දේශීය

අපේ පැරණි මුදල් නෝට්ටු වල තියෙන සිතුවම් ඇඳපු චිත්‍ර ශිල්පියා ලකී සේනානායක

මෙරට කීර්තිමත් සිත්තරෙකු වන ලකී සේනානායක අවුරුදු 84 ආයු ලැබ 2021 මැයි 31 අප අතුරින් සදහටම වෙන්ව ගියේය.

වර්ෂ 1937 වසරේදී උපන් ඔහුගේ දෙමාපියන් ලංකා සමසමාජ පක්ෂයේ ආරම්හක සාමාජිකයන් වූ අතර පියා එම පක්ෂයේ අනිකුත් නායකයන් සමඟ සිරගත කරන ලද්දෙකි. ඔහුගේ පියා 1945 දී බන්ධනාගාරයෙන් නිදහස ලබන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වු අතර 1946 දී මරණයට පත් විය. දරුවන් හත්දෙනෙකුගේ වගකීම ඔහුගේ මවට භාර ගැනීමට සිදුවී තිබේ.

එසේ වුවත් ඇය 1947 මහා මැතිවරණයට කිරිඇල්ල අසුනට තරග කර ජයග්‍රහණය කරමින් මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රථම මන්ත්‍රීවරිය වෙමින් වාර්තාවක් තබා තිබේ.

ලකී සේනානායකද දෙමාපියන්ට මෙන් විශේෂිතවූ අනන්‍යතාවයක් තිබුණි. ඔහුගේ ඇඳුම වූයේ සරමකි. බොහෝවිට උඩුකය විවෘතව තිබුණි.

ලකී සේනානායක මහතා පිළිබඳ මා මුලින් දැනගත්තේ 1979 වසරේදී නිකුත් කළ සතුන් සහ ශාක සහිත මුදල් නෝට්ටු නිසාය​. එම මුදල් නෝට්ටු අපට එම ජීවීන් පිළිබඳ සොයා බැලීමට පිටිවහලක් විය​. එසේම මට අම්පාරේ අප ගෙවත්තේ සිටි යක් හූනා හඳුනා ගැනීමට ඉවහල් වූයේත් ඔහු සිතුවම් කළ රුපියල් පහේ මුදල් නෝට්ටූවේ තිබූ රූපයයි.

මට ඔහු මුල් වරට හමු වූයේ 1987 අග භාගයේදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියේ බැද්දගාන කොටසේ පක්ෂී නිරීක්ෂණ අතර තුරදීය​. සුපුරුදු සරමින් සහ උඩුකය නිරාවරිතව පැමිණි ඔහු අපත් සමඟ අප දුටු පක්ෂීන් ගැන විමසා කතාබහට එක්විය. ඉන් පසු වසර තුනක් පමණ ඔහු විටින්විට අපට හමු විය​.

එසේ වුවද​, ඔහු පිළිබඳවත්, ඔහු මාධ්‍ය වෙත ලබාදුන් සාකච්ඡාත් ඇසුරින් මා බොහෝ දේ ඉගෙනීමට සමත් විය​.

ලකී සේනානායකට කරන උපහාරයක් වශයෙන් මවිසින් ඔහුගේ විචිත්‍රවත් ජීවිතය ඇසුරින් උගත් කරුණු පහතින් දක්වන්නෙමි.

1. තම අරමුණ වෙනුවෙන් ජීවිත කාලය පුරා කැපවී සිටීම​.

ඔහු කුඩා කල චිත්‍ර ශිල්පියෙකු වීමට ඉටාගෙන තිබුණි. ඔහුගේ ජීවිත කාලයම කැප කරන ලද්දේද ඒ වෙනුවෙනි.

2. ශිල්පීය ක්‍රම බොහොමයක් නිපුණ කිරීම​.

ඔහු චිත්‍ර ඇඳීම පිණිස යථාර්ථවාදී සිට වියුක්ත ක්‍රම දක්වා බොහොමයක් ක්‍රම උපයෝගී කරගත් අතර ඒ සියල්ලම ප්‍රගුණ කර තිබුණි.

3. මාධ්‍යන් ගණනාවක් ඉතා හොඳින් හැසිරවීමේ හැකියාව ඇතිකර ගැනීම​.

ඔහු ප්‍රගුණ කළ මාධ්‍යයන් අතරට පැන්සල්, පෑන්, දියසායම්, තෙල්සායම්, බතික්, අඟුරු මාධ්‍යය​, සිමෙන්ති වලින් ඇඹීම​, පිත්තලවලින් ඇඹීම මෙන්ම පරිගණක මෘදුකාංග ඇසුරින් චිත්‍ර ඇඳීමත් අයත් වේ.

4.බොහෝ දෙනෙකුගෙන් ඉගෙනීම​.

ඔහු තම සිත්තර දිවියේදී බොහෝ දෙනෙකු ඇසුරේ විවිධ කරුණු ඉගෙනගත් අයෙකි.

5.කෘතවේදීත්වය​.

ඔහු තමන් කරුණු ඉගෙන ගත්තේ කාගෙන්ද යන්න ප්‍රකාශ කිරීමටත්, තම ගුරුවරුන් හට නිසි ගරුත්වය ලබාදීමටත් කටයුතු කර තිබේ.

6.බොහෝ දෙනෙකු සමඟ එක්වී කටයුතු කිරීම.​ඔහු විවිධ ක්ෂේත්‍රවල බොහෝ දෙනෙකු සමඟ එක්වී කටයුතු කළ අයෙකි. එම ක්ෂේත්‍රයන් අතර ගෘහ නිර්මාණ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ව්‍යවසායකයන් ඇතුළත් වේ.

7. එක් මාධ්‍යයකට කොටු නොවීම​.

ඔහු තමා ඉගෙනගත් සියලු මාධ්‍යයන් තුළින් නිර්මාණ කිරීම ජීවිත කාලය පුරාවට සිදුකළ අතර ඔහුට විශේෂයෙන් ප්‍රිය කළ මාධ්‍යයක් සොයාගත නොහැක​.

8.එක් විෂය වස්තුවකට හෝ කීපයකට සීමා නොවීම​.

ඔහුගේ නිර්මාණවල විෂය වස්තු අතරට මානව රූප​, සතුන්, ශාක​, භූ දර්ශන​, ජන විශ්වාස වැනි විෂය වස්තු රාශියක් තිබේ.

9. විෂය වස්තු කෙරේ ළැදියාව​.

ඔහුට තම සිතුවම්වල විෂය වස්තු කෙරේ ළැදියාවක් තිබුණි. විශේෂයෙන් පරිසරයට සහ ජීවීන්ටත්, විශේෂයෙන් පක්ෂීන්ටත් රැකවරණය ලබාදීමට ඔහු තම දායකත්වය ලබාදුන් අයෙකි.

10. එක් ශෛලියකට කොටු නොවීම​.

බොහෝ ශිල්පීන් තමන්ට අනන්‍යතාවයක් විශේෂිත ශෛලියක් හරහා ගොඩනඟා ගත්තද​, ඔහු විවිධ ශෛලීන් ගණනාවක් එකසේ දක්ෂ ලෙස හැසිරවූවෙකි. එ නිසා ඔහුට අනන්‍ය ශෛලීයක් පෙන්වාදීමේ හැකියාවක් නැත​.

11. තමන් කැමති එක් විෂය වස්තුවක් පදනම් කරගෙන විවිධ මාධ්‍යය​, සහ විවිධ ශෛලීන් යොදා ගනිමින් නිර්මාණ සිදුකිරීම​.

ඔහු ඉතා ප්‍රිය කළ සතෙකු වූ බකමූණන් විෂය වස්තුව ලෙස යොදාගෙන වෙනස් මාධ්‍ය සහ ශෛලීන් භාවිතයෙන් නිර්මාණ පෙළක් සිදු කළ අතර ඊට අමතරව බකමූණන් යොදාගත් මූර්තීන් ගණනාවක්ද සිදු කර තිබේ. මේ චිත්‍ර එකතුව පසුකලකදී පොතක් ලෙස ප්‍රකාශ කෙරුණි.

12. විවේචන සහ ප්‍රශංසා එකසේ දරා ගැනීම​.

අන් අයගේ ප්‍රකාශවලින් අධෛර්ය නොවීම සහ ඒවා ශක්තීන් බවට පත්කර ගැනීම​. ඔහුම වරක් ප්‍රකාශ කර තිබුණු පරිදි අතීතයේ සිටි ඉතා දක්ෂ චිත්‍ර ගුරුවරියක වූ කෝරා ඒබ්‍රහම් මහත්මිය ඔහුට අනන්‍ය ශෛලියක් නැතිවීම දෝෂ දර්ශනයට ලක්කර තිබේ. නමුත්, ඔහු එය දැක තිබෙන්නේ තමාගේ දුර්වලතාවයක් ලෙස නොව තම ශක්තියක් ලෙසිනි.

14. සම්මතයන් අභියෝගයට ලක්කිරීම​.

මෙය ඔහු සිය අඳින පලඳින ආකාරයේ සිට විෂයට අදාළ දේ දක්වා ජීවිත කාලය පුරා නිරතුරුව සිදුකරන්නට යෙදුණි.

15. තමන් නිවැරදි යැයි සහ මැදිහත් විය යුතු යැයි විශ්වාස කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට නොපැකිළ සහ නොබියව ක්‍රියා කිරීම.​ඔහු 1970 දශකයේ බිහිවූ Civil Rights Movement (CRM) සංවිධානයේ ආරම්හකයෙකු මෙන්ම ක්‍රියාකාරිකයෙකු විය. එසේම මහජන විරෝධතාවයන් ගණනාවකටද එම වකවානුවේදී එක්වී තිබුණි.

16. නිරහංකාර බවද ඔහුගේ කැපී පෙනුණු තවත් විශේෂ කරුණක් ලෙස දැක්විය හැකිය

ලිපිය උපුටාගැනීම සිළුමිණ පුවත්පපත නීතිඥ,ආචාර්ය ජගත් ගුණවර්ධන කියයි

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago