විශේෂාංග

විවාහ වීමේ පසුබෑමක්

සමාජයේ වෙනස් වීමේ ස්වරූපය ඉලක්කම් සමූහයක් ඉකුත්දා හෙළිවිය. එය සමාජ සම්බන්ධතා ජාලයේ රිද්මයට සිදුවී ඇති ආරවුලක ස්වරූපය යම් පමණකින් කියා පෑවේය. එම දත්ත ගොනුව නිකුත් වන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙනි. දත්තවලින් කියැවුණේ අපේ රටේ විවාහ ලියාපදිංචිය පිළිබඳවය.

වර්ෂ 2019 සහ 2020 අතර ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව 12% කින් පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කිව්වේය. එම දත්තයන්ට අනුව වර්ෂ 2019 විවාහ ලියාපදිංචි කිරීම් 163,378ක් වාර්තා වී තිබිණි. එහෙත් වර්ෂ 2020දී එය 143,061 දක්වා අඩුවී තිබුණේය.

2020 වසරේ වැඩිම විවාහ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ප්‍රමාණය 14,617කි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිල නිවේදනයට අනුව වර්ෂ 2000 -2012 අතර කාලයට සාපේක්ෂව 2013 -2020 අතර කාලය තුළ වාර්ෂික විවාහ ලියා පදිංචි වීම් සැලකිය යුතු ලෙස අඩු වී තිබිණි.

2000-2012 අතර වාර්ෂික විවාහ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව 200,000 කට ආසන්න ප්‍රමාණයක සාමාන්‍යයක් තිබුණු ආකාරය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය. 2000 වසරේ විවාහ 194,217ක් ලියාපදිංචි කර තිබිණි. වර්ෂ 2005 දී එම ප්‍රමාණය 195,067කි. වර්ෂ 2010 වසරේදී වාර්තා ගත ලෙස විවාහ මංගල උත්සව 200,985ක් ලියාපදිංචි කර තිබිණි. වර්ෂ 2015 දී වාර්ෂික විවාහ ලියාපදිංචි ප්‍රමාණය පැවතුණේ 175,939ක් වූ අගයකය. ඉන් පසුව ක්‍රමයෙන් අඩුවෙමින් ගිය විවාහ ලියාපදිංචිය 2020 දී නතර වී ඇත්තේ 1,43,061ක ය.

එක් පසෙකින් ලෝකයේම සමාජ සම්බන්ධතා අකර්මණ්‍ය කළ බිහිසුණු උවදුරකි. සමාජ හමුවීම නෛතිකව තහනම් කර තිබූ දෙවසරක කාලයක් පසු කර ඇවිත් තිබිණි. සමස්ත ආර්ථික පද්ධතිය බිඳ වැටුණේය. ව්‍යාපාර දෙදරා ගියේය. කුටුම්භය බිහිසුණු ආර්ථික වියවුලක කරවටක් ගිලුණේය. මේ දත්ත ගොනුවේ විවාහ ලියාපදිංචි වීමේ අඩුම සංඛ්‍යාත්මක අගයන් වාර්තාව වන්නේ ඒ ව්‍යසනයේ ප්‍රතිඵලය ඍජුවම ලැබෙන්නට පටන් ගත් 2020 වසරේය.

මිනිස්සු සමාජයීයව, ආර්ථිකව, මානසිකව බිඳ වැටෙමින් ඇති වකවානුවක සමාජ සංස්ථාවේ න්‍යෂ්ටිය වූ පවුල් ඒකකයක් ලෙස ගොඩනැගෙමින් ඇති රිද්මය බිඳවැටීම පිළිගත යුතුය. එහෙත් මේ දත්ත ගොනුව අපට කියන්නේ නිශ්චිත කාරණාවක් හේතුවෙන් සිදුවූ අඩුවක් ගැන නොවේ. දශකාධික කාලයක් ක්‍රමානුකූලව අඩුවෙමින් යන විවාහ ලියාපදිංචියේ අඩුවීම ගැනය.

මෙය අපට තේරුම් ගැනීමට හැකි මානයකට ඔබ්බෙන් ඇති මනෝ සමාජයීය කාරණාවකි. මේ තත්ත්වයට තුඩු දිය හැකි සමාජ විද්‍යාත්මක පසුබිම කුමක් විය හැකි ද? ඒ පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය පැහැදිලි කරගැනීමක් සඳහා අප විමසන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ඩබ්ලියු.ඒ.එස්. විජේකෝන්ය.

මහාචාර්ය විජේකෝන් මේ සංසිද්ධිය දකින්නේ පුළුල් දෘෂ්ටියකිනි.

“ සමාජවිද්‍යාත්මකව ගත්තම විවාහය කියන්නේ හුදෙකලා සංසිද්ධියක් නෙමෙයි. මූලික පවුලක ජීවත් වෙලා නිශ්චිත වයසක දී ආදරය සහයෝගීතාව අන්තර් බැඳීම කියන මනෝභා පූරණය කිරීම, සංස්කෘතික පරිසරය ඇතුළෙ ඊළඟ පරම්පරාවක් නිර්මාණය කිරීම, ආර්ථික සහයෝගීතාව, ලිංගික තෘප්තිය යන සියල්ලේ සමස්තය තමයි විවාහය.“

“විවාහයක සාර්ථකත්වය රඳා පැවතීමට අනෝනන්‍ය අවබෝධය ඉතාම වටිනවා. මොකද පුද්ගලයකුගේ සිතැඟි හෝ මනෝභාවම නොවෙයි ඔහුගේ සමාජ හැසිරීමෙන් ප්‍රකට වෙන්නේ. අභ්‍යන්තරිකව ගත්තම යටි හිතේ සිතැඟි උඩු හිතේ යථාර්ථයක් බවට පත් වෙන්නෙ නෑ. මානව හැසිරීම් හා චර්යා අතරෙදි හරිම අමාරු දෙයක් තමයි සැබෑ පුද්ගලයා හඳුනා ගැනීම. “

අප ගතකරමින් සිටියේ සමාජ සම්බන්ධතා දුරස්වෙමින් ඇති සමාජයක් තුළය. ඒ සබැඳියා මේ දුර්ග වකවානුවේ තවත් තීව්‍ර ව වෙනස් වී ගියේය. විවාහ ලියාපදිංචි වීම මේ තරම් අවප්‍රමාණ වෙමින් ඇත්තේ ඇයි? ඊට බලපෑ හැකි වෙනත් ගැඹුරු සාධනීය කරුණු මහාචාර්ය විජේකෝන් අපට කීවෙ මෙවැන්නකි.

“විවාහය ප්‍රමාද කිරීම හෝ විවාහ නොවී සිටීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් අපි දකින්නෙ අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් ඇතිවීම මෙන්ම වෙනත් සමාජ වටිනාකම් අත්පත් කරගැනීමට අද තරුණ පරපුර වැය කරන කාලය වැඩියි. ඒ වගේම අපි අතීත සමාජය අරන් බැලුවම පුද්ගලයකුට විනෝද වෙන ක්‍රම තිබුණේ නෑ. බොහෝ ගම් පළාත්වලට විදුලියවත් නෑ. එකම වින්දනය බවට පත්වුණා ලිංගිකත්වය. අදත් ඒ තත්ත්වය එසේමයි ග්‍රාමීය සමාජවල. නමුත් නූතන සමාජයේ ලිංගික ආශාවන් වැනි දේ වෙනත් දේවල්වලට යටපත් වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. අද සමාජය විවෘතයි. විනෝදාස්වාදය ලැබිය හැකි අවස්ථා එමටයි. පෙම්වතා පෙම්වතිය ඇසුරු කරන්න ඉඩ ලැබී තිබෙනවා. නෛතික නොවුණත් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස තිබෙනවා. මේ අවකාශ තුළ ඔවුන් කායික මානසික වින්දයනක් ලබනවා. විවාහයෙන්ම ලබා ගන්නා ලිංගික තෘප්තිය යටපත් වෙන්න මේ කාරණා මුල්වෙලා. .“

exchange of wedding rings white

මහාචාර්ය විජේකෝන් මේ දත්ත ගොන්න හරහා නොසිතන වෙනත් මානයක් වෙතත් අපව රැගෙන යන්නේය.

“ අප දන්නවා වර්ෂ 1971 දී වගේම 1988 දී මේ රටේ තරුණ නැගිටීම් දෙකක් සිද්ධ වුණා. පවත්නා සමාජ ක්‍රමයට විරෝධය පාමින් ඇති කළ ඒ ප්‍රකාශනය සමාජය මත පතිත වුණේ කැරැල්ලක් විදිහට. එහෙත් ඒ සමාජ විරෝධය වෙනත් මානයකට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ තමයි රට හැර යෑම. බොහෝ මධ්‍යම පාන්තික තරුණයන්ගේ ඉලක්කය රටින් පිටවීම. ඒ පරිසරය තුළ විවාහය කියන එක් ද්විතීයික කාරණාවක්. “

සමාජය නිවැරදි කරගැනීමට කැරලි ගැසූ අතීත තරුණයා වෙනුවට මේ සමාජ ක්‍රමය විසින් නිර්මාණය කර ඇත්තේ අර්බුදය හටගත් සමාජය අත්හැර යන තරුණයෙකි. ඔවුන්ගේ ජීවිත සිහිනය ඇත්තේ මේ පොළොවෙන් පිටය. ඒ තරුණ පරම්පරාව අතර ලියාපදිංචි වන විවාහ ගණන අඩුවීම අරුමයක් නොවිය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේය.

විවාහය සඳහා පොලඹවන මානසික කාරණා මේ විවාහ ලියාපදිංචියේ අඩුවක් පෙන්වන්නේ ද?. අප විමසා සිටියේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙනි.

“ විවාහයක් ප්‍රමාදවීම මෙන්ම විවාහයකට ඇතුළත් නොවීම සඳහා පුද්ගල මානසිකත්වයට වඩා උසස් අධ්‍යාපනය, සමීප කරගත යුතු ආර්ථික සම්පත් ඇතුළු වෙනත් වටිනාකම් ගොන්නක් සම්පූර්ණ කරගෙන විවාහයට ඇතුළත් වීමේ පුද්ගල අභිලාෂයි.

“වර්තමානයේ අපට ලැබෙන අත්දැකීම් එක්ක නිරීක්ෂණය කරන විටදි දකින්න පුළුවන් ආදර සබඳතා ඇති වීම පමා වීම සහ විවාහ වීමට සහකරුවකු සොයා ගැනීමට කොවිඩ් තත්ත්වයත් බලපා ඇති බව. සමාජයේ දැන් ගැවසෙන්න වෙලා තිබෙන්නේ මුඛ ආවරණ පැලඳීමෙන්. හමුවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන ආයතන සහ වෙනත් ආයතන වසා තිබීම නිසා මාර්ගගත ක්‍රමයට රැකියාවේ හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න සිද්ධ වෙලා. මේ තත්ත්වය තුළ ආදර සබඳතා ඇති වීමට බාධාවක් තිබෙනවා.“

මේ විචාරශීලී විද්වත් විවරණයන් අප හමුවේ දත්ත ගොනුවක් ලෙස ඇති ගැටලුව ලිහා විදහා පෙන්වමින් ඇත. සමාජය ගොඩනඟන ශක්තිමත් කුඩාම ඒකකය විධිමත් පවුලය. පවුල පිළිබඳ වූ බරසාර සංකල්පය විහීන වෙමින් යනු පෙනේ. අනතුරුව එන සමාජ පරිවර්තනය කුමක් විය හැකි ද?මේ දත්ත ගොනු ඔස්සේ සොයාගත යුතු වැදගත්ම කරුණ එයයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago