Tuesday, April 21, 2026
Homeදේශීයබිත්තියේ සිදුරකින් විකුණන පේදුරුතුඩුවේ ආප්ප

බිත්තියේ සිදුරකින් විකුණන පේදුරුතුඩුවේ ආප්ප

මේ පුංචි කවුළුව ආප්ප කඩයක්


විශේෂත්වය තමයි මේ ආප්ප කඩවල ස්වරූපය. කඩේ කියන්නෙ තාප්පෙක තිබෙන පුංචි කවුළුවක්. ඒකෙන් තමයි ආප්ප විකුණන්නෙ. මේක පරම්පරා දෙකක්, තුනක් පැරණි ව්‍යාපාරයක්. ඉස්සර මේ වීදියේ මෙවැනි ආප්ප කඩ 13ක් තිබුණාලු. කාන්තාවන් තමයි ඒවායෙ ආප්ප හැදුවෙ. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ එක් කඩයක් පමණයි.
පේදුරුතුඩුවේ ඔඩක්කරයි කියන නගරයේ වෙළඳපොළ අසල තියෙන පැරණි පටු මාර්ගයක්. ඒ පාර ප්‍රසිද්ධයි පේදුරුතුඩුවේ ආප්පවලට. පේදුරුතුඩුව වඩේ කියන්නෙත් තවත් ඒ ප්‍රදේශයට අනන්‍ය කැවිල්ලක්.
පේදුරුතුඩුව ආප්ප හදන්නෙ පිපීම සඳහා තල් රා යොදලායි. ආප්ප හදන්නෙ රතු කැකුළු හාල් පිටිවලින්. ඒවා හදන්නෙ ‘උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර’ කියලා සිංහල ප්‍රහේලිකාවක කියන පැරණි ආප්ප හදන ක්‍රමයට. ඒ ක්‍රමයට ආප්ප හදන්නේ ලොකු ආප්ප තාච්චියක. තාච්චියට ආප්පෙ වක්කරලා ගිනි කබලකින් උඩිනුත් වහනවා. ඒ ක්‍රමේට හදන ආප්ප වෙනස් රසයකින් යුක්තයි. පරම්පරා කීපයකට උඩදි සිංහල ගැමි කාන්තාවනුත් මේ ක්‍රමයට ආප්ප පිසුවා.
ආප්ප ඕනැ නගරයක තිබෙනවා ඒ වුණාට ඒවා හදන්නෙ පාන් පිටිවලින්, යීස්ට් දාලා. සමහරු කියනවා ආප්ප වාටිය ශක්තිමත් වෙන්න ප්ලාස්ටර් ඔෆ් පැරිසුත් දානවා කියලා.
පේදුරුතුඩු ආප්ප කිරි ආප්ප හෝ සුදු ආප්ප ලෙස විකුණනවා. කිරි ආප්පවල මැද්දට පොල් කිරි හා සීනි යොදලා. සුදු ආප්ප කන්නේ පොල් සම්බෝල හෝ වම්බටු වෑංජනයක් එක්ක.
පේදුරුතුඩුවෙ ආප්ප රස වගේ ම ගුණයි කියලාත් විශ්වාසයක් තියෙන නිසා ලෙඩුන්ට, ළමයින්ට දෙන්නත් ආප්ප ගන්න ඉස්සර මිනිසුන් මෙහි ඇවිත් තිබෙනවා. සංචාරකයිනුත් මේ ආප්ප කන්න එනවාලු. යාපනේ, පේදුරුතුඩුව පැත්තෙ ගියොත් රස බලන්න පුලුවන් වෙයි..


උපුටා ගැනීමකි.

READ:   මේ දවස්වල වේදිකාවේ දාන් යන තොප්පියේ රහස ජනපති කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්