Wednesday, April 15, 2026
Homeවිශේෂාංගමහේන්ද්‍ර සිං දෝනි: ටිකට්පත් පරීක්ෂකයකු ලෙස දිවිය ඇරඹි ක්‍රිකට් ලොව විශිෂ්ටතම තරඟ...

මහේන්ද්‍ර සිං දෝනි: ටිකට්පත් පරීක්ෂකයකු ලෙස දිවිය ඇරඹි ක්‍රිකට් ලොව විශිෂ්ටතම තරඟ අවසන් කරන්නා

Picture: www.thenextwired.com

“මා සමග ක්‍රීඩා කළ හොඳම නායකයා ඔහුයි…”

ඒ ඉන්දියානුවන් ක්‍රිකට් ලොව දෙවියන්සේ සළකන සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් සිය වසර 24ක ක්‍රීඩා දිවියෙහි අත්දැකීම් වලින්, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනී ගැන පැවසු අදහසයි.

සැබැවින්ම ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ සාර්තකම නායකයා ඔහුය. 2007 සිට 2016 දක්වා ඉන්දීය එක්දින නායකත්වයද, 2008 සිට 2014 දක්වා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හෙබවූ, ඔහු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට ඉන්දියාව රැගෙන ආ පළමු නායකයාය. 2012 ICC එක්දින ලෝක කුසලානය, 2007 ICC T20 ලෝක කුසලානය, 2013 ICC champion trophy සමග ICC ශූරතා සියල්ලම ජයගත් එකම නායකයාද ඔහුය. එමෙන්ම 2010, 2016 ආසියානු කුසලානයන්ගේ ජයග්‍රහණයද ඉන්දියාවට අත්පත් කර දුන් නායකයාය.

එපමණක් නොව දකුණතින් පිත්ත හසුරුවමින් මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ දෝනි ජාත්‍යන්තර එක්දින ලකුණු 10,000ක් පසුකරමින්, කඩුළු රකින්නකු ලෙස එක්දින පිටියේ කඩුලු බිඳහෙලීම් (stump) 123ක්, එක්දින උඩපන්දු 321ක් සහ දවාගැනීම් 444ක් අත්පත් කරගත් විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකි.

ලොව එක්දින පිටියේ විශිෂ්ටතම තරඟ අවසන් කරන්නා ලෙස විචාරකයන් අවිවාදයෙන් සලකන්නේද ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිය.

වත්මන් ඉන්දියාවේ ධනවත්ම සහ ප්‍රසිද්ධම පුද්ගලයන් අතර ඉහළින් වැජඹෙන දෝනි, Ranchi Rays hockey සහ Chennaiyin FC පාපන්දු කණ්ඩායමේ සම අයිතිකරුවා මෙන්ම, Mahi Racing Team India හි අයිතිකරුවාද වෙයි.

Picture: cricmela.com

1981 ජූලි 7 වනදින බිහාර් (Bihar) ප්‍රාන්තයේ රංචි (Ranchi) නගරයේ උපත ලද මහේන්ද්‍ර සිං දෝනි, “මහී” යන අන්වර්ත නාමයෙන් කා අතරත් ප්‍රසිද්ධවිය.

දෝනි කුඩා කළ වැඩියෙන්ම ඇළුම්කළ ක්‍රීඩාවන් වූයේ පාපන්දු සහ බැඩ්මින්ට්න් ක්‍රීඩාවයි. ඔහු දිස්ත්‍රික් හා ක්‍රීඩා සමාජ මට්ටමින් පාපන්දු හා බැඩ්මින්ටන් යන දෙඅංශයෙන්ම ක්‍රීඩා කළේය. පාපන්දු නායකයෙකු සහ දක්ෂ ගෝල් රකින්නකු ලෙස කුඩා කළ සිය මිතුරන් අතර ජනප්‍රිය දෝනිගේ මුහුණ්ට මුහුණ ලා ගෝලයක් වාර්ත කිරීම කිසිලෙසකින් වත් පහසු කරයුත්තක් නොවිණි.

පාපන්දු ක්‍රීඩාවේ ඔහුගේ දක්ෂතා ඔහුගේ කුඩා කළ පුහුණුකරු කේෂව් බැනර්ජිගේ (Keshav Banerjee) අවධානයට ලක්විය. ඔහු ක්‍රිකට් හා කඩුලු රැකීම සඳහා කුඩා දෝනිගේ අවධානය යොමුකරන ලදී. දක්ෂ ගෝල් රකින්නකු වූ දෝනිට, කඩුළු රැකීම එතරම් අභියෝගත්මක නොවිණි.

ඔහුගේ මෙම දස්කම් හඳුනාගත් කේෂව් රංජන් බෙනර්ජි (Keshav Banerjee) ඔහුව ‘කමාන්ඩෝ ක්‍රිකට් ක්ලබ්’ (Commando cricket club in Ranchi) ග්‍රාමීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නකු ලෙස ඇතුලත් කරන ලදී. කඩුලු රැකීමේදී ඔහු යොදාගත්තේ ඔහුටම ආවේනික ක්‍රමවේදයකි.

10 වන ශ්‍රේණියෙන් පසුව සිය පූර්ණ අවධානය ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුකළ දෝනි 1998 වසරේ දී ‘Central Coal Fields Limited’කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, ෂීෂ් මහල් තරගාවලියේදී (Sheesh Mahal cricket tournament) පුහුණුකරු දේවාල් සහේ (Deval Sahay) දෝනි විසින් එල්ල කරන සෑම 6 පහරක් සඳහාම රුපියල් 50ක් ලබා දුන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගේ කැපකිරීමට උපහාරයක් ලෙසිනි. පිතිකරණ ලයිස්තුවේ ඉහළට පැමිණි දෝනිගේ පිතිකරණයේ ඇති විශේෂත්වය හඳුනා ගැනීම සිදුවන්නේ මෙම කාල වකවානුවේදීය.

1999 පැවති Cooch Behar Trophy තරඟාවලියේ අවසාන තරඟයට බිහාර් ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායම සහ පන්ජාබ් ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායම සහභාගිවූ අතර බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් දෝනි ක්‍රීඩා කළ අතර පන්ජාබ් ප්‍රාන්ත පිළ වෙනුවෙන් එවකට අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වූ යුවරාජ් සිං ක්‍රීඩා කළේය. පළමු ඉනිමේදී දෝනි ලකුණු 84ක් ලබාගත් අතර, ප්‍රතිවාදී පිළ වෙනුවෙන් අත්දැකීම් බහුල යුවරාජ් ලකුණු 358ක් වාර්තා කළේය.

මේ කාලවකවානුව වන විටත් මහේද්‍ර සිං දෝනි, ඉන්දීය 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී නොතිබිණි. පුහුණුකරු දේවාල් සහේගේ (Deval Sahay) නිර්දේශය සහ දෝනිගේ දක්ෂතාවයන් මත 1999-2000 රන්ජි කුසලානයට (Ranji Trophy) ක්‍රීඩා කිරීමට ඔහුට අවස්තාවක් ලැබිණි. ඔහු සිය මංගල ඉනිමේදී නොදැවී ලකුණු 68 ක් රැස් කළ අතර තරඟ 5 කදී ලකුණු 283 ක් රැස් කළේය.

READ:   ශ්‍රී ලංකාවේ පළමු වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරය මේරියන්ස්ට..

2001 වසරේ සිට 2003 වසර දක්වා දෝනි මිඩ්නාපූර් (Midnapore) හි ගිනිකොනදිග දුම්රිය සේවය (South Eastern Railway) යටතේ පැවති, කරග්පූර් දුම්රිය ස්ථානයේ (Kharagpur railway) සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙක් ලෙස සේවය කළේය. රාජකාරි වේලාව තුල සිය රාජකරිය අකුරට ඉටුකළ දෝනි,කාර්යාල වේලාවෙන් පසු සිය මිතුරන් සමග කෙළිලොල් දිවියක් ගත කළ අයෙකි.

වරක් දුම්රියපළ නේවාසිකව නැවතී සේවය කළ මිතුරන් සමග සුදු රෙදිවලින් හිස වසා දුම්රියපළ තුල රාත්‍රීකාලයේ එහා මෙහා දිවයාම නිසා දුම්රියපළේ හොල්මන් අවතාර ඇතැයි මිනිසුන් බියවූ අතර, එය ඉන්දීය ඉන්දීය ජනමාධ්‍ය පවා වර්තා කළ අතර, එය දෝනි සහ මිතුරන්ගේ කවටකමක් බව කිසිවකුත් ඒ වනවිටත් දැන සිටියේ නැත.

2002-2003 වසර්‍රේ දී ‘ජාහර්කන්ද්’ (Jharkhand) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ මහේන්ද්‍ර සිං දෝනිගෙන් කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කිරීමට ලැබුණු දායකත්වය සහ ඔහුගේ වැරෙන් දැවැන්ත පහරදීම් සඳහා ඇති විශේෂ හැකියාව මනා ලෙස කැපීපෙනුනි. එහිදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කුසලතා සම්පත් සංවර්ධන නිලධාරියෙකු (Talent Resource Development Officer) ලෙස සේවය කළ ‘ප්‍රකශ් චන්ද්‍ර පෝදා’ (Prakash
Chandra Poddar)
 නැගී එන මහෙන්ද්‍ර සිං දෝනිගේ දස්කම් අගයමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත විශේෂ වාර්තාවක් යොමුකරන ලදී.

“හොඳ ප්‍රහාරකයෙක්. ඔහු සතුව විශාල ජවයක් පවතිනවා. නමුත් ඔහු ඔහුගේ කඩුලු රැකීම තවත් වැඩි දියුණු කරගත යුතුයි. කඩුලු අතර දිවීම ඉතා විශිෂ්ටයි”. (“Good striker of the ball; has a lot of power but needs to work on his wicket-keeping. Technically not very good. Is very good at running between wickets.”)

ඉන්දීය A කණ්ඩායමට ඇතුලත් වන දෝනි පාකිස්තානයට එරෙහිව අර්ධ ශතකයක් සහ ශතක දෙකක් පිට පිට ලබාගත් අතර එවකට ඉන්දීය නායක සව්රව් ගන්ගුලිගේ (Sourav Ganguly) අවධානය දිනා ගැනීමට සමත් විය.

2004 වසරේ බංගලාදේශයට එරෙහිව එක්දින වරම් ලද දෝනි සිය පළමු එක්දින තරඟයේ අංක7 පිතිකරු ලෙස පිටියට පිවිස පළමු පන්දුවෙන්ම දුවද්දී දැවීයාමට ලක්විය. සිය පළමු එක්දින තරඟ 3දීම ඔහු ලබගත්තේ ලකුණු 19ක් පමණි.

Picture: twitter

දෝනි යනු පිතිකරණයේදී ඉතා ශක්තිමත් මානසික ශක්තියක් හිමි විශිෂ්ට පිතිකරුවකු විය. පාකිස්තානය සමග මීළඟ තරඟ සංචාරයේ දෙවන තරඟයේ 3 වෙනි පිතිකරු ලෙස පිටියට පිවිසි දෝනි ලකුණු 20ක් ලබා සිටියදී, ෂහීඩ් අෆ්රිඩි (Shahid Afridi) පන්දු යැවීම සඳහා පැමිණි අතර, අෆ්රිඩීගේ පන්දුවකට 4 පහරක් එල්ල කරන ලදී.

මෙයින් කෝපයට පත්වූ අෆ්රිඩී දෝනි වෙත බැන වැදිනි. කිසිවක් නොවූවා සේ මද සිනහවක් පෑ දෝනි මීළඟ පන්දුවට එක්ස්ට්‍රා කවර් හරහා දැවැන්ත 6 පහරක් එල්ල කළා පමණක් නොව පන්දු 123 කදී ලකුණු 148ක් ලබා ගනිමින් එවකට ඉන්දීය කඩුලු රකින්නකු වාර්තා කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දු යවන්නකුට කිසිවිටකත් සිය මානසික ශක්තිය බිඳ හෙළිය නොහැකි බව ලොවට විදහා පමිණි.

එපමණක් නොව 2005 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ 3වන තරඟයේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ලකුණු 299ක ඉලක්කයක් ලබා දුන් අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් අඩු ලකුණු ප්‍රමාණයකට ඉක්මනින් දැවීගිය අතර අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි මහෙන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 183*(145) ක් වාර්තා කරමින් තරඟයේ ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර තරඟාවලියේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

2005 වසරේ දෙසැම්බර් 02 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගිවූ දොනි, සිය මංගල ටෙස්ට් ශතකය පාකිස්තානයට එරෙහිව පන්දු 93කින් වාර්තා කළේ ඔහුගේ සුපුරුදු නිදහස් ක්‍රීඩා රටාවෙනි. මෙම තරඟයේදී ඔහු සිය අර්ධ ශතකය ලබගැනීමට වැය කරනු ලැබුවේද පන්දු 34ක් පමණක් වීම තවත් විශේෂත්වයකි.

READ:   වසර ගණනාවක සැලසුමකට අනුව ඉතිහාසේ පළමුවරට එක්දින ලෝක ශූරියන් වුණ ඉන්දීය කෙල්ලන්

එමෙන්ම 2006 වසරේ අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 01 ට පත්වීමටද මෙම සුපිරි ක්‍රීඩකයා සමත් විය. සිය උපන් හපන්කම් ගැන තාක්ෂණයට වඩා විශ්වාසයක් තැබූ දෝනි Long-on, Long-off හරහා පිත්ත හරස් අතර යොදාගනිමින් එල්ල කරන පහරවල්, පිට ඉන්නෙන් එපිට ඉහළින් එල්ල කරන පහරවල් සඳහා උපන් හපන්කම් දැක්වූ අතර ඔහුගේ මැණික් කටුවේ සහ දෙපාවල ශක්තිය පිළිබඳ විචාරකයන්ගේ කතා බහට ලක්විය.

‘හෙලිකොප්ටර් ශොට්’ (helicopter shot) යනුවෙන් හැඳින්වූ ඔහුටම ආවේනික පහර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඔහු හඳුන්වා දුන් පහරකි. එය ඔහු කුඩාකල ඔහුගේ මිතුරකු වූ සන්තෝෂ් ලාල් (Santosh Lal) ගෙන් උගත් පහරකි.

2007 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට සහ බංගලාදේශයට පරාජයට පත්වූ ඉන්දියානු පිළ ලෝක කුසලානයෙන් ඉවතට විසිවුණු අතර කෝපයට පත් ඉන්දීය ප්‍රේක්ෂකයන් Ranji නුවර දෝනි විසින් ඉදිකරන ලද නිවසට ගිණි තබන ලදී.

එහෙත් 2007 වසරේ පවති මංගල 20-20 ලෝක කුසලාන තරඟාවලියේ නායකත්වය දැරූ දෝනි ඉන්දියාවට ශූරතාවය ලබා දුන්නේය. එහිදී අභියෝගාත්මක අවස්තා වලදී පන්දු රකින්නන් ස්ථානගත කළ ආකාරය සහ පන්දු යවන්නන් මෙහෙයවූ ආකාරය විචාරකයන්ගේ පසසුමට ලක් විය.

Picture: The hindu

2009 වසරේ ජාත්‍යන්තර හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කිරුලු පලන් ඔහු තරඟ 24කදී ලකුණු 1198ක් ලබා ගැනීමට සමත් විය.

මහේන්ද්‍ර සිං දෝනි යනු එක්දින පිටියේ බිහිවුණු සාර්තකම තරඟ අවසන් කරන්නාය. අවසන් පන්දු වාරයේ දී ලකුණු 10, 13, 15, 16, පමණක් නොව ලකුණු 23ක් පවා හඹා ගොස් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවූ අවස්තා ඔහුගේ වාර්තා අතර බොහොමයක් සනිටුහන්ව ඇත.

අවසාන පන්දු වාරයතෙක් තරඟය රැගෙන ගොස් අවසාන පන්දුවාරයේ නියමිත ලකුණු සංඛ්‍යාව රැගෙන තරඟය ජයග්‍රහණය කිරීමට වැඩි කැමැත්‍තක් දැක්වූ ඔහු ඒ පිළිබඳ දැක්වූවේ මෙවන් අදහසකි.

“අවසාන පන්දු වාරය, පාපන්දු තරඟයක දඬුවම් පහර වටයක් වගේ. ප්‍රතිවාදී කණ්ඩායම සමග තරඟ වැදී තරඟය අවසාන පන්දු වාරය දක්වා රැගෙන ගොස්, අවසානයේ එක් පන්දු යවන්නෙක් සමග මුහුණට මුහුණ ගැටීම, මානසික ශක්තිය වැඩි ක්‍රීඩකයා හඳුනා ගත හැකි අවස්තාවක්. විශාල පීඩනයක් සමග මනස හසුරවා ගැනීම පන්දු යවන්නට වඩා සාර්තකව මට කරන්න පුළුවන්..”

2011 වසරේ එක්දින ලෝක කුසලාන ශූරයන් වූ ඉන්දියාව වෙනුවෙන් අවසන් තර්ඟයේ නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරම්න් නොදැවී 91*ක් ලබා ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ දෝනි තරඟයේ වීරයා සම්මානය දිනා ගත් අතර 2014, 20-20 ලෝක කුසලානයේ අවසන් වටය දක්වා සිය කණ්ඩායම රැගෙන යාමට සමත් විය.

නායකත්වය සහ දුරදක්නා නුවනක් සතු දෝනි 2011 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ක්‍රිකට් අනාගතය යළි නිර්මාණය කිරීමට තීරණය කළේය. එම කාල වකවානුව තුල ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් විශ්‍රාම ගත් අතර, විරේන්ද්‍ර ශෙවාග්, ගෞතම් ගාම්භීර්, යූසුෆ් ෆතාන්, සහීර් කාන්, මුනාෆ් පටෙල්, හරිබජන් සිං වැනි අත්දැකීම් බහුල ක්‍රිකට් දිවියේ අවසන් කාලය ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට නවක දක්ෂයන් ඇතුලත් කරන ලදී.

ෂිකර් දවාන්, රෝහිත් ශර්මා, රවීන්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, රවිචන්ද්‍ර අශ්වින්, උමේෂ් යාදව්, මොහොමඩ් ශමීර් වැනි නවකයන්ක ණ්ඩායමට ගෙන ඒම සමග ඉන්දීය විචාරකයන් දැඩිලෙස එම තීරණය විවේචනයට ලක් කළේ දෝනි ජ්‍යේෂ්ඨයන්ට නිසි ගෞරවය ලබා නොදුන් අතර ඉන්දීය කණ්ඩායමේ ශක්තිය මෙම තීරණය සමගින් හීන වූ බව පවසමිනි.

එහෙත් 2013 ICC ශූරයන්ගේ කුසලනාය දිනාගැනීමට දෝනිගේ නායකත්වයෙන් යුත් මෙම නවක ක්‍රීඩකයන්ට හැකියාව ලද අතර, දෝනිගේ මෙම තීරණය වසර ගණනාවක් ඉදිරියට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ රැල්ලක් ඇතිකිරීමේ හොඳ ආයෝජනයක් විය.

READ:   රිඳුණු මතකයන් අවධි කරමින් විශේෂ ගමනක් යන සුනාමි දුම්රිය

දෝනිගේ දක්ෂ්‍යතාවය සහ ඔහු සතුවූ ඉල්ලුම කෙතරම්ද කියතොත්, 2008 වසරේ පැවති මංගල අයි.පී.එල් තරඟාවලියේදී වැඩිම මිලකට අලවිවූ ක්‍රීඩකයා වූයේද මහෙන්ද්‍ර සිං දෝනිය. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් (USD 1.5M) වැනි දැවැන්ත මිලකටය.

ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ‘චෙන්නායු සුපර් කින්ග්’ (Chennai Super Kings) කණ්ඩායම 2010, 2011, 2018 අයි.පී.එල් ශූරතා ජයග්‍රහණය කළ අතර 2014 ශූරයන්ගේ කුසලානයද ජයග්‍රහණය කිරීමට සමත් විය.

තමන් ක්‍රීඩා කළ අවසාන එක්දින තරඟ 5දී අර්ධ ශතක දෙකක් වාර්තා කළ දෝනිව ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් කරන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගැන සලකා බලමිනි.

දෝනි 2010 ජුලි 4 වන දින සාක්ෂි සිං රාවත් (Sakshi Singh Rawat) සමඟ විවාහ විය.සාක්ෂි උත්තරාකන්ඩ් හි ඩෙරාඩුන්හි (Dehradun, Uttarakhand) පදිංචි අයෙකි. ඔවුන් විවාහ වන විට ඇය හෝටල් කළමනාකරණය හදාරමින් කල්කටා හි ටජ් බෙංගාලයේ (Taj Bengal in Kolkata) පුහුණුකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය.

තම විවාහ මංගල්‍යය මාධ්‍යය සඳහා ආරාධනා නොකිරීමට දෝනි වගබලා ගත් අතර එයට සහභාගී වූයේ ඔහුගේ සමීප මිතුරන් සහ පවුලේ සාමාජිකයින් පමණි. නළු ජෝන් ඒබ්‍රහම් සහ බිපාෂා බාසු උත්සවයට ආරධනා ලද දොනිගේ සමීපතමයන් විය. දෝනී ක්‍රීඩාවට අවතීරණයවූ මුල් වකවානුවේ සිය කොණ්ඩය දිගට වවා සිටියේ ඔහු ජෝන් ඒබ්‍රහම් ගේ දැඩි රසිකයකු වූ නිසාය. එපමණක්ද නොව ජෝන් ඒබ්‍රහම් සිය කොණ්ඩය කපා දැමූ විට එය අනුකරණය කරමින් සිය කොණ්ඩය කපා දැමීමට පව දෝනි පසුබට නොවීය.

දෝනි කුඩා කළ සිටම යතුරු පැදි සඳහා දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි. ඔහු සතුව Yamaha RD350, Harley Davidson Fatboy, Ducati 1098, Kawasaki Ninja H2, the super exclusive Confederate Hellcat X132 වැනි සුවිශේෂී යතුරු පැදි එකතුවක්ද වෙයි.

2015 පෙබරවාරි මස 06 වන දින සිය දි‍යණිය ශිවා (ZIVA) මෙලොව එලිය දුටු අතර ඒ මොහොත වන විටත් දෝනි ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයට සහභාගිව සිටියේය. සිය දියණියගේ මුහුණ දැක ගැනීමට ඉන්දියාව බලා පිටත්ව යන්නේද? මාධ්‍යාවේදීන් ඇසූ පැනයට දෝනි ලබදුන් පිළිතුර වූයේ

“මම ඇවිල්ල ඉන්නේ රට වෙනුවෙන් ජාතික වගකීමක් අතැතිව, අනික් දේවල් ගැන පස්සෙ හිතන්න පුලුවන්…”

Lieutenant Colonel Mahendra Singh Dhoni (Picture: Zeenews.india.com)

ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ අමිල මෙහෙවර ඇගයීමට ලක් කිරීම සඳහා 2018 වසරේ ඉන්දියානු රජය සිවිල් පුරවැසියකුට ලබදෙන ඉහළම සම්මානය පද්ම භූෂන සම්මානය (Padma Bhushan) ඔහුවෙත පිදූ අතරම, ඉන්දීය දේශසීමා හමුදාවේ ගෞරව ලුතිනන් කර්නල් (Lieutenant Colonel) දූරයකින්ද පුදනු ලැබීය.

සිය පුද්ගලික වාර්තාවන් ගැන සිතා ක්‍රීඩා කිරීම කිසිවිටකත් නොකළ දෝනි විරට් කෝලි වැනි නවකයන්ට පිතිකරණ ලයිස්තුවේ ඉහළ ක්‍රීඩාකිරීමට අවස්තාව ලබාදී පිතිකරණ ලයිස්තුවේ පහළට යාමට පවා නිරහංකාර කමක් තිබූ ශේෂ්ට ක්‍රීඩකයෙකි.

ඔහුගෙන් පසුව නායකත්වයට පත්වූ විරාත් කෝලිහට අවශ්‍ය මොහොතක නායකත්ව අත්දැකීම් වලින් උපදෙස් දීමට පවා පසුබට නොවුනු මෙම ඉන්දීය දැවැන්තයා, පිතිකරණයේදී කාටත් පැරදවිය නොහැකි මානසික ශක්තියක් හිමි පර්වතයකි. එක්දින පිටියේ අවසන් පන්දුව තෙක් හඹාගොස් තරඟයක් කනපිට පෙරලිය හැකි ලොව හොඳම තරඟ අවසන් කරන්නෙකි. අභියෝගාත්මක අවස්තාවන් වල ඉතා සන්සුන් නායකයෙක් ලෙස නැවත වරක් තරඟයක් තම ග්‍රහණයට ගතැහි නිසාම ඔහු “කැප්ටන් කූල්” නම් අන්වර්තනාමයෙන් පිදුම් ලද ක්‍රීඩකයෙකි.

පිතිකරුවන්, නායකයන් ඉන්දීය පිළ ඉදිරියටත් බිහිකරණු ඇත, තරඟ මෙහෙයවනු ඇත. එහෙත් මහෙන්ද්‍ර සිං දෝනි යන මහා දැවැන්ත පෞර්ෂය ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ සැමදා ඉහළින්ම රැඳෙනු ඇත.

© Dinesh Abeywickrama

Source: Dinesh Abeywickrama’s facebook post

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්