විශේෂාංග

මොකද්ද මේ Taxidermy? අපිට බැයිද?

ටැක්සිඩර්මි චර්මශිල්පය එහෙමත් නැත්නම් පොදු ව්‍යවහාරයේ සඳහන් වෙන්නේ පුලුන් පුරවනව කියන එක. මට මේක ගැන ලියන්න හිතුනේ ඊයෙ පෙරේදා ලංකාවෙ අවාසනාවකට මිය ගිය කළු දිවියාගේ සම සං‍රක්ශණය කරල තියන හැටි ගැන බොහෝ දෙනා අදහස් පල කරල තිබීම නිසා. ඇත්තටම ඒ නිදර්ශකය හරිම සවුත්තු පාටක් බව තමා ජායාරූප වලින් පෙනෙන්නට තියෙන්නෙ. ඉතින් ඇයි එහෙම උනේ කියන එකට හේතු ලංකාවෙ සිස්ටම් එකේ විදිය කියල ශේප් වෙනව මිසක් මං හිතන්නේ නෑ මට සදාචාරාත්මක අයිතියක් තියනව කියලා ඒ ශිල්පියෝ විවේචනය කරන්න. හැබැයි ඒ වගේ දුර්ලභ සතෙක් ඉදිරි පරම්පරාවට බලාගන්න සම සං‍රක්ශණය කරද්දී මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව නම් මං තරයේ විශ්වාස කරනව.
.


මගේ ටැක්සිඩර්මි අත්දැකීම් ආරම්භ වෙන්නේ මං රජරට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පස්සෙ. පලවෙනි වසර විශයක් වශයෙන් laboratory techniques කියල ක්‍රෙඩිට් දෙකේ සබ්ජෙක්ට් එකක් තිබුනා. Mahinda Samarakoon මහතා විසින් ඒ විශය උගන්වනු ලැබුව එක මට හරිම විනෝදජනක විශයක් උනා. Bio lab එකේ හිටපු technical officers ල තුන්දෙනාගෙන් Mr. Nilantha (අපි කියන්නෙ නිලන්ත අයියා) තමා දක්ශයා. මං හිතන්නෙ දැනට ලංකාවෙ විශ්වවිද්‍යාලවල සේවය කරන තාක්ෂණික ශිල්පීන්ගෙන් taxidermy කියන විශය ඉගෙනගත්ත අය ඉන්නෙ කීපදෙනයි. නිලන්‍ත අයියා එක්කෙනෙක්. රජරට විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක්ට බලාගන්න පුලුවන් ඔවුන්ගේ වැඩ. අපි කැම්පස් එකට එන්න කලින් මෙයාල හදපු ඈයෙක් (Pangolin) කෙනෙක්, වවුලෙක්ගේ සැකිල්ලක්, ඒ වගෙම පෙන්ගුයින් කෙනෙක්කුත් එහෙම රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විද්‍යාගාරයේ බලාගන්න පුලුවන්. කොහොමහරි මේ lab tech වලට තිබ්බෙ මට B එකක්. හේතුව තලගොයෙක්. මගෙ ජීවිතේ ඉස්සෙල්ලම taxidermy කරන්න හම්බුනේ තලගොයෙක්. තලගොයාගෙ හම ලිස්සනව. කැපුම් දාන්න අමාරුයි කොරපොතු හන්දා. ඉතින් අන්තිමට මගෙ තලගොයාගෙ හම තැන් තැන්වලින් ඉරිලා පැච් දාල තමා ලකුණු දාන්න භාර දුන්නෙ. ක්ලේමෝ එකක් වැදුන තලගොයි ටැක්සිඩර්මි specimen එකකට B එකත් වැඩී. හැබැයි පස්සෙ මටත් මගෙ බැජ් එකේ සෙට් එකකටත් හොඳ චාන්ස් එකක් සෙට් උනා. දවසක් ලයිට් ගිහින් ෆ්‍රිජ්වල තිබුන සත්තු ඔක්කොම දියවෙන්න ගත්තා. නිලන්ත අයියත් Lab technician Mr. Senevirathne ත් ලැබ් එකේ ඉඳපු තවත් කාර්මික ශිල්පියෙක් උන Mr. Kiribandaත් එකතු වෙලා තීරණය කලා වටිනා සත්තු කීපදෙනෙක් taxidermy කරන්න. එහෙම තමා පොඩි බලල් දිවියෙක්, උලමෙක්, උරුලෑවෙක්, බකමූණෙක්, සිළුසරපකුස්සෙක් lab එකට ආවෙ. අපිට ඒ අතරේ දවසක පාරෙ වාහනේක හැපුන දියබල්ලෙක් හම්බුනා. මගේ පෙරැත්තට සෙනසුරාදා දවසක අපි ඒ දියබල්ල හමගැහුවා. එදාම අපිට මිහින්තලේ ගමේ කෙනෙක් හක්ක පටස් එකක් කාපු කිඹුලෙක් ගෙනත් දුන්න. ඌවනම් ගොඩගන්න විදියක් තිබුනේ නෑ. ඩැමේජ්. පස්සෙ කිඹුලා වලදැම්ම ඇටකටු ටික ගන්න කියලා. මං හිතන්නේ ඇටකටු ටික තාම ලැබ් එකේ.. පස්සෙ කාලෙක නම් කිඹුලෙකුත් නිලන්ත අයියා හැදුව කියලා ආරංචී. ඔහොම සෑහෙන්න අපි මේ කලාව එක්ක සම්බන්ධ උනා. අන්තිමට කැම්පස් අවුට් වෙලා demonstrator කෙනෙක් විදියට ඉන්න කාලෙ මං ආසාවෙන් බාරගත්තා lab techniques කරන්න. මගෙ studentsලනම් එච්චර කැමති නෑ වැඩේට. එකක් මං පන්න පන්න වැඩ දුන්න හින්දා. අනෙක bio කරල ගෑනු ලමයි සමහරක් වගෙම පිරිමි ලමයිනුත් මේ ලේ කුණු වැකුණ වැඩේට වැඩි පෙරත්තයක් දැක්කුවෙ නෑ. ඒත් අපි සෑහෙන නිදර්ශක ටිකක් හැදුවා. බලන්න පුලුවන් පහලින් තියනව Chamari CoswatteKrishantha Sameera de Zoysa, Jeewa Rathnaweera, Ilesha Sandu Ileperuma Arachchi සහ මං හදපු මේ අනුරූ. අපිට ඔහොම හදන්න හැකියාව තියනවනම් රජයේ ප්‍රතිපාදන සහිතව අර කලු දිවියාගේ සම හරිහමං විදියට ආරක්ශා කරගන්න හදන්න බැරි උන එක ගැන මට තියනව ගැටලුවක්. ඒක ඔයිට වඩා හොඳට හදන්න තිබුනා. මේකෙන් මං ඉගෙනගත්ත පාඩම තමයි මේ වගේ කලාවක් ඉගෙනගෙන ඉහලට ගෙනියන්න විශ්වවිද්‍යාල තුලින් රුකුලක් දෙනවනම් ඒක ඉතාම වැදගත්. අපි බොහෝවිට කතාකරන්නේ පිටරට කෞතුකාගාරවල තියෙන නිදර්ශක ගැන. සුද්දගේ හැකියාව ගැන. අධි තාක්ශණික උපකරණ භාවිතයෙන් සකසන අනුරූ ගැන. ඒත් මං කියන්නේ ලංකාවෙ අපිට සම්පත් තියෙනව. අපිට දක්ශයෝ ඉන්නව. රාජ්‍ය සේවය තුලම හැකියා පරිපූර්ණ මිනිස්සු ඉන්නව. ඒ මානවසම්පත් නිසියාකාරයෙන් භාවිත කරනවනම් ඉතාම දුර්ලභ සත්ව නිදර්ශක අනාගත පරම්පරාවට අධ්‍යයනයට සංරක්ශණය කරන්න පුලුවන් මීට වඩා හොඳට. ලාංකීය විද්‍යාවේ උන්නතියට අපිට අමුතුවෙන් දෙයක් අවශ්‍ය නෑ. සුදුසු හැකියා පූර්ණ මිනිස්සුන්ට ඒ ඒ ක්ශේත්‍රයේ වැඩ කරගෙන යන්න පහසුකම් සහ අවස්ථාව ලබා දුන්නානම් වටිනව.

