දේශීය

විජමු ගැන අගමැති කනගාටු වෙයි

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් කළ හැකි විශිෂ්ටම යුතුකම වන්නේ ඔහු ප්‍රාර්ථනා කළ දේශීය චින්තනය ඇතුළත් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ශෝක ප්‍රකාශය මෙසේය.

“ගරු කතානායකතුමනි,

මෙම උත්තරීතර පාර්ලිමේන්තුව සෝභාමත් කළ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව හා එක්වන්නේ ඉතාම සංවේගයෙන්.

1941 අගෝස්තු 05 වැනිදා උපත ලැබූ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා යහල බැද්ද විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා. එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙක්.

නීති විද්‍යාලයෙන් නීතිය හදාරණ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා දේශපාලනයට පිවිසෙන්නෙ අධිනීතිඥවරයකු ලෙසයි.

ගරු කතානායකතුමනි,

එදා එතුමා දේශපාලනයට පිවීසීමටත් පෙර සිට සිංහල භාෂාවට සංස්කෘතියට සහ ආගම දහමට ඉතාම ගැඹුරින් බැඳී සිටියා. එතුමාට ඒ ආභාෂය ලැබුණේ පාසල් කාලයේදීමයි.

අපි දන්නවා එතුමා තරුණ වියේ දී හෙළ හවුලේ සඟරාවලට ලිපි ලිව්වා. කුමාරතුංග මුණිදාස ශූරින්ගේ මග යමින් හෙළ භාෂා සාහිත්‍ය පෝෂණය කිරීමට විශාල මෙහෙවරක නිරත වුණා. වාද විවාදවල යෙදුණා. එවැනි වාද ඒ කාලේ රටේ ජාතික පුවත්පත්වලත් පළවුණා.

ඒ විතරක් නෙමෙයි වි.ජ.මු ලොකුබණ්ඩාරයන් අතින් ජාතියට දායද වූ විශිෂ්ට කෘතින් කිහිපයක්ම තිබෙනවා. සීගිරි ගී සිරි වැනි විචාරාත්මක රසාස්වාදයක් භාෂා හා සංස්කෘතික ප්‍රේමීන් අතර ඉතා ඉහළින් කතා බහට ලක්වුණා.

1977 හපුතලේ ආසනය ජය ගනිමින් එජාපයෙන් දේශපාලනයට පිවිසෙන වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා, දේශපාලඥයකු ලෙසත් සිය දේශීය ලැදියාව අත්නොහැරිය විශිෂ්ටයෙක්.

අමාත්‍යධූර තනතුරු වරදාන ලැබෙන විට කතානායකතුමනි ඇතමෙක් වෙනස් වෙනවා. එහෙත් වි.ජ.මු එහෙම වුණේ නැහැ.

වාද විවාදවල යෙදෙද්දි පවා තමන්ගෙ භාෂා සාහිත්‍ය දැනුම දේශපාලන වේදිකාවට ගෙන එන්න එතුමා සමත්වුණා. විරුද්ධ මතවාදින්ගෙ හිත් නොරිදා මතයක් ජනගත කිරීමේ සුවිශේෂි හැකියාවක් වි.ජ.මු ට තිබුණා. මේ නිසා ජනතාව ඉදිරියේ එතුමා දක්ෂ දේශකයෙක් විධියටත් ඇගයීමට ලක්වුණා.

ආණ්ඩුවේ දේශීය වෛද්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති වගේ ක්ෂේත්‍රයන් එදා භාරවුණේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාට. එතුමා ඒ සෑම අමාත්‍යංශයකින්ම මතක තියෙන දෙයක් රටට දායාද කරන්න සමත්වුණා.

මට මතකයි සිංහල හින්දු අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍රයට රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ චාරිත්‍රය ජනගත කරන්න එතුමා විශාල කාර්යය භාරයක් කළා.

ගරු කතානායකතුමනි,

පාර්ලිමේන්තුවේ කොළ කැඳ වීදුරුවෙන් පටන්ගෙන ඔසුපැන් ජනතාව අතරට ගෙනයන්න ආරම්භය තැබුවේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමායි. ඒ විතරක් නෙමෙයි දුරකතන ඇමතුමට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න පටන්ගත්තෙ එතුමාගේ මැදිහත්වීමෙන්.

මට මතකයි අපි ඇතැම් වෙලාවට විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගෙන් ඇතැම් වචනවල අර්ථය විමසනවා. ඒ වෙලාවට වචනයේ අර්ථය විතරක් නෙමෙයි ඊට අදාළ පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි වචනය පවා කියලා දෙන්න වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා සතුව විශාල දැනුමක් තිබුණා.

අලුත් පරම්පරාවට දේශීය සංස්කෘතිය ලබා දෙනවා පමණක් නෙමෙයි ඔවුන්ලවා දේශීයත්වය ආරක්ෂා කරගත යුතුයැයි එතුමා කල්පනා කළා.

ඒ නිසාම තමන්ට අමාත්‍යංශ වගකීම් පැවරුණු අවස්ථාවල ත්‍රිපිටක ධර්මය සිංහලට පරිවර්තනය කර නැවත මුද්‍රණය කරන්නත්, වීර චරිත පිළිබඳව ‘පූජිත ජීවිත’ ග්‍රන්ථය හඳුන්වා දෙන්නත්, සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවි පොත හා සකස් කඩය වැනි ග්‍රන්ථ නැවත මුද්‍රණය කිරීමටත් වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා මූලිකත්වය ගත්තා.

ගරු කතානායකතුමනි,

මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ 16වැනි කතානායකධූරය හෙබවීමට තරම් වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා වාසනාවන්ත වුණා. එදා විපක්ෂය නියෝජනය කළත් කතානායකධූරයට පත්වූ දා සිට එම ධූරයේ ගෞරවය වෙනුවෙන් එතුමා කටයුතු කළා.

ජාතික ඇඳුමේ ඇති වටිනාකම ගැන එතුමා මා සමඟ නිතර පවසා තිබෙනවා. දේශපාලඥයන් ජාතික ඇඳුම ඇඳිය යුතු බවත් ලොව හමුවේ ඉන් දේශීයත්වය පිළිඹිබු වෙන බවත් නිතර එතුමා කියු කරුණක්. එතුමාගේ හදවතේ තිබූ දේශීය චින්තනය අපගේ දේශපාලන ප්‍රතිපත්ති හා බැඳී තිබීම ගැන වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා සෑම විටම සතුටට පත්වුණා.

ඒ වෙනුවෙන් උපරිම සහයෝගයක් ලබා දුන්නා. ආණ්ඩුබලය නොමැති කාලය තුළ එතුමාගේ පුතා උදිත ලොකුබණ්ඩාර මැතිතුමා අපගේ දේශපාලන කටයුතු වෙනුවෙන් සහය ලබාදීමට යොමු කළා. ඒ විතරක් නෙමෙයි අවශ්‍ය සෑම අවස්ථාවකම අප පවුල සමඟ සමීපව කටයුතු කළා.

මේ පාර්ලිමේන්තුවේ අතීත මතකය ආවර්ජනය කරනවා නම් අද දවසත් මදි වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා ගැන ගුණ කතනය කරන්න. ඒ නිසා මම තව බොහෝ දෑ කියන්න යන්නෙ නැහැ.

දැන් අපට එතුමා වෙනුවෙන් කළ හැකි විශිෂ්ටම යුතුකම වන්නේ එතුමා ප්‍රාර්ථනා කළ දේශීය චින්තනය ඇතුළත් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමයි.

සාහිත්‍යකරුවකු, වියතෙකු හා දේශකයෙකු මෙන්ම වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා, මන්ත්‍රීවරයෙක්, අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් සහ කතානායකවරයෙක් ලෙස මේ රට වෙනුවෙන් කළ සේවය අති විශිෂ්ටයි.
එතුමාට නිවන් සුව අත්වේවා ! යැයි ප්‍රාර්ථනා කරන ගමන් එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් සියලුම පවුලේ සාමාජිකයන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට සහ ප්‍රදේශවාසීන් සැමට මාගේ බලවත් සංවේගය පුද කර සිටිනවා.”

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago