Sunday, April 19, 2026
Homeදේශීයවිද්‍යුත් වාහන සඳහා මාර්ගෝපදේශ මාලාවක්

විද්‍යුත් වාහන සඳහා මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් කරයි.

ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන සියළුම විද්‍යුත් වාහන හා උපාංග, මෙරට තුළ සිදුකරනු ලබන විද්යුත් වාහන එකලස් කිරීමේ කටයුතු සඳහා සහ විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීම සඳහා ද මෙම මාර්ගෝපදේශ මාලාව යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.

මෙම මාර්ගෝපදේශ මාලාව ක්‍රියාවට නැංවීම තුළින් ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම මෙන්ම භාවිතය ක්‍රමවත් කිරීම බලාපොරොත්තුව වේ. මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම පිළිබඳව මූලික සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මේ වන විටත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෝටර් රථවාහන (Auto Mobile) පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින අතර එම ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාවද එළි දැක්වීමට කර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මෙම විද්‍යුත් වාහන මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් බැටරි වැනි විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමේ ක්‍රියාවලියක් සකස් කෙරෙන නිසාත් විද්‍යුත් වාහන ප්‍රචලිත වීම තුළින් මෙරට තුළ පොසිල ඉන්ධන භාවිතය අඩුකළ හැකිවීම නිසාත් පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලැබීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන වාසිදායක තත්වයක් වේ.

මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ඒ සඳහා රාජ්‍ය අංශය ලබාදෙන දායකත්වයට සමාන දායකත්වයක් පුද්ගලික අංශයෙන්ද ලබාගත යුතු බවයි.

මෙම වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබාදීමට USAID ආයතනය එකඟතාවය පළ කොට තිබෙයි.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මෝටර්රථ ක්ෂේත්‍රය නියෝජනය කරමින් ආයතන රැසක නියෝජිතයින් මෙන්ම USAID ආයතනයේ නියෝජිතයෙක්ද එක්වූහ.

උපුටා ගැනීම – රජයේ මාධ්‍ය අංශය

READ:   ළහිරු කුමාර නැවත ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්