දේශීය

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත් කිරීම වහාම කඩිනම් කිරීමට කෝපා කමිටුවෙන් නිර්දේශ

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10) නිර්දේශ කළේය.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව ඊයේ (10) රැස්වූ අතර ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබද වූ කාර්යසාධන විගණන වාර්තාව සලකා බැලීම එහිදී සිදුවිය.

සැමට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ‘’මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව’’ කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2019 වසරේ ලැබී තිබුණද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය.රාජ්‍ය ආයතන 16 ක නියෝජිතයන්ගෙන් සහ එක් රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් මෙම ආයතනය වඩාත් විධිමත් සහ ශක්තිමත් නොවීම නිසා මාර්ග අනතුරු පිළිබද පර්යේෂණ කටයුතු මෙහෙයවීම ,මාර්ග අනතුරු වළක්වා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාර්ග ආරක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බව හෙළි විය.ඒඅනුව කොමිෂන් සභාව කඩිනමින් ස්ථාපිතකොට සේවකයන් බදවාගෙන ආයතනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6-8 අතර ප්‍රමාණයක් මිය යන බවත් 2007 සිට 2016 දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607ක් මියගොස් ඇති බවත් මෙවැනි පසුබිමක මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ජාතික කර්තව්‍යක් සේ සලකා අදාළ සියලු පාර්ශවයන් සිය වගකීම ඉටුකිරීමේ වැදගත්කම මෙහිදී කමිටුව අවධාරණය කරන ලදී

මාර්ග අනතුරු අවම කිරීම සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සාමාජිකයන් වන ,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව , මාර්ග සංවර්ධන අධිකාරිය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකට මීට පෙරද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් මාර්ග අනතුරු අවම කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක වී නොතිබීම පිළිබද කාරක සභාවේ අවධානය යොමුවූ අතර ඒ සෑම ආයතනයකටම අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවතින බාධා මොනවාද යන්න මාසයක් තුළ දැනුම් දීමට පියවර ගන්නා ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය.

දැනට ලංකාවේ අතිවිශාල වශයෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇති බව මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන ලදී. සැබෑ රියදුරු බලපත්‍රවලට 100% සමාන අයුරින් සකසන මෙම ව්‍යාජ රියදුරු බලපත්‍ර හදුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් හෝ මෙවලමක් මේවන තෙක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දෙන ලදී. විශාල වියදමක් දරා සංගෘහිත පරිපථයක් (චිප් එකක්) අන්තර්ගත කොට නව රියදුරු බලපත්‍ර‍ නිකුත් කළද ඉන් මේවන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොලැබීම කණගාටුවට කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කොළඹ අධිකරණවල පමණක් රියැදුරන් නැවත ලබා නොගත් රියදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් එයට හේතුව රියැදුරන් දඩමුදල් ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීම වෙනුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර භාවිතා කිරීම බව තෙන්නකෝන් මහතා පැවසීය.එබැවින් මෙවැනි ගැටලු නැවැත්වීම සදහා ශ්‍රී ලංකා පොලිසිය ,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර පරිගණක මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

තවද මෙම සබදතාව ඇති කොට රියදුරු අකුසලතා ක්‍රමය සහ දඩ මුදල් පරිගණක මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගෙවීමට හැකියාව ලැබෙන ක්‍රියාවලිය ස්ථාපිත කිරීම මේවන විට වසර ගණනක් පමාවීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට මේවන විට මේ සදහා ගෙන ඇති පියවරවල ප්‍රගතිය සහ ස්ථාපිත කිරීමට ගතවන කාලය පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව උපදෙස් ලබාදෙන ලදී.

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

20 mins ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago