මානව හිමිකම් උල්ලංඝනය, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධව විටින් විට ආන්දෝලනාත්මක තත්ත්වයන් සමාජයේ ඇති වනවා. විවිධ කාලවල එවන් තත්ත්වයන් ඇති වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන ක්‍රියාකාරකම්වල විනිවිදභාවය ප්‍රශ්න කරමින්. පොලිසියේ ක්‍රියාකාරකම් ඒ අතරින් විශේෂයි.
විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් පුද්ගලයෙකු අගතියට පත් වූ විට ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ඉන් ප්‍රධානයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව ඇත.
මූලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ ඇතුළත් වන අතර, විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබේ.
III වන පරිච්ඡේදය යටතේ ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් අතර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීම් හෝ දඬුවම්වලින් නිදහස් වීම සහ ඒ සම්බන්ධයෙන් ළඟම ඇති අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඇති අයිතීන් ද ඇතුළත් වේ.
කෙසේනමුත්, වරද සිදු වී දින 30 ක් ඇතුළත මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කළ යුතුයි. නඩු ඇසීමේ දී විශාල ප්‍රමාදයක් ඇත. එමෙන්ම, මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළ යුත්තේ කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේය. පෙත්සම ගොනු කිරීමේදී වින්දිතයින් හෝ ඔවුන්ගේ පවුල්වල අය පැමිණිය යුතු නැතත්, ලියකියවිලි අත්සන් කිරීම සහ නීතිඥයන් සමඟ කටයුතු සිදු කිරීම සඳහා ඔවුන් බොහෝ විට කොළඹට පැමිණිය යුතුය.
නඩු කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් මෙම ව්‍යායාමය සාර්ථක කර ගැනීමට එක් බාධාවක්. එමෙන්ම ගමන් වියදම් දැරිය නොහැකි බව කොළඹින් දුර බැහැර සිටින පැමිණිලිකරුවන් බොහෝ විට මැසිවිලි නගන බව නීතීඥවරුන් බොහෝවිට පවසනවා.
මීට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙහිදී විශාල කාරයභාරයක් පැවරී තිබෙනවා.
එහිදී වින්දිතයින්ට ජාතික මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. නීතිඥවරයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මානව හිමිකම් කොමිසමේ පෙත්සමක් ගොනු කිරීම මූලිකවම වාසිදායක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම සම්බන්ධයෙන් පවතින දින 30 ක කාලය මෙහි දී අදාළ නොවන බැවින්.මානව හිමිකම් කොමිසමට ද ස්වාධීන පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති අතර, දේශපාලන බලපෑම් ද එල්ල වන බව විවිධ දේශපාලඥයන් මෙන්ම නීතීඥවරුන් විටින් විට ප්‍රසිද්ධියේ චෝදනා නගන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ නමුත් පුද්ගලයෙකුට යම් අනිසි පරිපාලනමය ක්‍රියාවකින් තම ජීවිතය අහිමි වූ විට මේ කිසිදු ප්‍රතිපාදනයකින් ඔහුගේ ජීවිතය ලබා දීමේ හැකියාවක් ඇත්තේ නැහැ.එබැවින් නිලධාරීන් සාධාරණව කටයුතු කිරීම ඉතා වැදගත්.
(BBC වාර්තාවක් ඇසුරිනි) courtesy: BBC


