Categories: දේශීය

වෙනස්කම් මැද වෙනස්වන්නට ඉල්ලන නිත්තවෙල කම්කරු ගම්මානය

මිනිස් කුලකයක් හැටියට ඉතිහාසය තුළ මේ මිනිසුන් අභිමානයෙන් හිස ඔසොවා සිටි කාලයක් සඳහන් නොවන තරම්ය. ඉන්දීය රාජකීයයන්ගේ මෙහෙකරුවන් හැටියට ජීවත් වූ වසර 200කට අධික එපිට කාලයෙන් අනතුරුව තවමත් ඔවුන්ගේ පාලකයා වන්නේ බ්‍රිතාන්‍යයන්දැයි අනුමාන කෙරෙන තරමට මේ මිනිසුන් අනන්‍යතාව අහිමි මිනිසුන් හැටියට තමන්ම විසින් හඳුන්වාගනු ලබති. මහනුවර නිත්තවෙල ගම්මානයේ නගරසභා කම්කරු නිවාස සංකීර්ණයේ පදිංචි පවුල් 167ක් මුහුණ දෙන සමාජයේ අවවරප්‍රසාදිත හැඳින්වීම සහ ආර්ථික අර්බුදයේ වත්මන් අසීරුතා හමුවේ එම ගම්මානයේ කාන්තාවන් ප්‍රමුඛ අනෙකුත් ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු සමස්ත සමාජයේ ආර්ථික පරිවර්තනය පිළිබඳව එක් පැතිකඩක් අපට විස්තර කර දෙන්නේය.

එක්දහස් අටසිය සියවසේදී බ්‍රිතාන්‍යයන් බොහෝ රටවල සිය ආධිපත්‍යය පැවැත්වූයේ සර්වබලධාරීන් හැටියටය. ශ්‍රී ලංකාවට මෙන්ම එවකට ඉන්දියාවටද පොදු වූ මෙම තත්ත්වය තුළ කැලිකසළ ඉවත් කිරීමේ වහල් සේවය වෙනුවෙන් වත්මන් නිත්තවෙල ගම්මානයේ කම්කරු නිවාස සංකීර්ණය පිළිබඳවය මෙම දිගහැරුම. මෙම පදිංචිකරුවන් ශ්‍රී ලංකාවේ මහයියාවට 1815දී ගෙන ආ බව ගම්මානයේ ආරම්භය පිළිබඳව කතාවය. අනතුරුව රණසිංහ ප්‍රේමදාස මහතාගේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මහයියාවේ සිට 1986දී නිත්තවෙල නගරසභා කම්කරු නිවාස සංකීර්ණය වෙත ගෙන ආ පවුල් 05කි. එකී පවුල් පහේ සාමාජිකයින් ඇතුළු එම කුලකයේ සියල්ලන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් නිවාස හිමිකම, කැමති රැකියාවක් කිරීමට ඇති අයිතිය නොසලකමින් මහනුවර මහනගරසභාවේ කසළ ඉවත් කරන්නන් හැටියට නම් කර තිබිණි. මහයියාවේ සිට නිත්තවෙලට ගෙන ආ පවුල් පහ සිය පරම්පරා ගණනක් තවදුරටත් කසළ ඉවත්කරන්නන් හැටියට නාමකරණය කිරීමත් ඒ සමග රට තුළ පිළිගන්නා දේපලක හිමිකම පෙන්වාදීමේ ලිඛිත සාක්ෂිය වන ඔප්පු නොමැතිව ඔවුන් නිත්තවෙල ගම්මානයේ පදිංචිකිරීමත් සිදු කෙරිණි.
කසළ ඉවත්කරන්නන් යනුවෙන් හැඳින්වුවද වර්තමානයේ නිත්තවෙල ගම්මානය තුළ නගරසභාවේ කසළ ඉවත් කරන සාමාජිකයින් සිටින්නේ 20කට ආසන්න සංඛ්‍යාවකි. 1986දී පවුල් 05ක් පදිංචි කරවීමෙන් අනතුරුව මේ වන විට 167 දක්වා පවුල් සංඛ්‍යාව වර්ධනය වී ඇත. එයින් ගම්මානයේ බහුතරය වන කාන්තාවන් 400 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකාවට පොදු මාතෘ මූලික සමාජයක් නිත්තවෙල ගම්මානයට උරුමය.

කේශවන් කුමරේශන් යනු නිත්තවෙල ගම්මානයේ කෝවිල භාර ලේකම්වරයාය. නිත්තවෙල ගම්මානය නියෝජනය කරන නගරසභා මන්ත්‍රීවරයාය. පවුලක එක් සාමාජිකයෙකු නගර සභාවේ සේවය කළ යුතුය යන අනිවාර්ය කොන්දේසිය නිත්තවෙල කම්කරු ගම්මානයට එවකට තදින් බලපැවැතුණි. පසුකාලීනව තමන්ට අනන්‍ය, තම කැමැත්ත මුල් කරගත් රැකියා කිරීමට පදිංචිකරුවන් පෙළඹුණු බවත් ගම්මානයේ ආර්ථික තත්ත්වය නංවාගැනීමට එම තත්ත්වය බෙහෙවින් ඉවහල් වූ බවත් කුමරේශන් මහතා අප සමග පැවසීය. කෙසේනමුදු, මහනුවර නගරය තුළ නිත්තවෙල කම්කරු නිවාස පදිංචිකරුවන් යැයි කී විට පදිංචිකරුවන් රැකියාවක් වෙනුවෙන් තරඟ කිරීමට, ලයිම්කාරයෙක් යැයි හැඳින්වීමකට ලක් වන බව එහි වැසියන් බහුතරයකගේ මෙන්ම මන්ත්‍රී කුමරේශන් මහතාගේද අදහස විය.

නිත්තවෙල කම්කරු නිවාස සංකීර්ණයේ කාන්තාවන්ටද මෙම තත්ත්වය පොද එකකි. එසේ වුවද ගෘහ සේවය, කම්කරු සේවයේ පටන් ගුරු වෘත්තීය දක්වා වන විවිධ මට්ටමේ තරාතිරම්වල රැකියාවල මෙම ගම්මානයේ කාන්තාවන් නියැලෙන්නෝය. එසේ වුවත් පසුගිය කොවිඩ් තත්ත්වය මෙන්ම වසර දෙකකට උඩදී තමන් වෙත බලපාන්නට වූ ආර්ථික අර්බුදය මෙම කාන්තාවන්ගේ සාමාන්‍ය දෛනික පැවැත්මද වෙනස් කරන්නට පටන් ගෙන තිබේ. මුල සිටම නිත්තවෙල කම්කරු නිවාසවල පදිංචි කාන්තාවන් සුළු පරිමාණ ව්‍යාපාර වෙත නැඹුරු වී සිට ඇත. වඩේ සාදා අලෙවි කිරීම, මැහුම් කටයුතු සිදු කිරීම, බත් පාර්සල සැකසීම යනාදී ව්‍යාපාර ඉතා සුළු මට්ටමින් පවා සිදු කරමින් ඔවුන් බොහෝ දෙනෙකු නිවසේ ආර්ථිකයට සුළු වශයෙන් දායකත්වය සපයමින් දරුවන් රැකබලාගැනීමේ රාජකාරියද උනන්දුවෙන් ඉටු කර ඇත. රැකියා නොකරමින් දරුවන් රැක බලාගැනීම පමණක් සිදු කළ මව්වරුන් සිටියද මේ වන විට සියලුම කාන්තාවෝ රැකියා කරන තත්ත්වයට පත්ව ඇත. නමුත් ගම්මානයේ දරුවෝ අසීරුතා මධ්‍යයේ උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට උත්සුක වෙති.එහෙයින්ම, වත්මන් ආර්ථික අර්බුදය මෙම කාන්තාවන්ගේ ජීවිතය යම් මට්ටමකින් අංශක ගණනාවක් පහළාට ඇද දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. විවාහක කාන්තාවන්ගෙන් බහුතරයක් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මව්වරු වෙති. පෙරපාසල් අධ්‍යාපනයේ සිට උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ගේ මව්වරුන් වීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන වියදම් තිබියදී ඔවුන් පෝෂණය කිරීම පමණක්ම නිත්තවෙල කම්කරු නිවාස සංකීර්ණයේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝගයකි. මෙම වෛවාහක කාන්තාවන්ගේ සහකරුවන් බොහෝ දෙනෙකු උසස් වැටුප් තලයක පිහිටූ වෘත්තිකයන් නොවන අතර කම්කරුවන්, කුලීකරුවන්ගේ සිට සාප්පුවල අත්උදව්කරුවන්, පෞද්ගලික ආයතනවල ආරක්ෂක නිලධාරීන්, නගරසභා සේවකයන්, යනාදී වශයෙන් විවිධ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයෝය. කොවිඩ් වසංගත සමයේදී මොවුන්ගේ ජීවිකාවන් කඩා වැටීම ආරම්භ වූ අතර අනතුරුව බඩු මිල, ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන වියදම් ඉහළ යෑම මෙකී වෘත්තිකයන්ගේ සාමාන්‍ය ජීවන මට්ටම කඩා වැටීම සලකුණු කිරීම ආරම්භ කර තිබේ. එහි ඝෘජු බලපෑම ඔවුන්ගෙන් යැපෙන දරුවන්ගේ වගකීම ප්‍රමුඛව දරන කාන්තාවන් මත පැවරී තිබේ. සහකරුවාගෙන් පවුලේ වියදම ලෙස ලැබෙන වේතනය ආහාර, ගමන් වියදම්, සෞඛ්‍ය, අධ්‍යාපන යන අංශ වෙනුවෙන් ඵලදායීව යොදාගත නොහැකි මට්ටමේ ජීවන වියදමක් පැන නැගී ති⁣බේ. මෙ⁣ම තත්ත්වය කාන්තාවන් සුළු වැටුපක් වෙනුවෙන් රැකියා කරා යාම වැනි සරල විකල්ප තත්ත්වයකට යොමු වීමට හේතු වී තිබේ. රැකියා නොකළ කාන්තාවන් දරුවන් නිවසේ තබා රැකියා කරා යොමු වීම, සුළු ව්‍යාපාර අතහැර වෙනත් රැකියා කිරීම, රැකියා එකක් කළ කාන්තාවන් තවත් රැකියා කිරීමට යොමු වීම, දරුවන් කුඩා වයසේදී පවා මව්වරුන් විදේශගත වීම යනාදී සංකීර්ණ තත්ත්වයන් වෙත මෙම ගම්මානයේ ජීවන මට්ටම තල්ලු වී ඇත. අනෙක් අතට ඉහළ ගිය ආහාර වියදම හේතුවෙන් ගම්මානයේ ආහාර රටාව පවා බිඳ වැටී තිබේ. දිනපතා හෝ දවසක් හැර දවසක් මස්, මාළු, බිත්තර වැනි ප්‍රෝටීන් අවශ්‍යතාව පවුලක් හැටියට සපුරාගත් ගම්මානයේ බහුතරයක් වර්තමානයේ සතියකට එක් දිනක් පමණක් එවැනි ආහාර වර්ග ගන්නා තැනට යොමු වී තිබේ. මෙහිදී දරුවන්ගේ ආහාර කෙරෙහි ප්‍රමුඛතාව දීම සිදු වුවද පාසල් යන දරුවන්ගේ ආහාර වේලට බත් සමග එක් එළවළුවක් වශයෙන් ආහාර ලබා දීමට මින් පෙර නොකළ පරිදි කිරීමට සිදුව ඇති බව නිත්තවෙල කාන්තාවන් සමග කළ සාකච්ඡාවේදී අපට අනාවරණ කෙරිණි.

මීට අමතරව දරුවන්ගේ ආහාර වේල සලකා වේලකට සුළු ආහාරයක් ගෙන සිටීම හෝ වේල් ගණනක් ආහාර නොගෙන සිටීම බෙහෝ කාන්තාවෝ පුහුණු කර සිටිති. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වූ විට දරුවන්ගේ බර අඩු වීම, ඔවුන්ගේ අසනීප අවස්ථාවලදී පෝෂණ අවශ්‍යතා සැපිරීම පිළිබඳව දෙන උපදෙස් පිළිපැදීමේ අසීරු තත්ත්වය හමුවේ මෙම මව්වරුන් බහුතරයක් මානසික වියවුලකට පත් වී ඇති බවද ඇතැමෙක් පැවසූහ. මෙම තත්ත්වය පොදුවේ සමාජය තුළ ඇති වන්නේ නම් පෝෂණ අවශ්‍යතා සපුරනු නොලැබීම, ප්‍රමාණවත් වේල් ගණනක් නිසි පරිදි ආහාරයට නොගැනීම, එසේ තිබියදී රැකී රක්ෂා වෙනුවෙන් යොමු වීම හෝ රැකියා කිහිපයක් කිරීම කාන්තාවන් වේගයෙන් රෝගවලට ගොදුරු වීමට හේතු විය හැකිය. එසේම එය මානසික සෞඛ්‍ය කෙරෙහිද අනිසි ලෙස බලපෑමේ හැකියාව වැඩිය. මිල ඉහළ යෑම හේතුවෙන් දරුවන්ට යෝගට්, පළතුරු වැනි ආහාර දීමට නොහැකි වීම පවා පීඩාකාරී මානසික තත්ත්වයක් ඇති කර තිබේ. නිත්තවෙල ගම්මානයේ කාන්තාවන් මුහුණ දී සිටින්නේ මෙම අවදානමටය. වර්තමානයේ රටට පොදු සමාජ, ආර්ථික තත්ත්වයෙන් වියුක්තව සිටීමට නිත්තවෙල කම්කරු ගම්මානයේ කාන්තාවන්ටද හැකි වී නොමැත. රජය විසින් හඳුන්වා දෙන ලද වගා වැඩසටහන් කෙරෙහි කැපවීමට කැමැත්ත තිබුණද ඒ පිළිබඳව අත්හදාබැලීමට හෝ තමන්ට ප්‍රදානය කෙරුණ අඩි 30*10 ඉඩමෙහි ඉඩ සීමා වීමද ඔවුන්ට ඇති ගැටලුවකි. ආහාර හා සෞඛ්‍ය තත්ත්වය එසේ තිබියදී ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවක් හැටියට සලකන රත්තරං පැළඳීම, අලුතෙන් සාරිි මිලදීගැනීම් පවා අවම කිරීමට වත්මන් ආර්ථික අර්බුදය හේතු වී තිබේ. ගැහැනුන්ගේ ලෝකය උවමනා විසිතුරු, අලංකරණ අවස්ථා වත්මන් ආර්ථික තතත්ත්වය හමුවේ නිත්තවෙල කම්කරු ගම්මානයේ කාන්තාවන්ට සහමුලින් අහිමි වී ඇත. අවිවාහක තරුණියන් යම් මට්ටමකින් ලස්සනට හැඳ පැළඳ සිටීමට උත්සාහ කළත් දරුවන් සිටින මව්වරුන් සෑම අවස්ථාවක්ම දරුවන්ට ලබා දීමේ අරගලයක සිටින බව ඔවුහු පවසති. ගම්මානයේ අතලොස්සකට අඩු සිංහල ප්‍රජාව අතරේ ඉතිරි සියල්ලම දෙමළ ජාතිකයින් වන අතර ඔවුන් බොහොමයක් අධ්‍යාපනය ලබා ඇත්තේද ලබන්නේද සිංහල භාෂාවෙනි. එසේ වුවද පෙරපාසල් දරුවන්ට එකවර සිංහල භාවිතාව කළ නොහැකි වීම හේතුවෙන් ගම්මානයේ ඉදි කළ පෙරපාසලට දෙමළ භාෂා ගුරුවරියක් දෙන ලෙස කළ ඉල්ලීමට නගර සභාවෙන් ප්‍රතිචාර නොදක්වා දැන් වසර ගණනකි. එහි සේවය කළ සිංහල ගුරුවරිය පෙර පාසලෙන් ඉවත්ව ගොස් දෙමළ ගුරුවරියක් නොමැතිව වසර 6ක් පෙරපාසල වසා දමා ඇත
මේ හේතුව උඩ ගම්මානයේ ළමුන් වැඩි මුදලක් ගෙවා වෙනත් පෙරපාසලකට යොමු කිරීමට දෙමව්පියන්ට සිදුව ඇත. ආර්ථික අභියෝගයන්ගේ අසීරුකම මැද මෙම කම්කරු ගම්මානයේ කුඩා දරුවන් සිටින මව්වරුන් තවත් අසීරුතාවට එහෙයින් මුහුණ දෙමින් පවතී. ගම්මානය හැටියට වසරට දෙවතාවක් ගිය විනෝද චාරිකා වසර 4කින් ගොස් නැති අතර ගම්වැසියන්ගේ විනෝදාංශ සහ විනෝදාස්වාද මාධ්‍ය රූපවාහිනිය බවට සාක්ෂි සපයන කේබල් ඇන්ටෙනා බොහෝ නිවෙස්වල දක්නට ලැබේ. තවමත් අඩු වයසින් අධ්‍යාපනය අතරමග අවසන් කරන දරුවන් නොමැති නමුත්, එවන් අභියෝගයක් ඉදිරියේදී ඒවිද යන බිය මේ ගම්මානය ඉදිරියේ ඇත. ඉඩම් ඔප්පු අහිමි වීම හේතුවෙන් ළඟම පාසල හිමි නොවීම, ළඟම පාසලට යෑමට පවා ලක්ෂ ගණනක මුදල් ලංසු ආධාර හැටියට ලබා දීමට නොහැකි වීම හේතුවෙන් කිලෝමීටර් 2කට වැඩි දුරක පාසලකට දරුවන් ඇතුළත් කිරීමට මේ දෙමව්පියන්ට සිදුව ඇත. කිලෝමීටර් 2 පවා දුර ගමන් කිරීම මාසිකව ඉතා ඉහළ වියදමක් ආර්ථික වශයෙන් දනවන අතර ඇතැම් මව්වරුන් දරුවන් ගෙන ඒමට, ඇරලවීමට එම දුර දිනපතා පයින් ගමන කිරීමට පෙළඹී තිබේ. එයටත් වැඩි බිය ගම්වාසීන්ට ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය අතරමගදී ඇනහිටීද යන්නත් අනතුරුව ඔවුන් අනාගත විෂමාචාර ක්‍රියාවලට යොමු වේද යන්නත් පිළිබඳවය.


නිත්තවෙල කම්කරු ගම්මානය මේ දක්වා අපරාධ සම්බන්ධයෙන් පොලීසිය හෝ වෙනත් ස්ථානයක සැකකරුවන් වී නොමැති අතර අවට ස්ථානයක විෂමාචාර ක්‍රියාවක් සිදුවුවහොත් ‘ලයිමේ කෙනෙක් වෙන්න ඕන’ කියමින් ඇතැම් පුද්ගලයන් විමසීම ගම්මානයේ සියලු දෙනාගේ කණස්සල්ලට නිරන්තරව හේතු වී ඇත. ලයිමක වාසය කරනවාය යන පොදු හැඳින්වීම උඩ මහනුවර තුළ රැකියා, විවාහ ආදියේදී ගම්වාසී පුද්ගලයන් බලපෑමටත් කොන් වීමටත් මුහුණ දෙන බව ගම්මානයේ මන්ත්‍රීවරයා වන කේශවන් කුමරේශන් මහතා පැවසීය. තමන් ගම්මානයේ සියලු ගැටලු නගරසභාවට ගෙන ගොස් මහජන නියෝජිතයෙකු වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කළද අවවරප්‍රසාදිත නොසලකා හැරිි ජන කොට්ඨාසයක් හැටියට පෞද්ගලිකව තමන් මුහුණ දෙන අසීරුකම පිළිබඳව ඔහු කළ ප්‍රකාශයෙන් මේ සටහන අවසන් කිරීම වටී.


“මම මේ ගමේ ප්‍රශ්න හැම වෙලේම ගිහින් සසභාව හමුවේ කතා කරනවා. ඒත් බොහෝ වෙලාවට මන්ත්‍රීවරයකු හැටියට නැගී සිටියත් සමහරු ලයිමේ එකා කතා කරනවා කියා මුහුණටම මට කියනවා. මම පත්වෙන අමාරුව ගැන කියන්න මට වචන නෑ. ඒ වෙලාවට මම නැගිටපු කතාව මොකක්ද කියන එක පවා මට අමතක වෙනවා. අපි 1815 අපේ පැරණි අය ලංකාවට එන කාලෙදිත් වෙනස්කම් කෙරුණ පිරිසක්. පස්සේ 1986දීත් අපිව මහයියාවෙන් නිත්තවෙලට ගෙනාවෙත් බලෙන්. ඒ ගෙනල්ලත් අවුරුදු 37ක් අපි ඔප්පු නැති ලයිමක ඉන්නවා. මේක කම්කරු නිවාස සංකීර්ණය කියන්නේ නමට විතරයි. අපේ ජීවිත ඊට වඩා සංකීර්ණයි. ඒවට විසඳුම් ඉල්ලා කරන උද්ඝෝෂණත් පාලක⁣යින් විසුරුවා හරිනවා. අපි තවමත් ඉන්දියානු ⁣දෙමළ කියලා හඳුන්වන්නේ. ඒත් අපි සිංහලෙන් ඉගෙනගත්තේ. අපේ දරුවොත් එහෙමයි. ලංකාවෙන් ගිය අය මිස ඉන්දියාවේ අ⁣පි දන්න අය නෑ. ඒත් අපි තවමත් ඉන්දියානු දෙමළ. ඇයි මේ වෙනස. බ්‍රිතාන්‍යයන්ට තවමත් අපිව යටත් කරගන්න ඉඩ හැරලා වැනි හැඟීමක් මට දැනෙන්නේ”

සටහන : ශිවන්ති ප්‍රනාන්දු

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

10 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

2 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

3 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago