දේශීය

මහගමසේකරයන් ගැන දියණිය නිරූපමා කියයි

මහගමසේකරයන් ගැන ඔහුගේ දියණිය නිරූපමා ‘ලක්බිම’ ට හෙළි කළ මතක සටහන්

මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද ජීවතුන් අතර නැත. මේ දෙදෙනාම පාසල් වේදිකාවේ එකට රඟපා ඇති බව මේ දෙදෙනාගේම රසිකයන් වැඩි දෙනෙකු නොදන්නා කරුණක් යයි සිතමි. ඔවුන් මෙසේ එකට රඟපා ඇත්තේ මීට වසර හැත්තෑ පහකට පමණ පෙරය. මේ පිළිබඳව ඔවුන් මා සමග විස්තර කළේ 1975 දෙසැම්බර් මාසයේ ‘සරසවිය’ පුවත්පතට මා ලියූ ලිපියක් සඳහාය. එදා මගහමසේකරයන් මට ඒ සිද්ධිය විස්තර කළේ මෙසේය.
“මම උපන්නේ 1929 අප්‍රේල් 07 වෙනිදා රදාවාන ගමේ. මම පවු‍ලේ එකම දරුවා. පුංචි කා‍ලේ ඉඳලම කලාවට ඇළුම් කළා. රදාවානේ පිරිමි පාස‍ලේ මා සමග එකට ඉගෙන ගත් යාළුවෙක් තමයි කේ. ජයතිලක. අපි අතරේ ඥාති සම්බන්ධයකුත් තිබුණා. අපි දෙන්නා “විජයාවතරණය” කියන නාට්‍යයේ රඟපාලත් තියෙනවා. මම රඟපෑවේ ඇමැති කෙනකුගේ චරිතයක්. ජයතිලක රඟපෑවේ තාපසයෙකුගේ චරිතය. එතකොට අපි දෙදෙනාටම වයස අවුරුදු 12ක් විතර ඇති. මේ නාට්‍යයේ තවත් චරිතයක් රඟපෑ යාලුවෙක් තමයි දො.ඩ. ඩයස්. ඔහු පසුව රදාවාන මහා විද්‍යාලයාධිපති ධුරය දරා සිළුමිණ කර්තෘ මණ්ඩලයේත් සේවය කළා.”
සේකර, ජයතිලක හා ඩයස් පාස‍ලේ පුස්තකාලයේ තිබූ ‍පොත් සියල්ලම පාහේ කියවා තිබුණි. සාහිත්‍ය කලාවට ලැදි මේ තිදෙනාට පමණක් සීමා වූ “සාහිත්‍ය සංසදයක්”ද විය. ජයතිලක හා සේකර අතර නෑ කමක්ද විය. ජයතිලකගේ සීයා (මවගේ පියා)ත්, සේකරගේ මවත් සහෝදර සහෝදරියෝ වූහ.
චිත්‍ර ඇඳීමට, කවි ලිවීමට, කතා ගෙතීමට දස්කම් පෑ සේකරයන් පාස‍ලේ සිටි හොඳම ගණන්කාරයාය. ගණන්කාරයා කීවේ චණ්ඩියකු වූ නිසා නොව ගණිතය විෂයයට ඔහු තුළ තිබූ විශේෂ දක්ෂතාව නිසාය. සාමාන්‍යයෙන් කලාවට ලැදි අය ගණිතය වැනි විෂයයන්ට දස්කම් නොදක්වන බවට මතයක් තිබුණද සේකරට එය අදාළ නොවීය. ගණිතයට මෙන්ම ක්‍රීඩා අංශයෙන්ද ඔහු පාස‍ලේ කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. හැඩිදැඩි, උස සිසුවෙකු වූ ඔහු වොලිබෝල් ක්‍රීඩාවෙහිද කැපී පෙනුණේය. සේකරගේ ප්‍රියතම ‘ඩෑෂ්’ පහර දැකීමට පාස‍ලේ සිසුවන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ප්‍රිය කළේය. වයසින් වැඩුණු සේකර හා සමග වොලිබෝල් පිටියේ ප්‍රති පිළේ දක්ෂ “ඩෑෂ්” ප්‍රහාරකයා වූයේ පසුව චිත්‍රපට නළුවකු, චිත්‍රපට කතා රචකයකු වූ මියගිය සේනාධීර රූපසිංහය.
සේකර දක්ෂ ගායකයකු ලෙසද ප්‍රතිභාවක් දැක්වුවද එය වර්ධනය කර නොගත්තේ මඳක් ලැජ්ජාශීලීවූ නිසාය. පරණ නාඩගම්, නූර්ති ගී රැසක් ඔහුට කටපාඩම් තිබුණි. මේ අත්දැකීම් ඇතුළත් සිද්ධි කිහිපයක් ඔහුගේ “තුංමං හන්දිය” චිත්‍රපටයේ වෙයි. ටීටර් ආභාසයෙන් ඔහු විසින්ම ලියනු ලැබූ දුටුගැමුණු කුමරුගේ සිංදුව විජේරත්න වරකාගොඩ ලවා ගායනා කොට, එම චරිතයද ඔහු ලවාම ගමේ ටීටර් මඩුවක රඟදැක්වෙන අවස්ථාවකට ඇතුළත් කළේය.
චිත්‍රපටයේ එන කුඩා සිරිසේන මේ අවස්ථාව අනුගමනය කරමින් කොස් කොළවලින් ඔටුන්නක් හිසේ පැළඳ ඒ ගීතය ගයන දර්ශනය තමාගේ කුඩා කාලය පිළිිබඳ මතකයන් ඇසුරෙන් නිර්මාණය කෙරුණක් යයි සේකර පවසා ඇත.
සේකරයන්ගේ බාප්පා ගමේ නාට්‍ය ශාලාවක් ගොඩනගා කොළඹිනුත්, මීගමුවෙනුත් නාට්‍ය කණ්ඩායම් ගෙන්වා ප්‍රදර්ශනය කර තිබේ. මේ ටීටර්වල බෙන්ජමින් ප්‍රනාන්දු හා සෙබස්තියන් පීරිස් ගැයූ ගීතවලට තමා බෙහෙවින් ඇළුම් කළ බව සේකරයන් අපට එදා විස්තර කළේය.
“මේ ටීටර්වල ගැයූ ගීත, විශේෂයෙන් “මේ කය මගේ ‍පොහොර වේවා ඡන්ම භූමි” ගීතය මගේ සිත තුළ ගීත රචනය පිළිබඳව ආසාවක් ඇති කළා. පිටින් නාට්‍ය ගෙන්වා රසිකයන් පින වූ බාප්පා ඊට පසු තාත්තාත් හවුල් කරගෙන නාට්‍ය හදා ගමේ පෙන්නුවා. තාත්තාත් මේ නාට්‍යවල රඟපෑවා. මේ නාට්‍යවල සභාවේ ගීතය ගායනා කළේ එවකට අවුරුදු 11ක් පමණ වූ මම. ප්‍රධාන අමුත්තා පිළිගනිමින් mahagamasekara
“සැරදේ ලොව පාලන සුරනා” යනුවෙන් මා ගැයූ ගීතය මට අදත් මතකයි. මේ නාට්‍යවල ‍පෝස්ටර්වල “අද රෑ හොඳ රෑ” කියලා උඩින්ම ලියන්න කියලා බාප්පා මතක් කළා” සේකරයන් එදා කීවේය.
ගීත රචනයට සම්මාන රැසකින් පුද ලැබූ සේකරයන් අමරදේව, නන්දා මාලිනී, වික්ටර්, සනත්, අමරා, දයාරත්න වැනි ගායක ගායිකාවන්ට ගීත රචනය කළ අතර තමාට ගීත රචනා කිරීමට නොහැකි වූ ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ, අබේවර්ධන බාලසූරිය ආදීන්ට ගීත ලිවීමට ආසාවෙන් සිටියේය. මේ සියලු ගායකයන්ගේ ප්‍රතිභාව අගය කළ ඔහු ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එම්.එස්. ප්‍රනාන්දු ගායකයන් ගැන අසීමිත ලෙස අගය කළේය. විශේෂයෙන් එම්.එස්. ගේ ගීත රචනා ඔහු අගය කළේ ඒවා ගයමින් උදාහරණද සපයමිනි. මේ හතර දෙනාටම ගීත ලිවීමට සේකර සැදී පැහැදී සිටියේය. නමුත් ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.
සේකරයන් මියයාමට පෙර, අවසන් වරට හමු වූ අවස්ථාවේ ඔහු අපට කියා සිටියේ තමා ලියූ “ප්‍රබුද්ධ කාව්‍යය” (අත්පිටපත පෙන්වමින්) සිනමාවට නගන බවය. “මගේ අලුත්ම චිත්‍රපට කතාව කවියෙන් ලියලා ළඟදීම රූපගත කරනවා. කවියෙන් ලියලා තියෙන්නේ චිත්‍රපටයකට නගන ආකාරයටමයි“ ඔහු අප සමග කීවේය.
සේකරයන් වියෝවී වසර 38 ක් පිරෙන මොහොතක ඔහුගේ දියණිය නිරූපමා සමග කතා බහ කිරීමේ අවස්ථාවද අපට උදා විය. සිවිල් ඉංජිනේරු සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ආනන්ද බණ්ඩාර වීරසූරිය සමග විවාහ වී සිටින ඇය පදිංචිව සිටින්නේ කිරුළපන හින්දු කෝවිල ආසන්නයේ ඇති ‘හැව්ලොක් සිටි’ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ය. නිරූපමා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.
“තාත්තා මියයන විට මට අවුරුදු අටක් විතර ඇති. මගේ ලොකු අක්කාත් බාල මල්ලීත් සමග අම්මාත් තාත්තාත් සමග ගත කළ ජීවිතය අපේ ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නෑ. තාත්තා අපට කවදාවත් දඬුවම් කළේ නෑ. පාසල් නිවාඩුවට අපි තාත්තාගේ මොරිස් මයිනර් කාර් එකෙන් විනෝද ගමන් ගිය හැටි මට තවම මතකයි. නෑ ගෙවල්වල ගියා.
තාත්තාට ගීත රාශියක් කටපාඩම්. ඒ වගේම ලස්සනට ගීත ගයන්නත් පුළුවන්. තාත්තා ගැයූ ගීත අතර “අන්න බලන් සඳ”, “සුවද පද්ම ඕලු ආදි”, “ප්‍රේමයෙන් මන රංජිත වේ”, “කවාලා විළඳ ජාති”, “සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ” ගීත අපටත් පාඩම් තිබුණා. ඒ කා‍ලේ අපි පදිංචි වෙලා හිටියේ ගම්පහ ශ්‍රී බෝධි පාරේ ගෙයක. මේ ගෙදර ඉඳලා තාත්තාගේ මහ ගෙදර (කන්නිමහර) ඉන්න ආතාත්, ආච්චිත් බලන්න නිතර ගියා. ආතාත් (ජෝන් අප්පුහාමි) ආච්චිත් අපිට ගොඩක් ආදරෙයි. ආතා ‍පොත් කියවන්න රුසියෙක්, තාත්තා වගේම තමයි. ආතයි, ආච්චියි මියගියේ අසූව දශකයේ.”
නිරූපමා කියන විදිහට තම පියා කෑම මේසය ළඟ පුටුවක ඉඳගෙන රෑ වනතුරු ‍පොත් කියවා ඇත. තම පියා හැම විෂයයකම
‍පොත් කියවූ බවයි ඇගේ මතකය.
“තාත්තා චිත්‍රයක් අඳින විට අපි දඟ කළොත් උපායශීලීව අපවත් චිත්‍ර අඳින්න පුරුදු කරනවා. ඒ වෙලාවට ඩේ‍රා්වින් ‍පොත් දීලා පාට පැන්සල්, පැස්ටල් දීලා අප අවට තියෙන දේ අඳින්න කියනවා. තාත්තා කවියක්, ගීතයක් හෝ ලිපියක් ලියන විට කඩදාසි අපට දීලා අවට තියෙන දේවල් ගැන රචනා ලියන්න කියනවා. අනියම් ලෙස අපිව රස විඳින්න පුරුදු කළේ එහෙම. මේ උපක්‍රම නිසා තාත්තාට තාත්තාගේ වැඩේ කරගන්නත් විවේකය ලැබෙනවා අපේ කරදරවලින් මිදිලා. මේ ආකාරයෙන් මමත් මල්ලිත් චිත්‍රවලටත්, අක්කා කවි ලියන්නත් පෙළඹුණා. අවසන්වරට පට්ටි‍පොළට අපි විනෝද ගමනක් ගිය හැටි මතක් වෙනවා. තාත්තා අවට සොබා සෞන්දර්යය චිත්‍රයට නැගුවා. අක්කා කවි ලිව්වා. මල්ලියි මමයි චිත්‍ර ඇන්දා.”
තම මව කුසුමලතා සුරවීර පියාගේ වැඩ කටයුතුවලට දිරිදුන් අයුරුත්, පියාගේ සාර්ථක නිර්මාණ කටයුතුවලදී මව සෙවනැල්ලක් සේ පිටුපසින් සිටි අයුරුත් නිරූපමා සිහිපත් කළාය. කුසුමලතා මේ දිනවල අසනීපයෙන් තම දියණියගේ නිවසේ පසුවන්නීය.
“තාත්තාට අම්මා මුණගැසී ඇත්තේ අපේ පුංචි අම්මා නිසා. ඇගේ නම ඉන්දුමතී සුරවීර. පුංචි අම්මාත් තාත්තාත් ඒ කා‍ලේ සේවය කළේ ගුවන් විදුලියේ. පුංචි අම්මා සමහරවිට තාත්තාmahagamasekara2ට අම්මාව යෝජනා කරන්න ඇති. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වූ අම්මා ගුරුවරියක් හැටියට ගම්පහ රත්නාවලියෙත්, අපි කොළඹ ආවම බොරැල්‍ලේ රත්නාවලියෙත් ඉගැන්නුවා. අම්මාට හොඳ රස විඳීමේ ශක්තියක් තිබුණා. විශ්වවිද්‍යාලයේදී අම්මා සිංහල, පාලි, සංස්කෘත ඉගෙනගත් නිසා සාහිත්‍යය විෂයය රහට උගන්වන්න පුළුවන් වෙන්න ඇති. අම්මගෙ ගෝලයෝ කියනවා අපිට කුසුමලතා
ටීචර් සාහිත්‍ය උගන්වන කොට අහගෙන ඉන්න ආසයි කියලා. ඒක මට තේරුණේ අම්මා මට ගෙදරදී උසස් පෙළට සාහිත්‍ය උගන්වනකොට”
නිරූපමා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, දේවි බාලිකාව හා විශාඛා විදුහල යන පාසැල්වල අධ්‍යාපනය ලබා ඇත. ඇගේ සොයුරිය පාඨලී දිගටම ඉගෙනගෙන ඇත්තේ විශාඛාවේය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ කථිකාචාර්යවරියකි. ඇගේ සැමියා ආචාර්ය උපාධියට ඉගෙනීම ලබන නිසා ඇය මේ දිනවල නවසීලන්තයේ පදිංචිව සිටින්නීය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මල්ලි (රවින්ද) පරිගණක ඉංජිනේරුවෙකි.
පවු‍ලේ තුන්වැනි පරපුර නියෝජනය කරමින් නිරූපමාගේ බාල දියණිය සුඛන්යා වීරසූරිය මෑතදී “බෝල පූසා’ නමින් ළමා ‍පොතක් නිකුත් කළාය. විශාඛා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය එහි චිත්‍රද ඇඳ ඇත. ඇගේ වැඩිමහල් දියණිය සුලක්ණාද විශාඛාවේ උසස් පෙළ හදාරයි.
“මගේ තාත්තා ළමා ‍පොත් දෙකක් ලියලා තියෙනවා. ‘පුංචි අයට කයි කතන්දර’ හා ‘සරු ‍පොළොවක් අපට ඇතේ’ කියලා. සීයාගේ උරුමය ලබලාද කොහේද පුංචි මිනිබිරියත් චිත්‍ර ඇඳලා කතා ලිවීමට පෙළඹිලා. දුවගේ ‍පොතේ පිටපත් නොමිලයේ විශාඛාවේ 1 ශ්‍රේණියේ දරුවන්ට ඇය පිරිනැමුවේ ලොකු සතුටකින්” නිරූපමා කීවාය.
තම පියා අවසාන කාලයේ වැඩිපුර ඇසුරු කළේ මහාචාර්ය ජෝතිය ධීරසේකර (පසුව පැවිදි විය), බන්දුල ජයවර්ධන, කේ. ජයතිලක, එච්.එම්. මොරටුවගම වැනි අයයි. තාත්තා අන්තිම කා‍ලේ බෞද්ධ ‍පොතපත ගොඩක් කියෙව්වා. ධම්මපදය, ත්‍රිපිටකය විශේෂයි. තාත්තා “ප්‍රබුද්ධ” ලියන කා‍ලේ ඉඳිගොල්ල පන්ස‍ලේ භාවනා කළා. මට මතකයි වෙසක්දාට අපි එක්ක ලස්සන වෙසක් කූඩු හදලා රෑට පහන් දල්වා ඒ දෙස භාවනා කරනවා වගේ බලන් ඉන්නවා. අදටත් හැම වෙසක් ‍පෝයකටම මට මේ දර්ශනය මැවිලා පෙනෙනවා” නිරූපමා කීවාය.

සටහන – සිසිර විජේසිංහ මහතා

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago