Tuesday, June 2, 2026
Homeදේශීයසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් කඩිනම් කිරීමට අවධානය

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් කඩිනම් කිරීමට අවධානය

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (29) කොළඹ දී පවත්වා තිබෙනවා.

file

එහිදී ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම අවධානයට ලක් ව ඇත.

file

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවේදී අවධාරණය විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා විය.

READ:   මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්