විශේෂාංග

සංචාරක කර්මාන්තයේ හෙට වෙනුවෙන් වෙනස් විය යුතු දෑ මෙන්න

මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවන්හි නිරත පිරිස ලක්ෂ 30කට අධික වන අතර වසංගතයත් සමඟ ඒ සියල්ලන් ගේ රැකියා අවදානමට වැටිණි. එහෙත් මේ දක්වා ඉතාමත් සුළු වශයෙන් මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රතිශතය, අද වන විට 10% ඉක්මවා වර්ධනය වී තිබීම සංචාරක කර්මාන්තය ට කොළ එළියක් දල්වන සාධනීය තත්ත්වයක් බව ක්ෂේත්‍රයේ නියැළී බොහෝ දෙනාගේ අදහසයි.
ඒ අනුව නොවැම්බර් මස මුල් දෙසතිය තුළ පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,222 ක් වන අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මුල් දෙසතිය දක්වා සංචාරකයන් 80,310 ක් මෙරටට පැමිණ තිබේ. රට පුරා ශීඝ්‍රයෙන් සිදු වන සාර්ථක එන්නත්කරණයත් සමඟ ගොඩනැඟෙමින් පවතින යහපත් වටපිටාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරිය කෙබඳු වේ ද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනකුගෙන් අදහස් මෙසේයි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පවසන්නේ මෙවැනි අදහසකි.

” ඇත්තටම මේ සංචාරක කර්මාන්තය ඔළුව උස්සමින් ඉන්න වෙලාවක්. පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් සංචාරකයන් 22,700 ගණනක් ආවා. නොවැම්බර් පළමුවැනිදා සිට 20 වැනිදා දක්වා 29,600 පමණ ආවා. දැනට දෛනිකව 1,400 ඉක්මවා සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා. එක්සත් ජාතීන් ගේ සංචාරක සංවිධානයට (UNWTO) අනුව 2024 වසර වෙන කල් මේ තත්ත්වය පවතින්නේ මේ ආකාරයට ම උඩ පහළ යමින්. මේ ව්‍යසනය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වන්නේ 2025න් පසුව බවයි ඔවුන් ගේ අදහස. යුරෝපය සහ ජර්මනියේ හතරවැනි රැල්ලක් එන ලකුණු හිස ඔසවමින් ඉන්න අපි වගේ රටකට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද යුරෝපය සහ ජර්මනිය කියන්නේ අපේ හොඳම වෙළඳපොළවල් දෙකක්. ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංසය සහ චීනය අපේ හොඳම සංචාරක වෙළෙඳපොළක් සහිත රටවල්. ඒ අතරින් දෙකක් වැහුණොත් එය අපිට ප්‍රබලව බලපානවා. මොකද, ශීත සෘතුවේ ප්‍රධාන වශයෙන් ම ඉලක්ක කරගත් රටවල් දෙකක් තමයි බ්‍රිතාන්‍ය සහ ජර්මනිය කියන්නේ. තෙවැනි වෙළෙඳපොළක් සහිත රටවල් ලෙස ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, යුක්රේනය, කසකස්තානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් දක්වන්න පුළුවන්. මේ සියල්ල අතරින් චීනය සහ ඕස්ට්‍රේලියාවේ සංචාරකයන් තවමත් ශ්‍රී ලංකාව වෙත සංචරණය කිරීම ආරම්භ කර නැහැ .

කොහොම වුණත්, රජය මේ වන විට සංචාරක ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අතරින් කුච්චවේලි කල්පිටිය සහ බෙන්තොට සංචාරක කලාප ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීමට රජය මේ මොහොතේ අනුමැතිය ලබා දී තිබෙනවා. විශේෂ ව්‍යාපෘතියක් විදියට නානු ඔය සිට ග්‍රෙගරි වැව දක්වා වන කේබල් කාර් ව්‍යාපෘතියටත් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව හෝටල්, වෝටර් බංග්ලෝ, කේබල් කාර් වගේ ආකර්ෂණීය ව්‍යාපෘති 22ක් ලබන අවුරුදු දෙක ඇතුළත ඉදිකර අවසන් වීමට නියමිතයි

ඊට අමතරව ඇල්ල, යාල වගේ සංචාරක ගමනාන්තවල අවම මට්ටමේ පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් කරගෙන යන අතරම කල්පිටිය මන්නාරම මඩකලපුව වගේ පළාත්වල පිහිටි පැරැණි බලකොටු ප්‍රතිසංස්කරණය කර සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ඒවා යොදා ගැනීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කරගෙන යනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව කඳුකර දුම්රිය මාර්ගය සංචාරක ආකර්ෂණයට යොදා ගත හැකි ක්‍රමවේද පිළිබඳ සොයා බලා, ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සලසමින් සිටිනවා. ඒ අනුව, අලුත් සංචාරක ආකර්ෂණීය ස්ථාන 5,500ක් හඳුනා ගෙන ඒවා වැඩි දියුණු කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මාලදිවයිනේ ආකාරයට නොගැඹුරු මුහුදේ සිට මුහුදු මට්ටම දක්වා ඉදිකරන කල්පිටියේ වෝටර් බංග්ලෝ ව්‍යාපෘතිය සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබා දී මේ වන විට ඒවායේ සැලසුම් සැකසෙමින් පවතිනවා. දෙසැම්බර් මාසය අවසාන වන විට 45000 – 50,000 අතර සංචාරකයන් ප්‍රමාණයක් අප ඉලක්ක කර තිබෙනවා. ඒ අනුව, මේ වසර අවසන් වන විට අපේ රටට 185,000ක් පමණ සංචාරකයින් පැමිණේ යැයි අප බලාපොරොත්තු වනවා. පැවැති තත්ත්වය අනුව, උදා වී වේගෙන එන මේ තත්ත්වය අප එලෙසම පවත්වා ගෙන යා යුතුයි. ඒ සඳහා මහජන සහයෝගය ද විශාල වශයෙන් අවශ්‍යයයි…”

මේ පිළිබඳ, ජෙට්වින්ග් හෝටල් සමූහයේ, සභාපතිනී, ශිරෝමාල් කුරේ පැවැසුවේ මෙවැනි අදහසකි.

” පළාත් අතර සංචරණ සීමා නැති නිසා අද වන විට සති අන්තය සඳහා බොහෝ හෝටල්වලට දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන ප්‍රවණතාවක් තිබෙනවා. ඒක හොඳ දෙයක්. ඊට අමතරව, විදේශ සංචාරකයන් ගේ පැමිණීම ආරම්භයක් හැටියට සංඛ්‍යාත්මක ව හොඳ මට්ටමක තිබෙනවා. ඒ නිසා, දෙසැම්බර් අග වන විට සංචාරකයින් 50,000ක්වත් අප බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරා විවිධ මට්ටමේ තරු හෝටල් 13,000ක් පමණ තිබෙනවා. අපේ ජෙට්වින් සමූහයේ හෝටල්වලත් සති අන්තය වන විට 80-90%ක් පමණ කාමර පිරී පවතිනවා. සතියේ දිනවලත් සංචාරකයන්ගේ පැමිණීම 40%ක් විතර වෙනවා. මොකද, මේ දවස්වල හුඟක් විශේෂ වට්ටම් සහ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා. දැන් බුබුළු සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ වැක්සින්කරණය නැතිව එන විදේශ සංචාරකයන්ට පමණයි. අපේ හෝටල්වල නම් පිළිගන්නෙ වැක්සින් කළ සංචාරකයන් පමණයි. කොහොම වුණත් අපි මේ වෙලාවේ මහජනතාවගෙනුත් සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඔබ මහ පාරේ විදේශිකයකු දුටු ගමන් ලෙඩ බෝ කරනවා කියලා හිතන්න එපා. මොකද රටක් හැටියට අපිට ඒ අය මේ වෙලාවේ අවශ්‍යයයි. මොකද, මිලියන 3 ක ජනතාවක් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන නිසා…”

ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනයේ (Lanka Institute of National Tourist Guide Lecturers ) වැඩ බලන සභාපති, ඩී.ඒ. එස්. ඩී. ආරච්චිගේ පවසන්නේ මෙවැනි අදහසකි. ” පොදුවේ tourist guide කියන පොදු වචනයෙන් හැඳින්වූවාට, අපේ සැබෑ තනතුර වන්නේ, ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරු යන්නයි. මොකද, මේ Touris Guide කියන අංශය වර්ගීකරණ හතරක් යටතේ ක්‍රියාත්මකයි. එයින් Touris Guide Lecturer කියන්නේ, විදේශිකයන් ඉදිරියේ රටක් නියෝජනය කරන තානාපතිවරයකු හා සමානයි. ඔවුන්, සංචාරක ක්ෂේත්‍රයේ මේ අංශය පිළිබඳ, ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි දක්වා සුදුසුකම් ලත් පුද්ගලයන්. මේ ආකාරයේ ලියාපදිංචි Touris Guide උපදේශකවරු 1,500ක් පමණ සිටිනවා. ලියාපදිංචි නොවූ එකතුවත් බැලුවොත් මේ ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස 2,000ක්. ඒ කියන්නේ, යැපෙන පවුල් ප්‍රමාණයත් 2,000ක්.

සංචාරක ව්‍යාපාරයේ යළි හිස එසවීම, තවමත් 10% ක් තරම් වන නිසා, මේ බොහෝ අයට තවමත් රැකියා අවස්ථා උදා වී නැහැ. ටිකෙන් ටික හරි සංචාරක ව්‍යාපාරය පිබිදෙනවා නම් එය ක්ෂේත්‍රයේ නියැළෙන මිලියන තුනට ම විශාල හයියක්.

මොකද, මේ ගෙවුණු අවුරුදු දෙකම මරු පහරක් වුණේ, සංචාරක ක්ෂේත්‍රයේ නියැළුණු සියලු දෙනාට. බොහෝ අය විකල්ප ජීවනෝපායන් හොයාගෙන ගියත්, දැන් යළි සිය වෘත්තිය අරඹන්න සූදානමින් බලා සිටිනවා.

ලෝක සංචාරක දිනයේ දී අපි සන්නස් පත්‍රයක් මඟින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත යෝජනාවලියක් බාර දුන්නා. නමුත් එය ජනාධිපතිතුමාට ලැබුණා ද කියන එක විශාල ගැටලුවක්. කලාපයේ අනෙක් රටවල් වගේ අපේ අවම වැටුපත් ඩොලර් 50 දක්වා ඉහළ දමන ලෙස අපි ඉල්ලීමක් කළා. නමුත්, සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී එය ඩොලර් 35 දක්වා අඩු කළත්, අප එකඟතාවකට ආවා. අපේ වැටුප් නියාමනය වන්නේ, සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ. අවුරුදු තුනක් ගත වෙලත් ඒ ඩොලර් 35 ලෙස ඉහළ දමන යෝජනාව තවම ක්‍රියාත්මක වී නැහැ.

සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවමින් සිටින මොහොතක මේ ගැටලුව ඉක්මනින් විසඳා දීමට රජය වහා මැදිහත් විය යුතුයි. මොකද කොහොම වැඩ කළත්, අපේ වෘත්තියේ එක දිගට හැමදාම වැඩ නැහැ. අනික, මේක රජයටවත් සංචාරක සංවර්ධන අධිකාරියට වත් බරක් එන යෝජනාවක් නෙවෙයි. සංචාරක සංවර්ධන අධිකාරිය අප නියාමනය කළත්, අපගේ වැටුප් ගෙවන්නේ සංචාරකයන් ගෙන්වන නියෝජිත ආයතන හෙවත්, සංචාරක ගමනාන්ත කළමනාකරණ ආයතන (DMC) මඟින්. ඔවුන් ඒ මුදල සංචාරකයන්ගේ ටිකට් පතට එකතු කරනවා. ඒ කියන්නේ, සංචාරකයන් ශ්‍රී ලංකාවට එන්න කලින් ම ඒ මුදල ගෙවා අවසන්. ඒ නිසා, මේක රජයටවත් අධිකාරියටවත් බරක් එන කාර්යයක් නෙවෙයි. අධිකාරියට තිබෙන්නේ, මේ ගැටලුව සඳහා ඉක්මනින් තීන්දුවක් ගන්න එක විතරයි. එහෙම නැත්නම් රුපියල් 2,500ක දෛනික වැටුපකට මේ තරම් සුදුසුකම්ලත් සංචාරක මාර්ගෝපදේශකවරු විදේශයන් ඉදිරියේ හෑල්ලුවට ලක්වනවා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. සංචාරක ක්ෂේත්‍රයට නැතිවම බැරි අපි, නැවත නැවතත් ශ්‍රී ලංකාවට එන්න හිතෙන චිත්‍රයක්, පරිසරයක් සහ මතකයක් සංචාරකයා තුළ තැන්පත් කරනවා. අප පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිතුමා වෙත යයි කියලා

පි තවමත් බලාගෙන ඉන්නවා…”

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago