Friday, July 10, 2026
Homeදේශීයඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ ඒකාබද්ධ වාහක පාලන...

ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහනක්

මෙරට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී දරුවන් සහ සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

එම වැඩසටහනේ ප්‍රධානතම පියවරක් ලෙස, රෝහල් පරිශ්‍රය සහ අවට සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාරිසරික කළමනාකරණය උදෙසා දැවැන්ත ඩෙංගු මදුරු ශ්‍රමදාන වැඩසටහනක් අද (10) දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි.

එහිදී මදුරුවන් බෝවන සහ බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම, ධූමානය කටයුතු සිදු කිරීම, පරිශ්‍රය පිරිසිදු කිරිම, වැහි පිහිලි පිරිසිදු කිරිම, නව‌ ගොඩනැගිලි ඉදිකිරීම ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීම වැනි කටයුතු සිදු කරන ලදි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ (වැඩබලන) වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මෙම විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පසුගිය සති දෙක ඇතුළත දිවයින පුරා‌ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් රෝහල් පද්ධති කළමණාකරණය කර ගැනීමේ අභියෝගාත්මක තත්ත්වයන් මතුවන බව ද පැවැසීය.

රිඡ්වේ ආර්යා රෝහලේ පසුගිය දිනවල ඩෙංගු රෝගී දරුවන් 50-75 ක් පමණ වාර්තා වූ බව මෙහිදී සඳහන් කළ අධ්‍යක්ෂවරයා ද මේ වනවිට එම තත්ත්වයේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ද මෙහිදී පැවැසීය.

රාජ්‍ය සහ පොදු පරිශ්‍ර ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ අගයක් ගන්නා බවට වූ දත්ත සහ තොරතුරු මත රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියළු කාර්ය මණ්ඩල සම්බන්ධ කර ගනිමින් මෙම විශේෂ ඒකාබද්ධ වාහක පාලන ශ්‍රමදාන වැඩසටහන රෝහල් පරිශ්‍රය තුළ සහ අවට ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

රෝහල් භූමිය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කළාප 04 කට බෙදා වෙන්කර පැය 06 ක් වැනි කාලසීමාවක් යොදා ගනිමින් මෙම මදුරු මර්දන වැඩසටහන අද දින ක්‍රියාත්මක කරන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ (වැඩබලන) වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

READ:   චැනල් ෆෝ අනාවරණය ගැන විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලයි..

මෙම ඒකාබද්ධ වාහක පාලන ඩෙංගු මදුරු මර්දන ශ්‍රමදාන වැඩසටහන සඳහා රෝහල් කාර්ය මණ්ඩලය, රෝහල් කමිටුවේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්