවේදන අවශ්‍යතාව සපුරාලූ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනය ලංකා ගුවන්විදුලියයි. මෙරටට ප්‍රබුද්ධ ශ්‍රාවක ප්‍රජාවක් දායාද කිරීමට ලංකා ගුවන්විදුලිය සිදුකර ඇති මෙහෙවර සුළුපටු නොවේ.

ගුවන්විදුලි ගීත කලාව යනු වෙනම පරිච්ඡේදයකි. දේවාදිත්‍ය සූරියසේන, ගුරු අමරදේව, සුනිල් ශාන්ත යනු ගුවන්විදුලි ගීත සාහිත්‍යවංශාවලිය පෝෂණය කළ මහා වනස්පතින්ය ඩෝල්ටන් අල්විස්, මහගම සේකර, මානවසිංහ යනු ගුවන්විදුලි ගීත සාහිත්‍ය සේම ගුවන්විදුලි වැඩසටහන් අංශයේ මහා පුරුෂාර්ථය. තේවිස් ගුරුගේ, එච්. එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකර, ලලිත් එස් මෛත්‍රීපාල, සරත් විමලවීර, පාලිත පෙරේරා, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, සුමනා ජයතිලක, ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් රාජපක්ෂ යනු ගුවන්විදුලි වදන් සිතුවමින් සිත්තම් කළ අභිමානවත් පූරක භූමිකාවේ පූර්වජයන් ය.

ලංකා ගුවන්විදුලිය යනු සන්නිවේදන අවකාශයේ මහා සම්ප්‍රදායකි. ගුවන්විදුලි සන්නිවේදන අවකාශ සඳහා අද නාළිකා 54ක් ගුවන් විදුලි කර්මාන්තයෙහි නිරත වූවත් ලංකා ගුවන් විදුලියට මේ සියල්ල සමඟ ඇත්තේ නිතරගයකි. මෙරට ගුවන්විදුලි සන්නිවේදනයේ පුරෝගාමියා මෙන්ම ගුවන් විදුලි සම්ප්‍රදායේ සමාරම්භකයා වන්නේ ද ලංකා ගුවන් විදුලියයි. ලෝක ගුවන්විදුලි ඉතිහාසයේ ආසියාවේ පළමු ගුවන්විදුලි සේවාව වන්නේ ද ලංකා ගුවන්විදුලියයි. මහා බ්‍රිතාන්‍යයේ BBC ගුවන් විදුලි සේවාව ආරම්භ වූ පසු බ්‍රිතාන්‍ය යටත් විජිතයක ආරම්භ වූ පළමු ගුවන්විදුලි සේවාව වන්නේ ද ලංකා ගුවන්විදුලිය වීමද ඓතිහාසික වටිනාකමකි.

-ඉන්දික ජයරත්න ( අධ්‍යක්ෂ ) සිංහල සේවා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago