දේශීය

හොර දොස්තර වැඩේ කළ පොලිස් කොස්තාපල් අල්ලයි: ගබ්සා කරන්න කාන්තාවන්ට තනියම කාමරවලට එන්න කියලා

  • ගබ්සාවකට රු.30,000යි
  • ගබ්සා කරන්නේ හෝටල් කාමරයට තනියම ආවොත්

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ගබ්සා කිරීම්වල නිරතව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් රියැදුරකු පාණදුර වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් හොරණ පොකුණුවිට පිහිටි හෝටල් කාමරයකදී ගබ්සාවකට සූදානම් වූ අවස්ථාවේදීම ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් ඔහුට අටවන ලද උගුලකට හසුවීමෙනි.

මෙම ගබ්සා දොස්තර ගැන තොරතුරු ලැබී ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෙත්සමක් මඟිනි.

ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා විසින් පවරනුයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාටය. පෙත්සමේ ඇති තොරතුරු සම්බන්ධයෙන් රහසිගතව කළ සොයා බැලීමකදී හෙළි වන්නේ රුපියල් 30,000ක් වැනි මුදලක් ලබා ගෙන මේ කියන පුද්ගලයා විසින් ගබ්සා කිරීම් සිදු කරන බවය. ඒ අනුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන බී අංක 76014/2023 යටතේ කරුණු වාර්තා කරන මධ්‍යම දූෂණ මර්දන බළකාය වැටලීමක් කිරීම සඳහා නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

අනතුරුව මෙම ගබ්සා දොස්තර කොටු කර ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් දෙදෙනකු පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් පෙම්වතා අතින් පෙම්වතිය ගැබ් ගෙන ඇති බවට රංගනයක නිරත වෙමිනි. පෙම්වතා ලෙස පෙනී සිටින්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ජනප්‍රිය චරිතයක් වන පොලිස් සැරයන්වරයෙකි. පෙම්වතියගේ චරිතය රඟපානු ලබන්නේ කොස්තාපල්වරියකි.

ගබ්සා දොස්තරගේ ජංගම දුරකතන අංකයක් පවා ඒ වන විට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකා නිලධාරීන් සතුවූ බැවින් සැරයන් විසින් දොස්තරට ඇමතුමක් දෙමින් පවසන්නේ තමා අතින් පෙම්වතිය ගැබිනියක් වී සිටින බැවින් ගබ්සාවක් කර ගැනීමට අවශ්‍ය බවය. එහිදී දෙදෙනා අතර අදහස් රැසක්ද හුවමාරු වී තිබුණි. එහිදී දොස්තර විසින් දෙදෙනා අතර පෙම් සම්බන්ධය ඇති වුණු ආකාරය ගැන පවා තොරතුරු විමසා ඇත. මේ හැම කථාබහක්ම සාක්ෂියක් ලෙස පටිගත කර ගැනීමට පියවර ගෙන තිබේ. ඒ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ලබා දුන් උපදෙස්වලට අනුවය.

මෙහිදී සැරයන් මෙම දොස්තරගෙන් ගබ්සාව සිදු කරන ආකාරය ගැනද විමසා ඇත. ඒ ඇයට ලොකු අමාරුවක් එහිදී ඇතිවේදැයි විමසමිනි. එහිදී ඔහු පවසා ඇත්තේ පෙති දෙකක් බීමටත් පෙති තුනක් ඇගේ රහස් ප්‍රදේශයට ඇතුළු කරමින් ගබ්සාව සිදු කරන බවය. එය බිය විය යුතු කාරණාවක් නොවන බවද ඔහු පවසා තිබේ. මෙම කටයුත්ත සිදු කරනුයේ හෝටල් කාමරයකදී බවද ගබ්සා වෛද්‍යවරයා පවසා ඇත. එම කථාබහේදී ගබ්සාව සිදු කිරීමට දින නියම කරගෙන ඇත්තේ ඊයේ (11) දිනය.

පෙම්වතා ලෙස කථා කළ පොලිස් සැරයන්ට ගබ්සා දොස්තර දැනුම් දී ඇත්තේ මෙදින පෙරවරු 9.00 පමණ වන විට පොකුණුවිට හන්දියට පැමිණෙන ලෙසය. නියමිත වේලාවට පොලිස් කොස්තාපල්වරිය සමඟ පොලිස් සැරයන් පොකුණුවිට හන්දියට එන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රැඳී සිටින්නේ ගබ්සා දොස්තර අත්අඩංගුවට ගැනීමේ සූදානමිනි.

සැරයන් සහ කොස්තාපල්වරිය පොකුණුවිට හන්දියේදී ගබ්සා දොස්තර මුණගැසෙන්නේ නිල්පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණය.

මෙම පෙම් යුවළ සිය මෝටර් රථයට ගොඩකරගන්නා ගබ්සා දොස්තර ඔවුන්ව රැගෙන යන්නේ පොකුණුවිට මීමන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙතය. මෙහිදී පෙම්වතාට ගබ්සා දොස්තර දැනුම් දෙන්නේ ඔහුට හෝටලය ඇතුළට නොපැමිණෙන ලෙසත් පිටතට වී පැයක් හමාරක් රැඳී සිටින ලෙසත්ය. ගබ්සා දොස්තර ඔහුට පවසන්නේ පෙම්වතිය සමඟ තමා පෙම් යුවළක් ලෙස හෝටල් කාමරයට ගොස් ගබ්සාව කරගෙන පැමිණෙන තුරු රැඳී සිටින ලෙසය. ඊට අවනත වෙමින් සැරයන්වරයා හෝටලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින විට ගබ්සා දොස්තර පෙම්වතියද රැගෙන හෝටලට ඇතුළු වී රුපියල් 1200ක් ගෙවා කාමරයක්ද වෙන් කරවාගෙන තිබේ. අනතුරුව ඔහු හෝටල් කාමරයට යන්නේ පෙම්වතා අතින් ගබ්සා වූ පෙම්වතියට ගබ්සාවක් කිරීමට පෙර ඇය සමඟ එකට සිටීමේද අපේක්ෂාවක්ද ඇතිවය. ඒ සැම අපේක්ෂාවක්ම බිඳ වැටෙන්නේ හෝටල් කාමරයට ඇතුළු වීමෙන් පසු මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් කණ්ඩායමක් එහි කඩාවැදීමත් සමඟිනි. තමා පොලිස් උගුලකට හසුවී ඇති බව ගබ්සා දොස්තරට වැටහෙන්නේද මඳ වේලාවක් ගිය තැනය. ඒ වන විට ගබ්සාව වෙනුවෙන් ඔහුට ලබා දී තිබුණු රුපියල් 30,000ක මුදලද සලකුණු තැබූ පොලිසියේ මුදල්ය. ඒ නිසා ඔහුට කිසිදු ගැලවිල්ලක් නොවීය.

පොලිස් නිලධාරීන් තමන්ව හඳුන්වා දෙමින් ගබ්සා දොස්තරව අත්අඩංගුවට ගනු ලබන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 490 වගන්තිය සමඟ කියවෙන 303 වගන්තිය (ගබ්සා කිරීමට තැත් කිරීම) යටතේ ගබ්සා කිරීමට තැත් කිරීමේ වරදටය. මෙම ගබ්සා දොස්තර පොලිස් නිලධාරියකු ලෙස හඳුනා ගන්නේ වැඩිදුර විමර්ශනයේදීය. මෙම නිලධාරියා සතුව තිබී ගබ්සා කිරීමට යොදා ගන්නා යම් ඖෂධ වර්ගයක්ද මෙහිදී හමුවී ඇත. මෙම නිලධාරියා කොළඹ පදිංචිකරුවකු බවත් විවාහකයකු බවත් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම කොස්තාපල්වරයාගේ පියාද පොලිස් සේවයේ නිරතව සිටියකු බවද කියැවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරු සතුව තිබී ගංජා ග්‍රෑම් 05ක්ද හමුවී ඇත. සැකකරුව හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත, පොලිස් සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන අමිල (87119), සංජීව (91287), ශ්‍රියන්ත (94009), සේනාරත්න (104643), කුමාර (104678), අබේකෝන් (104792), කාන්තා පොලිස් කොස්තාපල් සමිතා (13103) සහ පොලිස් කොස්තාපල් රියැදුරු උදේශ් (80831) යන නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.

ගයාන් කුමාර වීරසිංහ, හල්තොට

විනීතා ගමගේ සහ බණ්ඩාරගම – බිමල් ජයසිංහ

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

4 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

4 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago