Wednesday, April 15, 2026
Homeදේශීයසංගී­තය නොහ­ඳු­නන ගීත රසි­කයෝ

සංගී­තය නොහ­ඳු­නන ගීත රසි­කයෝ

අපේ රටේ සිටින්නේ කොදෙව් මානසිකත්වයෙන් යුතු ගීත රසිකයන් මිස සංගීත රසිකයන් නොවේය යන අදහස මීට පෙරද මා වරින් වර මතුකොට ඇත. ලෝකයේ වෙනත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලාංකිකයාගේ සංගීතඥානය නවතින්නේ ඉතා පහත් අඩියක බව අපේ ජ්‍යෙෂ්ඨතම සංගීතඥයකු මීට කලකට පෙර පැවසූ අයුරුද මගේ මතකයට නැගේ.

අද අප සිංහල සංගීතය යනුවෙන් හඳුනාගෙන සිටින්නේ ඉන්දියානු සංගීතය ආශ්‍රයෙන් නිර්මිත වූවකි. සිංහල සංගීතයේ මුල් සොයා සී. ද එස්. කුලතිලක හා මකුලොළුව වැනි විද්වතුන් කළ පර්යේෂණයන්හි ප්‍රතිඵල ඉතා සීමිත විය. සංගීතඥ රෝහණ බැද්දගේද නැවත වරක් එම කාර්යයට අත ගසා ඇති අතර ඔහු විසින් රචිත ග්‍රන්ථයක් ද ළඟදී ප්‍රකාශයට පත්වීමට නියමිතය. අපටම අනන්‍ය වූ ගායන ශෛලියක් තිබූ බවත් එය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයන්ට නොගැළපෙන බවත් ඔහු එහිදී පෙන්වා දීමට උත්සාහ කරයි.

සිංහලයා අතර අතීතයේ සිටම පැවතියේ කවි ගායනාය. ඉන් ඔබ්බට ගිය යමක් වූයේ නම් නැටුම් ශිල්පීන්ගේ ගායනාය. වර්තමාන සිංහල ගීත සාහිත්‍ය දෙස බලන කලද පෙනී යන්නේ ගේය පදවලට වඩා කාව්‍යමය නිර්මාණ බහුල බවය. සිංහල ගීතයේ සන්දර්භය සකස් වන්නේ ජන ගීය හා ජන කාව්‍යයට වඩා උත්තර භාරතීය සංගීතයට අනුවය. එම තනුවලට ගීත රචනා ලිවීමේදී රචකයෝ සිංහල ජන කවියේ ආභාෂය ද ලැබූහ.

සිංහල ගීතයේ ආරම්භය සොයා යන්නෙකුට සිංහල නම්වලට වඩා හමුවන්නේ අන්‍ය ජාතික සංගීතඥ හා ගායක ගායිකා නාමාවලියකි. මොහොමඩ් ගවුස්, අහමඩ් මොනිදීන්, ඒ. ආර්. එම්. ඉබ්‍රාහිම්, මොහිදින් බෙග්, ලතිෆ් බායි, ටී. එෆ්. ලතිෆ්, මොහොමඩ් සාලි, ලතා මංගේෂ්කාර්, විශ්වනාත් ලව්ජි, පාණ්ඩුරංගන් ආදීහු ඒ අතර වෙති. පසු කලෙක, රොක්සාමි, මුත්තුසාමි, හරූන් ලන්ත්‍රා, ඒ. ජේ. කරීම්, ස්ටැන්ලි ඕමාර් ආදීහු ද සිංහල සංගීතය රක්ෂණය කිරීමට එක්වූහ.

ගීත ගායනයට සිංහල තරුණියන් එක් වූ මුල් අවධියේ අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයාව රැක ගැනීමේ ව්‍යාපාරය සඳහා තේමා ගීතය ගායනා කළේ ද (ගයාව බේරා රක්ෂා කරව්) නෝනා සුවෙයිද, නමැති මුස්ලිම් ජාතික ගායිකාවකි. පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සහ මොහිදීන් බෙග් පවා ඉදිරියට පැමිණුනේ මොහොමඩ් ගවුස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙනි.

READ:   වෙසක් කූඩු හදන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන (PHOTO)

නූර්ති, නාඩගම් තුළින්ද ජනප්‍රිය ගීත රැසක් බිහි වුණි. නීතිඥ ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් ආදීන්ගේ නූර්ති නාටක නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් අතරින් වැඩි දෙනා කොළඹ වරායේ සහ ඒ අවට රැකියා කළ කම්කරු පංතියේ සාමාජිකයෝ වූහ. නාටකය බලා ආපසු යන ඔවුන් අත එහි ගීත ඇතුළත් කුඩා පොත් පිංචවල් ද විය.

නූර්තිය කොළඹට සීමා වුවත්, ගුවන් විදුලියේ හා චිත්‍රපටයේ සම්ප්‍රාප්තියත් සමඟම ගීතය (සින්දු) ඈත ගම් නියම්ගම් කරාද පැතිර යන්නට විය.

මේ ආකාරයෙන් ගී රස වින්දනය සමාජ ගත වූ නමුදු සංගීත රස වින්දනය දියුණු වූයේ නැත. එසේ වූවා නම් එය භාරතීය හෝ බටහිර ශාස්ත්‍රීය සංගීතය හැදෑරූ එසේත් නැතිනම් විදේශ රටවල උසස් අධ්‍යාපනය ලැබූ සුළු පිරිසකට සීමා විය.

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ ඇති තරම් ගීත නිෂ්පාදනය වූ නමුදු සංගීත රසාස්වාදනයට මුල්තැනක් දෙන සංධ්වනි, ඔපෙරා, මුද්‍රා නාටක, ගීත නාටක හෝ වෙනත් ශාස්ත්‍රීය වාදන ප්‍රසංග නිර්මාණය වූයේ නැත. ඒ සඳහා රසික පිරිසක් නොසිටීමද ඊට එක් හේතුවක් වන්නට ඇත.

සිංහල සංගීතයේ ගමන් මඟ නව මඟකට හරවාලමින් ශ්‍රී ලාංකීය සංගීත සංධ්වනි නිර්මාණය කිරීමට උත්සාහ ගත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. එහෙත් ඔහුට මෙරට විසූ ගීත ශ්‍රාවකයන්ගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත. විදෙස් රටවල සිංහල නාට්‍ය හා සංගීත ප්‍රසංග සංවිධානය කරන සිංහලයන් කිසිවකුට කේමදාසගේ සංගීත සංධ්වනියක් ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත. ඒ පිළිබඳව ප්‍රශ්න කෙරුණු තැනකදී මෙරට සිටින ප්‍රවීණ ගායකයකු හා සංගීතඥයකු පවසා තිබුණේ කේමදාසගේ සංගීතයේ අපේකමක් නොවීම ඊට බලපාන්නට ඇති බවය. මෙහිදී ඔහු අපේකම යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ ජනප්‍රිය සිංහල සංගීත ලක්ෂණ විය හැකිය. කේමදාසයන් මුලින්ම නිර්මාණය කළ මුහුද, වැස්ස, අවුරුද්ද සහ පසු කාලයක නිර්මාණය කළ ‘කිලර්’, ‘නිදිනැති නදියේ නාදය’ තුළින් සමකාලීන ජීවන පරිසරය (අපේකම) පිළිබිඹු කළේය. විශේෂයෙන්ම පසුව සඳහන් කළ නිර්මාණ තුළින් ඔහු සමාජ හා දේශපාලන පැවැත්ම ප්‍රශ්න කිරීමටත් උත්ප්‍රාසයටත් නැංවූයේය. ඒත් මෙම කිසිදු ප්‍රසංගයකට මෙරට සිටින ගීත ශ්‍රාවකයාගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඔවුන්ට ළංවූයේ කේමදාස නමැති චිත්‍රපට ගීත නිර්මාපකයා පමණි.

READ:   වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකීය රසික සමාජය සංගීත රසාස්වාදනය යනුවෙන් හඳුනාගෙන තිබෙන්නේ ගීත රසාස්වාදනයම පමණි. සමාජයේ ඉහළ ස්ථරයේ නිවසක පවා පැදුරු පාටියකට ඉඩ ඇති නමුත් පියානෝවට හෝ වයලීනයට එසේත් නැත්නම් සිතාරයට අවසර ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ඉතා විශිෂ්ට ගණයේ වාදකයන් මෙරටට පැමිණ සංගීත ප්‍රසංග පවත්වන අවස්ථා ඇත. එහෙත් ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා අල්පය. ලෝක පූජිත රවිශංකරයන් ලංකාවට පැමිණි අවස්ථාවේදී පවා ශාලාවන් පිරී ඉතිරී ගියේ නැත. එහෙත් යුරෝපීය රටවල රවිශංකර් ප්‍රසංග නැරඹීමට ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වූයේ ඔහු ළඟාවීමට දෙතුන් මසකටත් පෙරය.

ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග පවත්වන ශ්‍රී ලාංකික සංගීතඥයන් කීපදෙනකුම සිටියද, ඔවුන් පිළිබඳව මෙරට රසිකයෝ කිසිත් නොදනිති. අතිදක්ෂ පියානෝ වාදන ශිල්පිනියක වන ආචාර්ය ටානියා ඒකනායක හා මාලිනි ජයසිංහ එබඳු ශිල්පිනියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේම වාද්‍ය භාණ්ඩය පියානෝවයි. බටහිර සංගීතයේ නෑයෙකු වීමත් අධික මිලකින් යුක්තවීමත් පියානෝව මෙරටදී ධනපති පංතියට අයත් වුණි. බීතෝවන් හෝ මොසාට්ගේ ශ්‍රේෂ්ඨ සංගීත සංධ්වනි උපදින්නේ පියානෝවෙනි.

එහෙත් ඒ සම්භාව්‍ය සංගීතය අපට රස විඳිය නොහැක්කේ පියානෝවේ වරදකින් නම් නොවේ. සංගීතයට පංති භේදයක් නැත. පියානෝවේ ස්වර පුවරුව කළු, සුදු පැහැයෙන් යුතු වුවද ඉන් රසික සිත් තුළ සහසක් වර්ණා උපදවයි. සංගීතයට ඉඩ දෙන්න භාණ්ඩය අතුරු කාරණයක් පමණි. (Play the music, not the instrument)

ටානියා ඒකනායක

වයස අවුරුදු පහේ සිට පියාණෝ වාදනය ඇරඹූ ටානියා ඒකනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය හා වාග් විද්‍යාව හදාරා පසුව එහි ආචාර්යවරියක ලෙසද සේවය කළාය. 2010දී අමෙරිකාවේ කෙනඩි මධ්‍යස්ථානයේ පැවති “පියානිස්ට් ඔෆ් ද වර්ල්ඩ්” ප්‍රසංගයට සහභාගි වූ ටානියා එහිදී ශ්‍රී ලාංකීය ජන ගී හා වන්නම් ආශ්‍රිත ස්වීය නිර්මාණ තුනක්ද ඉදිරිපත් කළාය. ඇය තම පියාණෝ ස්වර තුළින් “ටිකිරි ටිකිරි – ටිකිරි ලියා” අපූර්ව සංගීත නිර්මාණයක් බවට පත්කරද්දී කෙනඩි මධ්‍යස්ථානයට රැස්ව සිටි රසිකයෝ විශ්මිතව නොසෙල්වී සවන්දී සිටියහ.

මාලනී ජයසිංහ පීරිස් ද කැනඩාව, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල පියාණෝ ප්‍රසංග පවත්වා ඇත. ලෝක ප්‍රකට හංගේරියානු ජාතික සංගීතඥ සොල්ටාන් කෝඩලයි ඉදිරියේ ඔහුගේම සංගීත රචනයක් වාදනය කිරීමේ භාග්‍ය මාලනියට හිමිවූවාය. එසේම ඊශ්‍රායලයේ පැවැති ප්‍රසංගයකදී මාලිනි පියාණෝ වයද්දී එය රස විඳියවුන් අතර එරට ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ පෝල් බෙන් හයිව් ද විය.

READ:   අනතුරකින් අවුරුදු 2හමාරක දරුවෙක් මියයයි

අවාසනාවකට මෙන් සිංහල ගීත රසිකයාට මෙරට බිහිවූ මෙබඳු විශිෂ්ට සංගීතඥයන් හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ නැත. අනෙක් අතට ගීත රසිකයින් පමණක් වන ඔවුනට ඒ සඳහා කිසිදු අවශ්‍යතාවක් ද නැත.

කපිල කුමාර කාලිංග

උපුටා ගැනීම දිනමිණ

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්