Thursday, March 5, 2026
Homeදේශීයස්වාධීන 'නීතිපතිලා'ගේ කෙරුවාව කොහොම ද ? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැන ගැනිම...

ස්වාධීන ‘නීතිපතිලා’ගේ කෙරුවාව කොහොම ද ? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැන ගැනිම පිණිස…! – පෝද්දල ජයන්ත

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන් ලෙස නම්කර තිබූ තිදෙනෙකු නඩු විභාගයකින් තොරව නිදහස් කර යැවීමට නීතිපතිවරයා යැවූ නියෝගය අකුලා ගෙන තිබේ. එය “අකුලා ගැනීමක් නොව , අත්හිටුවීමකැයි ගලේ පැහැරූ බළලුන් මෙන් ඇතැමුන් කොතරම් කෙදිරි ගෑවත් , සිදුවී ඇත්තේ නියෝගය අකුලා ගැනීමක් හැර වෙන කෙංගෙඩියක් නොවේ. එම “අකුලා ගැනීම” ඊයේ ගල්කිස්ස උසාවියේදී නැවත ස්ථීරවම තහවුරු කරන ලදී.

නීතිපති පාරින්ද රණසිංහගේ එම අනීතික ක්‍රියාවට රටේ සිහි බුද්ධිය ඇති බහුතර ජනතාවක් එක හඩින් විරුද්ධ වෙද්දී , ඇදි වතේ මළපහ ගොස් හතර ගාතේ වැටී සිටින දේශපාලකයන් කිහිප දෙනකු නීතිපති බේරා ගැනීමට වළිකෑ හ. ඔවුන් කියා සිටියේ නීතිපතිගේ “ස්වාධීනත්වයට” ඇගිලි නොගසන ලෙස යි.

නීතිපතිවරයාගේ මේ ක්‍රියාව පිළිබද දැඩි අවධානය යොමු කළ ජනාධිපතිවරයා නඩු විභිගයකින් තොරව එවැන්නක් සිදුවූයේ කෙසේ දැයි ? විමසීමට නීතිපති ප්‍රමුඛ පිරිස ගෙන්වා කරුණු විමසීමක් සිදු කළේ ය. ඒ රටේ බහුතර ජනතාවකගේ විරෝධයට ඇහුම්කන් දීමක් වශයෙනි. නීතිපතිවරයා ගෙන්වා එලෙස කරුණු වීමසීම ගැන ඉහත දේශපාලකයන් හැර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද සිය විරෝධය පළකර තිබුණි . ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී තිබුණේ නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස යි.

නීතිපතිලාගේ ස්වාධීනත්වය දොරේ ගලා ගිය හැටි…….!

======================================

සරත් එන් . සිල්වා , තිලක් මාරපන , මොහාන් පීරිස් , ඊවා වනසුන්දර, සංජය රාජරත්නම් , පාරින්ද රණසිංහ…………….

=======================================

නීතිපති සරත් එන්.සිල්වා සිය ධුරයේ කටයුතු කරද්දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සියලු ඕනා එපාකම් ඉට කිරීමට සැදී පැහැදී සිටියේ ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ නීති අවශ්‍යතාවන් ඔවුන්ගේ රුචි අරුචිකම් මත ඉටුකර දුන්නේ ය. වික්ටර් අයිවන්ගේ “නොනිමි අරගලය” කෘතියේ සරත් එන් සිල්වා ගැන ඇති තරම් කරුණු දිගහැර තිබේ. කෙසේ හෝ සරත් එන්. සිල්වාට කෘතගුණ සැළකීම පිණිස චන්ද්‍රිකා රජය ඔහු අග විනිසුරු ධුරයට පත් කරනු ලැබී ය.

චන්ද්‍රිකා කුමාරතුංගට පමණක් නොව , මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ද සරත් එන්. සිල්වා සිය යුතුකම් මනාව ඉටුකර දුන්නේ ය. එහි අග්‍ර ඵලය වූයේ රටේ සතර දෙසින් විරෝධයක් පවතිද්දීත් ඔහු රටේ අගවිනිසුරු පදවියට පත් කිරීම යි.

READ:   "ලංගමට මැරයෝ ගහනවා.." - බන්දුලගෙන් ලිපියක්

තිලක් මාරපන……!

=======================================

තිලක් මාරපන ද හිටපු නීතිපති වරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකි. අනතුරුව යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා බවට පත්විය. මේ සියල්ල ඔහුට උරුම වන්නේ රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරුකම හේතු කොටගෙන ය. සිය නීතිපති ධුරය මිත්‍රත්වය හමුවේ අවභාවිත කිරීම නිසා ය. අවසානයේ ලැදියාවන් පිළිබද නීති ගැටළුවකට මුහුණ දි තිලක් මාරපන මහතාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවි ය.

මොහාන් පීරිස්………..!

========================================

මොහාන් පීරිස් යනු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික නීති උපදේශකයා ය. සමෘද්ධි මුදල් ඩැහැ ගැනීම සදහා බැසිල් රාජපක්ෂ ගෙනා දිවි නැගුම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කිරීම නිසා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරෙන් අනීතිකව ඉවත් කළේ ය. ඉන්පසු හිස් වූ අගවිනිසුරු ධුරය පිරිනමණු ලැබුවේ ඉහත මොහාන් පීරිස් වෙත ය. රාජපක්ෂලාට අවශ්‍ය අයුරින් මොහාන් පීරිස් නීතිය නැමිම නිසා පසුව ඔහු අගවිනිසුරු ධුරයේ විරාජමාන කරවී ය.

යහපාලන රජය පත්වූ පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බැහැදැක තමා තව දුරටත් අගවිනිසුරු ධුරයේ තබා ගන්නේ නම් ඔබට අවශ්‍ය ලෙස නඩු තීන්දු දෙන බවට සපථ කර තිබේ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන එකී යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව යළිත් රාජපක්ෂලා බලයට පැමිණ මොහාන් පීරිස් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.

සැ : යු: ඊවා වනසුන්දර , සංජය රාජරත්නම් , පාරින්ද රණසිංහලාගේ නීතිපති ධූරවල ස්වාධීනත්වය ගැන හෙට අංක 02 ලිපියෙන්… ..!

(පෝද්දල ජයන්ත)

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්