දේශීය

අනුකම්පා රාජ්‍යයක කතා වස්තුව – රසික ජයකොඩි

මහාචාර්ය සිරි හෙට්ටිගේ ගේ මීට වසර කිහිපයකට පෙර ලියූ පුවත්පත් ලිපියක ශ්‍රී ලංකාවේ ජනතාවගේ බුද්ධි සඵලතා මට්ටම (IQ) ගැන වැදගත් අනාවරණයක් කර තිබුණා.

එයින් කියැවුණේ ජාත්‍යන්තර දර්ශකවලට අනුව ලංකාවේ ජනතාවගේ සමස්ත බුද්ධි සඵලතා (IQ) මට්ටම 79ක් බවයි. ඒ අනුව ලංකාව බුද්ධි සඵලතාව අතින් ලෝකයේ පහළින් ම ඉන්න රටවල් වලින් එකක්.

මෙයින් ඉහළ ම ප්‍රතිඵල ලබා ගත් සිංගප්පූරුවේ සහ හොංකොං රාජ්‍යයේ IQ මට්ටම 108යි. දකුණු කොරියාවේ එය 106ක් ලෙසත් ජපානයේ 105ක් ලෙසත් වාර්තා වුණා. බොහෝ යුරෝපා රටවල එම අගය තිබුණේ 100ට ඉහළින්. ආසියාවෙන් ම බුද්ධි මට්ටම අතින් ලංකාවට පහළින් තිබුණේ නේපාලය විතරයි. ලෝකයේ අඩු ම බුද්ධි සඵලතාව තිබෙන රට වුණු මධ්‍යම අප්‍රිකාවේ ගිනියා රාජ්‍යයේ එම අගය සටහන් වුණේ 59ක් ලෙසයි.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ බුද්ධි සඵලතාව සැළැකෙන්නේ 100ක් විදියටයි. සාමාන්‍යයෙන් බොහෝ මිනිසුන් ගේ එය 85 සහ 115 අතර කලාපයේ විහිදෙනවා. වචන 2000ක් පමණ තේරුම් ගත හැකි ධාරිතාවක් තිබෙන ගෝරිල්ලෙකුගේ බුද්ධි සඵලතාව 75ත් 95ත් අතර කලාපයේ පවතින බව කියැවෙනවා. ඒ අනුව රටක් විදියට අප ඉන්නේ කොතන ද කියන එක තේරුම් ගැනීම අපහසු නැහැ.

ලංකාවේ මේ අවම බුද්ධි සඵලතාවට ප්‍රධාන ම හේතුව වන්නේ ලංකාවේ අධ්‍යාපනය හා බැඳුණු සමාජ-ආර්ථික සාධක. ඒ කියන්නේ මේ සියල්ල ම ස්වභාවයෙන් උරුම වූ දෙයක් නොව අවුරුදු 72ක කාලයක් තුළ අප විසින් ම නිර්මාණය කරගත් දෙයක් බවයි. අප මේ බුක්ති විඳිමින් සිටින්නේ ඒ වපුරපු දේවල්වල ප්‍රතිඵලයි. එහි ශේෂය වන්නේ වානර කුලකයේ සතුන්ට සමාන සාමාන්‍ය බුද්ධි සඵලතාවක් තියන රටක වැසියන් විදියට ඔබට සහ මට ජීවත් වෙන්නට ලැබීමයි.

ලෝකයේ හැම රටක් ම වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ කොරෝනා මර්දන එන්නත් තම රටට ලබා ගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරද්දී මේ රටේ කැබිනට් ඇමතිවරු මතුරපු පැන් කළ ගංගාවලට වීසි කරනවා.

ලෝකේ අනෙක් හැම රටක් ම කුමක් හෝ විද්යාත්මක පදනමක ඉඳලා කොරෝනා ප්‍රශ්නයෙන් ගැලවෙන්න පිළියම් හොයද්දී මේ රටේ සෞඛ්‍ය ඇමතිනිය කෑගල්ල පැත්තේ මේසන් බාස් කෙනෙකුත් වෙන කට්ටඩියෙක් දේවාරූඪයෙන් හැදුවාය කියන පෙරදිග හෝ අපරදිග කිසිම විද්‍යාත්මක පදනමකින් තොර පැණියක් කැමරා ඉදිරිපිට ම බොනවා.

ඒ දේවාරූඪය ලද කට්ටඩියාව රූපවාහිනී නාලිකා, යූටියුබ් චැනල්වල ගෙන්වලා ප්‍රශ්න අහනවා. ලක්ෂ ගණනින් මිනිස්සු ඒ කියන සම්ප්‍රප්පලාප අහනවා. ඒවා විශ්වාස කරනවා. සමාජ මාධ්‍යවල ඉන්න විවිධාකාරයේ පණ්ඩිතයන් ඒ කියන පුහු කතා සාධාරණීකරණය කරන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරනවා. මේ හැම දෙයක් එක්ක ම බුද්ධිමය වශයෙන් නිර්වින්දනය වෙච්ච සමාජයක් බිහි වෙනවා.

මේ රට දැවැන්ත වසංගත අනතුරක් තියන වෙලාවක දහස් ගණනක් මිනිස්සු නිරෝධායන නීති නොතකා අර මේසන් බාස්ගේ ගෙදර ඉස්සරහා කොරෝනා පැණිය ඉල්ලලා පොරකනවා. නීති ක්‍රියාත්මක කරන්න ඉන්න පොලීසිය බලාගෙන ඉන්නවා. දවසකට හත් අට සියයකට කොරෝනා ආසාදනය වෙනවා කියලා මාධ්‍ය රෑට වාර්තා කරනවා. එදා දවසේ මැරුණ අයගේ විස්තර පළ කරනවා. ඒ හැම දෙයක් ම අහන දකින අපි දේවාරූඪයෙන් හදපු කොරෝනා පැණිය බීලා මේ රටේ මිනිස්සු වසංගතයෙන් ගැලවෙයි කියලා හිත හදාගෙන රෑට නිදියගන්නවා. කෝටි 800ක් විතර මිනිස්සුන්ගෙ බදු මුදල් ම වියදම් කරලා මැතිවරණයක් තියලා බලයට ආපු ආණ්ඩුව මේ කිසි දෙයක් ගැන වගේ වගක් නැතුව දිනපතා එක එක සංදර්ශන කරලා දවස ගෙවනවා. ඒවා ප්‍රශ්න කරන මිනිස්සු දඩයම් කරනවා.

මේවා ගැන ප්‍රශ්න කරන, තර්ක කරන, මතවාද හදන මිනිස්සු මිනිස්සු දවසින් දවස නිහඬ වෙද්දි සමහර විට දේවාරූඪයෙන් පැණිය හදපු කට්ටඩියා චන්දෙ ඉල්ලලා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ‍යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම රටකට ඇත්තට ම ලැබිය යුත්තේ අන් හැම දේකට ම වඩා දෙවියන් ගේ අනුකම්පාව ම තමයි.

– රසික ජයකොඩි 08-12-2020

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

22 hours ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

22 hours ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

22 hours ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

4 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

4 days ago