දේශීය

ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනයට යොදවන ලෙස ජනපති උපදෙස් දෙයි.

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම 14 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබිණ.

ඉකුත් පාලන කාලයේ දී ඇණවුම් කරන ලද දුම්රිය මැදිරි කට්ටල ගණන 160කි. එම ප්‍රමාණයෙන් දැනට දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව 40කි.

මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ අලුත්වැඩියා කර කෙටි දුර ධාවනයට එක් කරන ලෙසත් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබිණ.

සියලු වෘත්තීය සමිති සහ සේවකයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාව පීඩාවට පත් කරන, වෘත්තීය අරගල නතර කිරීමට සියලු පාර්ශ්වයන් අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත්ව පවත්වාගෙන යාමට අවධානය යොමුකළ යුතුය. තාක්ෂණය සහ නීතිරීති ක්‍රමවත් කිරීමෙන් බලපාන බොහෝ දුෂ්කරතා නිරාකරණය කරගත හැක. එසේම සංචාරකයන් ඉලක්ක කරගනිමින් සංචාරක කලාප ආවරණය වන පරිදි මගී සේවාවක් ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිඳු සේවකයෙකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා නිලධාරීන්ට කියා සිටියේය.

අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කොට ඉදිරියේ දී මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් බස් රථ 100ක් ආනයනයට ඇති හැකියාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් ජනතාවගේ මැසිවිලි ගැන අවධානය යොමු කොට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට සියලු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බස් ගාස්තු වැඩි කොට මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය සූදානම් නැති බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමෙන් වර්තමානයේ ප්‍රවාහන සේවය මුහුණ දෙන ඇතැම් ගැටලුවලට ඒ තුළින් විසඳුම් සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

14 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

14 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago