Sunday, April 19, 2026
Homeවිශේෂාංගයුධ හමුදා ඇඳුම් ළඟ තබා ගැනීම හෝ ඇඳීම නීතියෙන් තහනම් ද? -...

යුධ හමුදා ඇඳුම් ළඟ තබා ගැනීම හෝ ඇඳීම නීතියෙන් තහනම් ද? – නීතීඥ සාරංග වාදසිංහ

යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳීමේ විලාසිතා කලින් කලට තරුණයන් අතර ප්‍රචලිත වේ.විදේශ රටවලින් මෙරටට ආනයනය කරන “කැමා” ඇඳුම් ලෙස හඳුන්වන මෙවැනි ඇඳුම් හෝ ශ්‍රී ලංකා හමුදාවට අනන්‍ය වූ නිල ඇඳුම් ළග තබා ගැනීම හෝ ඇඳීම සම්බන්ධ නෛතික පසුබිම සංක්ෂිප්තව විමසා බලමු.
යුද්ධ හමුදා ඇඳුම් සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇති ප්‍රධාන පනත වන්නේ 1949 අංක 17 දරණ යුද්ධ හමුදාපනත යි.මෙම පනතේ 141 වගන්තිය යටතේ යුද්ධ හමුදා ඇඳුම් ළග තබාගැනීම සම්බන්ධව සදහන් කොට ඇත.එම වගන්තියේ පළමුවන උපවගන්තිය කෙරෙහි අපගේ අවධානය මදක් යොමු කර බලමු.
141(1) නිලධරයන්ගේ හෝ සෙබළුන්ගේ ප්‍රයෝජනය සදහා නිකුත් කරන ලද යම් අවි,උණ්ඩ,උපකරණ ආම්පන්න ,රෙජිමේන්තු අවශ්‍යතා හෝ ඇඳුම් නැතහොත් යම් නිලධාරියකුගේ හෝ සෙබලෙකුගේ යම් සංග්‍රාමික පළඳනාවන් නැතහොත් රෙජිමේන්තු භාරයේ වූ යම්ලී බඩු ,කොට්ට මෙට්ට ආදිය කම්බිලි,ඇතිරිලි,හැළිවළං හෝ බඩුබාහිර නැතහොත් යම් නිලධාරියකුගේ හෝ සෙබලෙකුගේ ප්‍රයෝජනය සදහා නිකුත් කරන ලද යම් ආහාර ද්‍රව්‍ය හෝ යුද්ධ හමුදාවට අයිති යම් අශ්වයකු සදහා වූ අශ්වාහාර නැතහොත් යුද්ධ හමුදාවට අයත් වෙන යම් දේපලක්-
(අ)මිලට ගන්න,හුවමාරු කරන ,උකසට ගන්න,ළඟ තබාගන්න හෝ මොන යම් ව්‍යාජයකින් වුවද යම් තැනැත්තෙකුගෙන් භාර ගන්න,නැතහොත්
(ආ)විකිණීමට ,හුවමාරු කිරීමට,උකස් කිරීමට හෝ දීමටයම් තැනැත්තෙකු අයදින හෝ පොළඹවන ,නැතහොත්
(ඇ)විකිණීමේහි,හුවමාරු කිරීමෙහි,උකස් කිරීමෙහි හෝ බැහැර කිරීමෙහිලා යම් තැනැත්තෙකුට ආධාර වන හෝ ඔහු වෙනුවෙන් ක්‍රියා කරන,
සංග්‍රාමික නීතියට යටත් තැනැත්තෙකු හැර සෙසු සෑම තැනැත්තෙකුම ඒ භාණ්ඩය යුද්ධ හමුදාවේ දේපලක් බව නොදැනුවත්ව ක්‍රියා කළ බව හෝ ඇමතිවරයාගේ නොහොත් යුද්ධ හමුදාපතිගේ ආඥාවක් අනූව හෝ කැමැත්ත ඇතිව එය ව්කිණීමට ඉදිරිපත් කළ විටක මිලට ගත් බව හෝ නිලධාරියකු වී සිට විශ්‍රාම ගත් නොහොත් ඒ තත්වයෙන් තොර වූ නිලධාරියකුගේ හෝ මුදා හරිනු ලැබූ සෙබළෙකුගේ හෝ මියගිය නිලධාරියකු නොහොත් සෙබලෙකු වෙනුවෙන් පෙනී සිටින නීත්‍යානුකූල නියෝජිතයාගේ පෞද්ගලික දේපලක් බව ඔප්පු කළහොත් මිස,වරදකට වරදකරු විය යුතු අතර සුළු අපරාධ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විසඳීමකින් පසු වරදකරු කරනු ලැබූ කල්හි රුපියල් දෙසීයකට වැඩි නොවූ දඩයකින් හා ඊට අතිරේකව ඔහු කළ වරදේ මාර්ගයෙන් ඔහුට අයත් වූ යම් දේපලක වටිනාකම මෙන් තුන් ගුණයක් වූ දණ්ඩනයකින් හෝ මාස හයකට වැඩි නොවූ කාලයක් වැඩ නැති හෝ බරපතළ වැඩ ඇති බන්ධනාගාගත කිරීමකින් හෝ දඩය හා ඒ බන්ධනාගාගත කිරීම යන දෙකින්ම දඬුවම් විඳීමට යටත් විය යුතුය.ඒ දණ්ඩනය අය කරගැනීම සුළු අපරාධ විනිශ්චයකාරවරයෙකු විසින් නියම කරනු ලැබූ දඩයක් අයකර ගන්නා ආකාරයෙන්ම අය කළ හැකිය.”
ඉහත වගන්තිය තුළ යුද්ධ හමුදා නිල ඇඳුමක් සන්තකයේ තබා ගත හැකි පුද්ගලයන් පැහැදිලිව දක්වා ඇත.එම පුද්ගල කාණ්ඩවලට අයත් නොවන සිවිල් පුරවැසියකු නිල ඇඳුමක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඉතා පැහැදිලි ය.
මේ අනූව ඉහත වගන්තිය විශ්ලේෂණය කිරීමේදි පොදුවේ යුද්ධ හමුදාවට අයත් භාණ්ඩ සන්තකයේ තබාගැනීම සම්බන්ධව පහත සදහන් විත්තිවාචක ඉදිරිපත් කළ හැකි බව පෙනේ.
(1)අදාල භාණ්ඩය යුද්ධ හමුදාවට අයත් බව නොදැන සිටි බව
(2)අදාල භාණ්ඩය හමුදාවෙන් නීත්‍යානුකූලව මිලදී ගත් බව
(3) අදාල භාණ්ඩය විශ්‍රාමික නිලධාරියකුගේ හෝ සේවයෙන් ඉවත් වූ නිලධාරියකුගේ හෝ පෞද්ගලික දේපලක් බව
මෙම විත්තිවාචක “හමුදා නිල ඇඳුම්” සන්තකයේ තබාගැනීම සම්බන්ධව චෝදනාවකදී කොතරම් දුරට සාර්ථක වේද යන්න ගැටළුසහගත වේ.
මීළඟට යුද්ධ හමුදා ඇඳුම් ඇදීම සම්බන්ධව නීති තත්වය සොයා බලමු.යම් සිවිල් පුද්ගලයෙකු විලාසිතාවක් ලෙස යුද්ධ හමුදා කලිසමක් හෝ උඩුකය ඇඳුමක් ඇඳසිටීම නිසා හමුදා ඇඳුම් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත ඉහත සාකච්ඡා කරන ලද වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකිය.එසේම යම් සිවිල් පුද්ගලයෙකු සම්පුර්ණ නිල ඇඳුමින් සැරසී හමුදා සෙබලෙකු බව ඇගවෙන ආකාරයෙන් කටයුතු කළ හොත් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ ඇත.දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
399.යමකු වෙනත් තැනැත්තෙකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තෙකු වෙනුවට තවත් තැනැත්තෙකු දැනුවත්ව පෙනී සිටුවමින්, හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නොව,අන් තැනැත්තෙක් ය යි නිරූපණය කරමින් රවටතොත් ,ඔහු “අනිකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කළ ලෙස” සලකනු ලැබේ.
මේ අනූව සිවිල් පුද්ගලයෙකු හමුදා නිලධාරියකු ලෙස පෙනී සිටීම මගින් අන් අයෙකු ලෙස පෙනී සිටීමේ අපරාධමය වරද සංස්ථාපනය වන අතර ඒ සදහා වසර 3 දක්වා සිරදඬුවම් හෝ දඩයකින් දඬුවම් කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 402 වගන්තියේ සදහන් වේ.
ලංකාවේ නීතිමය තත්වය අනූව සිවිල් පුද්ගලයකුට හමුදා නිල ඇඳුම් සන්තකයේ තබාගැනීම කළ නොහැකි නිසා තම ඥාතියෙකුගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ යුද්ධ හමුදා නිල ඇඳුමක් තබාගැනීමට නීතිමය බලයක් නොමැති හෙයින් එවැනි කටයුතුවලින් ඈත් වී සිටීම යෝග්‍ය ය.නමුත් යුද්ධ හමුදා නිල ඇදුම හා සමාන රෙදිවලින් මසන ලද විදේශයන්ගෙන් ගෙන්වන විලාසිතා සහිත “කැමා” ඇඳුම් ලෙස හඳුන්වන ඇඳුම් සන්තකයේ තබාගැනීම හෝ ඇදීම කිසිදු නීතියකින් තහනම් කොට නොමැත.
~ නීතීඥ සාරංග වාදසිංහ ~

READ:   ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්