තාක්ෂණයේ දියුණුව සමග ලෝකයේ ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී.නඩු කටයුතුවලදී සාක්ෂි ලෙස යොදා ගත් සාක්ෂි වර්ග වෙනුවට නව තාක්ෂණය මුසු වූ සාක්ෂි වර්ගද යොදා ගැනීමට පෙළඹී ඇත. වීඩියෝ පටිගත කිරීම් හා CCTV දර්ශන ඒ අතර සැලකිය යුතු අවධානයක් යොමු වන සාක්ෂි වර්ගයකි. මෙවැනි සාක්ෂි යොදා ගැනීමේ ඇති වාසිය වන්නේ කරුණු සම්බන්ධව වන නිරවද්‍යභාවය වේ.
ශ්‍රී ලංකාවේ 1995 වර්ෂය වන තුරු වීඩියෝ දර්ශන හා පරිගණක සාක්ෂි නඩු විභාගවලදී යොදා ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත සම්මත් කිරීමෙන් අනතුරුව සමකාලීන රෙකෝඩන හා පරිගණක සාක්ෂි නඩු විභාගයන්හී දී යොදා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සකසන ලදි. යම් පුද්ගලයෙකු තම නඩුවේ සාක්ෂියක් ලෙස වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම වීඩියෝව නඩු විභාගයට දින 45 කට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.එහිදී පතින් දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ විය යුතුය.එනම්
(1)වීඩියෝ දර්ශන සහිත සමකාලීන රෙකෝඩනයක් සාක්ෂියක් ලෙස මෙහෙයවීමට බලාපොරොත්තු වන බවට විරුද්ධ පාර්ශවය දැනුවත් කරනු ලබන දැන්වීම.
(2)වීඩියෝ දර්ශන සීඩී තැටියකට හෝ USB පෙන් ඩ්‍රයිව් එකකට පිටපත් කොට ඉදිරිපත් කළ යුතුය.
(3)වීඩියෝ දර්ශනයේ දෙබස් වේ නම් ඒවා ද නිවැරදිව ලේඛනගත කළ යුතුය.
(4)වීඩියෝ දර්ශනය ඉතා නිවැරදි ,සංස්කරණය නොකළ යහපත් තත්වයේ පවතින එකක් බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
යන ඒවාය.මෙම ලේඛන මෝෂන් පත්‍රයක් මගින් හෝ විවෘත අධිකරණයේ දී බාර දීමට හැකියාවක් ඇත.පාර්ශවන් කීපයක් සිටින නඩුවකදී සියලු පාර්ශවයන්ට මෙම සාක්ෂි ලබා දීමට පියවර ගත යුතුය.
මෙම පනත යටතේ ඉදිරිපත් කරනු ලබන දැන්වීම ඉදිරිපත් කළ යුත්තේ කුමන අවස්තාවේදී ද යන්න විවවාදත්මක කරුණක් ව පැවතියේය.එනම් නඩුව විභාගයට නියම කරනු ලැබූවත් තවම විභාගයට ගෙන නොමැති නම් ඊළඟ නඩු දිනයට දින 45 කට පෙර මෙය ඉදිරිපත් කළ හැකි බවට යම් මතයක් ඉදිරිපත් වී තිබුණි.නමුත් 2021.11.23 අභියාචනාධිකරණය තීරණය කරන ලද සරත් විජේසූරිය සහ තවත් අයෙක් එරෙහිව අනුරුද්ධ පාදෙණිය (CA /COC /0005/2017) නඩුවේ දී ප්‍රකාශ කරන ලද්දේ මෙම පනතේ මෙම අරමුණ සදහා “නඩු විභාගය ” යනුවෙන් අදහස් වන්නේ මුලින්ම නඩුව විභාගය සදහා නියම කරන ලද දිනය බවයි.
එලෙස විරුද්ධ පාර්ශවයෙන් සාක්ෂි මෙහෙයවීම සම්බන්ධව දැන්වීමක් ලැබීමෙන් අනතුරුව එම සාක්ෂි පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා දින 15 ක් තුළ ඉල්ලීමක් කළ යුතුය.එම ඉලීම ප්‍රකාරව දින 15 ක් තුළ අදාල වීඩියෝ දර්ශන පරික්ෂා කිරීමට අවස්ථාව සලසා දිය යුතු වේ.CCTV දර්ශනවලට අදාලව එහි DVR යන්ත්‍රය ද පටිගත කිරීම ජංගම දුරකථනයකින් කළේ නම් එම දුරකථනයද විශේෂඥයෙකුගේ සහය ලබා ගෙන පරික්ෂා කිරීමට අවස්ථාව ඇත.මෙහිදී පරික්ෂා කරනු ලබන්නේ අදාල යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද? අදාල සාක්ෂි නිසි පරිදි පවතිනවාද නොඑසේ නම් සංස්කරණය කොට ඇද්ද යන කාරණාය.අභියාචනාධිකරණය විසින් 2020.01.14 දින තීරණය කරන ලද ටිරාන් අලස් සහ තවත් අය එරෙහිව නීතිපති (CA (PHC) APN 35/2018) නඩුවේ ප්‍රකාශ කළේ සාක්ෂි පරික්ෂා කිරීමට අදාලව දින 15 ක් තුළ අවස්ථාව සලසා නොදී දින 40 ක කාලයක් ගත වීම හරහා විත්තිකරට අගතියක් වී නොමැති හෙයින් අදාල සාක්ෂි මෙහෙයවීමට බාධාවක් නොමැති බවයි.
පනතේ ප්‍රතිපාදන අනූගමනය කරමින් ඉදිරිපත් කර නොතිබූ වීඩියෝ සාක්ෂියක් වුවද නඩු විභාගයක් අතරතුර විරුද්ධ පාර්ශවයේ සාක්ෂිකරුවකුගෙන් හරස් ප්‍රශ්න අසමින් සිටින අවස්ථාවක සීමාසහිතව යොදා ගත හැකි ය.ඒ බව 2018.06.08 වන දින තීරණය කරන ලද ගාමිණී සුමනසේකර සහ තවත් අයෙක් එරෙහිව සුනිල් පෙරේරා (CA LA 401/2005)නඩුවේදී අභියාචනාධිකරණය ප්‍රකාශ කරන ලදි.එනම් සාක්ෂිකරුට වීඩියෝ දර්ශන පෙන්වමින් ප්‍රශ්න ඇසීමට 1995 අංක 14 පනතේ විධිවිධාන අනුගමනය කළ යුතු නොමැති බව තීරණය විය.
යම් වීඩියෝ දර්ශනයක් හෙවත් සමකාලීන රෙකෝඩනයක නිර්ව්‍යාජතවය සම්බන්ධව තහවුරු කරගැනීමට නඩුවේ මූලික අවධියේදී ම හැකි වේ නම් ඉතා පහසුවෙන් සාක්ෂියක් ලෙස එය ආවේශ්‍ය කරගැනීමට හැකියාව ලැබේ.මේ සදහා කළ යුතු වන්නේ අදාල වීඩියෝව නිර්ව්‍යාජ එකක්ද? එය සංස්කරණය කොට තිබේද? යනුවෙන් සකසන ලද ප්‍රශ්නාවලියක් සමග රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට විශේෂඥ මතය විමසීමයි.රස පරීක්ෂක මතය අනූව එය නිර්ව්‍යාජ වීඩියෝවක් බවට මතය ලැබුණු විටෙක ඒ මත අධිකරණයට කටයුතු කිරීමටත් අවශ්‍ය නම් රස පරීක්ෂක සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමටත් හැකිය.
අපරාධයක් සම්බන්ධ විමර්ශනයකදී අදාල සිදුවීම පටිගත වී ඇතැයි විශ්වාස කරනු ලබන CCTV දර්ශන මැකී ඇති විටෙක හෝ අපැහැදිලි විටෙකද රස පරීක්ෂක වෙත යොමු කොට එම දර්ශන නැවත යථා තත්වයට පත් කරගැනීමටත් අපැහැදිලි දර්ශනවල සිටින පුද්ගලයන් හෝ යම් යම් වස්තූන් (උදාහරණයක් ලෙස වාහන අංක තහඩු) අධිතාක්ෂණික ක්‍රම යොදා ගෙන පැහැදිලිව හඳුනා ගැනීමටත් අවස්ථාව ඇත.මෙලෙස රස පරීක්ෂකගේ මතය විමසීම මගින් 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන ) පනත යටතේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්ෂි කෙරෙහි අධිකරණයට දැඩි විශ්වාසයක් ඇති කරනු ලබයි.
වීඩියෝ සාක්ෂි යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේදී යොදා ගත හැකි ඉතා ප්‍රබල සාක්ෂි වර්ගයකි.එහෙයින් යම් අපරාධයක් හෝ නඩුවකට විෂයගත වූ සිදුවීමක් වීඩියෝ කළ හොත් එම දර්ශන නිශ්චිත ප්‍රතිපාදන අනූව මුල් අවස්ථාවේම අධිකරණයට ඉදිරිපත් කළ හැකි නම් ඉතා යෝග්‍ය වේ.මන්ද අධිකරණයේ භාරයේදී එම සාක්ෂිවලට මැදිහත් වීමට කිසිවෙකුට නොහැකි වීම නිසාය.
ඉතා වැදගත් කාලීන තොරතුරු ඇතුළත් මෙම ලිපිය නීතීඥ සාරංග වාදසිංහ විසින් සම්පාදිතය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…