Fredericton, New Brunswick.
Mr. Kiribanda. කිරිබණ්ඩා අංකල්. ඕන දේකට ඕන වෙලාවක සප් එක

.මං මේ ලිපියෙන් අදහස් කරන්නේ චර්මවේදය එහෙමත් නැත්නම් ටැක්සිඩර්මි/පුලුන් පිරවීම ගැන පොඩි අවබෝධයක් මගේ අත්දැකීම් එක්ක කියන්න. ඒක මගෙ දැන් හදාරන විශයෙන් වෙනස් උනත් මගෙ පොඩිවට තියන හැකියාවක් සහ මං ආස කරන කලාවක්.
.මොකද්ද මේ ටැක්සිඩර්මි? චර්ම ශිල්පයේ නම හැදෙන්න ග්‍රීක වචන දෙකක් එකතු වෙලා. ටැක්සිස් කියන්නෙ පිලියෙල කරනව කියන එක. ඩර්මා කියන්නෙ සම. අපි සමේ රෝග වෛද්‍යවරෙයෙකුට කියන්නෙ ඩර්මටොලොජිස්ට් කියලා. ඒ වගේ සතුන් හම ගහල පිලියෙල කරන කෙනෙක්ට කියන්නෙ ටැක්සිඩර්මිස්ට් කියලා. මේක ආරම්භ වෙන්නෙ කලාවක් විදියට. බොහෝවිට සිදුවන්නේ සතෙකුගේ චර්මය කල්තබාගත හැකි ලෙස වියලා හෝ රසායන ද්‍රවය ගල්වා අභ්‍යන්තර කුණු විය හැකි මස් අයින් කොට ජීවී සතෙකුගේ විදියට තැනූ අනුරුවක එහෙමත් නැතිනම් ඩමියක ඇන්දවීම. සමහරු හම තුලට පුලුන් පුරවන නිසා මේ කලාවට පුලුන් පුරවනව කියලත් කියනව. සාමාන්‍යයෙන් ඕනෑම සතෙක් මේ කලාවට අනුව සං‍රක්ශණය කරන්න පුලුවන්. විශාල පෘ ශ්ඨවංශිකයන් වන ක්ශීරපායීන්, කුරුල්ලන්, මාලුවන්, සර්පයන් ආදී සතුන්ද කුඩා කි විශේශද සං‍රක්ශණය කරන්නට මේ කලාව තුල හැකියාව තියනව. ඔබලාට මතක ඇති සමහර ගෙවල්වල බිත්තිවල මුව ගෝන ආදී සතුන්ගේ අං සහිත සං‍රක්ශිත හිස් එල්ලා තියනව. ඒ අපේ පැරැන්නෝ ඔවුන් දඩයම් කරන ලද සතුන්ගේ හිස් සං‍රක්ශනය කර සිහිවටන ලෙස තමාගැනීමට කැමැත්තක් දැක්වූ නිසා ඔවුන් ඒ හිස් ආරක්ශා කර තබා තිබුනා. ඒ විතරක් නෙවෙයි ඕනෑම කෞතුකාගාරය ටැක්සිඩර්මි කරන ලද සත්ව නිදර්ශක බලාගන්න පුලුවන්. හේතුව සතුන්ගේ ජිව විලාසය කාලයක් පවතින ලෙස සං‍රක්ශණය කරන්න මෙ කලාව ඉතාම ප්‍රයෝජනවත්. බොහෝවිට කෙරෙන්නේ සත්වයාගේ ජීව ප්‍රමාණයටම හදන අනුරුවකට සතාගේ සම ඇන්දවීමයි. කලාතුරකින් ප්‍රමාණයට වඩා කුඩා අනුරූ දක්නට ලැබෙනව. එහෙත් සමේ ප්‍රමාණයට ඩමිය විශාල හෝ කුඩා වුවහොත් ප්‍රතිපලය වන්නේ එක්කෝ ඇදී ගිය නැතිනම් විති උන නිදර්ශකයක්. සාමාන්‍යයෙන් ටැක්සිඩර්මි කියන කලාව භාවිතා කරන්නන් වන්නේ ඉහතින් සඳහන් කලා වගෙම කෞතුකාගාරවල සේවය කරන තාක්ශණික නිලධාරීන්, දඩයම් කරුවෝ , පරිසරවේදීන් සහ විනෝදාංශයක් ලෙස සතුන්ගේ අනුරූ අඹන අය. මේ කලාවට ජීවීන්ගේ කායික විද්‍යාව පිලිබඳ තරමක දැනුමක් අවශ්‍යයයි ඒ වගේම පිළිම ඇඹීමේ හැකියාවක්, පාට කිරීම වගේ කලාවට බර හැකියා තිබීමත් අවශ්‍ය වෙනව. එහෙම නැතිනම් සතෙක් හමගහලා ඩමියකට ඇන්දුවා කියලා ඒක නියම අනුරුවක් වෙන්නේ නෑ.

Mahinda Samarakoon in Fredericton, New Brunswick.

අද වෙද්දි ටැක්සිඩර්මි කියන කලාව ලෝක ප්‍රචලිත වගේම ඉතාම ඉහල ආදායම් ලබන වෘත්තීයක් බවට පත්වෙලා තියනව. අද බොහෝවිට වෙන්නේ පැරණි වික්ටෝරියා යුගයේ කලා වගේ සම ගලවා වියලා තැබීම පමණක් නොවේ. සතුන්ගේ විවිධ චර්‍යා රටා දක්වන සේ සාදන ලද අනුරූවලට සංරක්ශිත සම ඇන්දවීම සිදුකෙරෙනව. කම්බි සැකිල්ලක් ආධාරයෙන් ශරීරයේ හැඩ සකසන අතර ඇස් වැනි සියුම් මෘදු සංරක්ෂණය කිරීමට අපහසු ස්ථානවලට කෘතීම ප්ලාස්ටික් කොටස් එකතු කිරීමද සිදුවෙනව. අපි අද ලෝකයේ දකින කෞතුකාගාර නිදර්ශන බොහෝමයක් සකසා තිබෙන්නේ ඔය කියන mixed media sculpture ක්‍රමය යටතට ගැනෙන taxidermy ක්‍රමයෙන්. නමුත් විද්‍යාත්මක පර්‍යේශකයො තවමත් ප්‍රිය කරන්නේ හැකිතාක් දුරට සතාගේ සවභාවික ස්වරූපය විකෘති කිරීම් වලින් තොරව සත්වයා විවේකීව (relaxed pose) සිටින ආකාරයට සැකසීමයි. හේතුව ඔබ දැක ඇති සමහර කෞතුකාගාර වල සතුන් පොරබදන ආකාර වගේම විවිධාකාර අස්වාභාවික හැසිරීම් රටා දක්වන ආකාරයට සතුන්ගේ සම් ප්‍රතිසංස්කරණය කරල තියනව. එවැනි නිදර්ශක වලින් පසුකාලීනව සතෙකුගේ සමේ නියම ස්වරූපය වගෙම හැඩතල අධ්‍යාපනය කිරීම අපහසු වෙන නිසා බොහෝ සත්ව විද්‍යාඥයෝ ප්‍රිය කරන්නේ සරල taxidermy methods මිසක් සංකීර්ණ mixed media art එකක් නෙවේ.
.

නිලන්ත අයියා කියන්නෙ මෙයාට.
උලමා බලාගන්න
පලමු වසර ලමයි හදපු රිලවෙක්ගේ සමක් සං‍රක්ශණය කරපු එකක්. කරන්ට් වැදුන රිලවෙක්. ශරීරය සෑහෙන්න ඩැමේජ් වෙල තිබ්බෙ, ඔහොමවත් ගියා මදැයි

ඉතින් කොහොමද මේ සතුන් පුලුන් පුරවලා හදන්නේ? අද ලෝකයේ taxidermy අතිශයින් ජනප්‍රිය නිසා විවිධාකාර ක්‍රම දියුණු වෙලා තියනව.
සරලම එක තමා සාමාන්‍ය skin-mount එක. එහිදී මුලින්ම කරන්නේ සතාගේ දිග පලල සියලුම මිනුම් ලබාගැනීම. පසුවට අර මුලින් සදහන් කල ඩමිය හදාගන්න එහෙම ඒ මිනුම් ඉතාම ප්‍රයෝජනවත්. පසුව කරන්නේ ඉතාම සූක්ශමව මියගිය සතාගේ සම ඉවත් කිරීම. මං මේකට කියන්නෙ කෝට් එක අයින් කරනව කියලා. විශාල සතුන්ගේ නම් අපිචර්මයට යටින් තියන තෙල් තට්ටුව නිසා සම scalpel එකක් භාවිත කරලා ඉක්මනට ගලවගන්න පුලුවන්. සෑහෙන අමාරු වෙන්නේ හිස කොටස සහ කුර සහ නිය තිබෙන සතුන්ගේ පාද. වලිගය නම් මුල් කොටස ඉතා පහසු වන අතර අග පුදුම වදයක් දෙනව. ඉවසීම තිබෙනවනම් සම ඉවත් කිරීම අපහසු නෑ. ඒ වගෙම ඔබ හිතනව ඇති සම අයින් කිරීමේදී දේහ කුහරය විවෘත වීමෙන් දැඩි ලේ ප්‍රමාණයක් එලියට එනව ඇති කියලා. කොහෙත්ම නෑ. මගේ අත්දැකීමක් අනුව හොඳටම කුණු වී තිබුන සතෙක් පවා කුණුවී ඇති අභ්‍යන්තර කොටස් රාශියක් එලියට නොඇද සම ගලවාගත් අවස්තා තිබුනා. සම ගලවාගත් පසු සිදුවන්නේ එය වියලීම සහ කල්තබාගැනීමට රසායන ද්‍රවය යෙදීම. මං ඒ සම්පූර්ණ ක්‍රමවේදයම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හේතුව විවිධ සම් වර්ගවලට විවිධ රසායන ද්‍රව්‍ය තිබෙනව. මං පෞද්ගලිකවම ආස කුඩා කුරුල්ලන් සංරක්ෂණය කරන්න. ලොකු දෙයක් කරන්න නෑ. මස් ගොඩක් නෑ. බෝරෙක්ස් පව්ඩර් ටිකක් සහ කුඩා ෆෝමලින් බිංදු කීපයක් පාවිච්චි කරල සම සහ පිහාටු හොඳින් කල්තබාගන්න සකස් කරන්න පුලුවන්. අනික කුරුල්ලන්ගේ හම ගලවන්න ලේසී. මටනම් සර්පයෝ අමාරුයි. උරගයෝ ඔක්කොගෙම හම ටිකක් ගලවන්න අමාරුයි අර තෙල් තට්ටුව නැති හන්දා..

සම ඉවත් කර සකසාගත් පසු අපි සාමාන්‍යයෙන් කරන්නේ අර ඩමිය සකසා ගන්න එක. වයර් කෑලි, කම්බි වලින් සතාගේ සැකිල්ල නිර්මාණය කරගන්න පුලුවන්. ඊට පස්සෙ plaster of paris පාවිච්චි කරලා සතාගෙ mannequin එකක් අපිටම හදාගන්න පුලුවන්. සම ඒක උඩින් එලලා කැපුම් දාර නොපෙනෙන්න වහන එක තමා taxidermist ගේ දක්ශතාවය. මේක දවසින් කරන්න පුලුවන් කර්තව්‍යයක් නෙවේ. සමහර specimen මාස ගනන් කල් යනව. සමහර මලකුණු ශීතකරල පසුව සකසන්න ඕනෙ. ඒ වගේ බොහෝමයක් මෙතන විස්තර කරන්නට දිග කරුණු තියනව මේ කලාව තුල. සකසාගත් දේහයේ මෘදු කොටස් කඩාහැලෙන්නට නොදී තබාගැනීමට කම්බි සහ POP යොදාගන්නව. ඇස්වලට ප්ලාස්ටික් ඇස් නම් වෙලඳපොලේ මිලදී ගන්න තියනව. මං කලිනුත් සඳහන් කරන්න ඇති සතාගේ දේහ කුහරය වෙනුවට POP යොදාගන්න පුලුවන්. ඒ නැතුව පුලුන් පුර්වන්න පුලුවන්. අපි දවසක් පොලඟෙක් preserve කලා වැලි සහ මැටි මිශ්‍රණයක් යොදාගෙන. මාලුවෙක් preserve කලා වැලි පමණක් යොදාගෙන. කලාව දන්න කෙනෙක්ට සාමාන්‍ය Skin mount එකක් කරන්න අමාරු නෑ. ඔය කලු දිවියට වඩා හොඳ එකක් ගෙදරදි හදාගන්න පුලුවන්.
.

මේ ක්‍රමයට තමා ලංකාවෙ බොහෝමයක් සතුන් නිදර්ශක ලෙස සකසන්නෙ. මීට අමතරව ලෝකයේ තවත් විවිධාකාර දියුණු ක්‍රම භාවිතා වෙනව. උදාහරණයක් විදියට අධිශීතකරණය. සමහර සතුන්, විශේශයෙන් සර්පයන් වගේ සතුන්ගේ ශරීරය නම්‍යශීලීබවින් වැඩි නිසා ඔවුන් පහරදීමට සූදානම් වන අවස්ථා වගේ ශරීරයේ කඳකොටස් ඉහලට ඔසවා තබා සිටින සේ නිදර්ශක සෑදීමට මේ අධිශීතකරණය භාවිත වෙනව. අභ්‍යන්තර කොටස් ඉවත් කර අවශ්‍ය pose එකට සතා සකස් කර අධි පීඩන සහ අධිශීත කුටීරයක් තුල සතාගේ ශරීරය වියලීම සිදුකරනවා. මේ ක්‍රමය බොහෝ කෞතුකාගාර වල ජනප්‍රිය ක්‍රමයක් වන්නේ සතුන් විවිධාකාර චර්‍යා රටා පෙන්වන ආකාරයට සකස් කිරීමට හැකි වීමත් ඔවුන්ගේ පේශි ක්‍රියාත්මක වන අයුරි ඉතා නිවැරදිව ප්‍රදර්ශනය කිරීමට මේ ක්‍රමයෙන් හැකි වීමත් නිසා. ලංකාවේ මේ ක්‍රමය භාවිතාවන බවක් නම් මං අහලා නෑ. මීට අමතරව පුරාවිද්‍යාත්මක පර්‍යේශකයො ඔවුන්ට කැණීම්වලින් හමුවන ලොම්, සත්ව කොටස් හා අස්ථි කැබලි භාවිත කරලා සතුන් ප්‍රතිනිර්මාණය කරනව. සාමාන්‍ය ටැක්සිඩර්මි එකත් එක්ක මේ ක්‍රමයේ වෙනස තමා අපිට සතාගේ සම්පූර්ණ සම නොමැති වීම. බොහෝවිට වන්නේ සකසාගත් ඩමියක සත්ව කොටස් අලවා සකස් කිරීමක්. එයින් ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් ඇති සතුන්ගේ හැඩ ප්‍රතිනිර්මාණය කරගන්න පුලුවන්. ටැක්සිඩර්මි වටින්නේ අපිට ඒ හරහා අතීතයට එබිකම් කරන්න හැකියාව ලැබෙන හන්දා..
අවසාන වශයෙන් මේ නිදර්ශන වටින්නේ අද නෙවේ. ලස්සනට සෙල්ෆි ගහන්න විතරක් නෙවේ. අනාගතයේ මේ සිදුවෙන පාරිසරික විනාශයෙන් වඳවී යන හෑම සත්ව පුරුකක්ම අපිට නැවත අධ්‍යයනය කිරීමට හෝ අවශ්‍ය නම් ඔවුන් නැවත ජනනය කිරීමට ජීව බැංකු ලෙස තබාගැනීමටයි. ඉතින් බලධාරීන්ට කියන්නට තියෙන්නෙත් දෙයක් කරන විට මීට වඩා බැරෑරුම් ලෙස සලකා කාර්‍යයය හරියට කරන්න කියල තමා. නැතිනම් අපි අනාගත පරම්පරාවට පුලුම් පුරවපු ටෙඩියන් ටිකක් මිසක් වැදගත් දෙයක් ඉතිරි කරන්නේ නම් නැතිවෙයි..

.
කෞශල්‍ය . 08/22/2020

Manoj Kaushalya Rathnayake

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

5 days ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 week ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

3 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago