බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සකස්වෙන, කෙළෙස් වැසිවල වේගවත්භාවය නිසාම, වලාකුළු මතින් කඩාහැළෙන ස්වාභාවික වැස්ස විකෘතියක් වෙලා. නමුත් වස්සාන කාලයේ පින්වතුන්ලා තුළ සකස්වෙන්නාවූ, ශක්තිමත් පින් සිතුවිලි නිසාම, චීවර මාසයේදී වැසි ඇදහැළීම ධර්මතාවයක්ම වෙනවා.
මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතේ, වස් ශීලය සමාදන්ව වැඩසිටින කුටිය ඉදිරිපිටින් ගලායන දොළ පාර, හොඳටම සිඳිලා ගිහින් තිබෙන්නේ, වනන්තරේ කොළ රොඩුවලින් වැසී ගිය දොළ පාරේ, පල්වෙච්ච වතුර, තැන් තැන්වල එකතුවී තිබෙනවා. මේ ලිපිය සටහන් තබන මොහොතේත්, කුරුල්ලන් කිහිපදෙනෙක් දොළ පාරේ තැන් තැන්වල රැඳුණු වතුරේ, හොඳ, නරක නොබලාම පියාපත් ගසමින් නානව පේනවා. වැසි සමයේත්, පල්වෙච්ච වතුර නාන කුරුල්ලන් දකිනකොට, භික්ෂුවට සිතුණේ, අනිත පටිච්චසමුප්පන්න භව ගමනේ තමන්ට ලැබුණු වස් කාලයෙන් ප‍්‍රයෝජනයක් නොගත්, මනුෂ්‍යයන්ගේ වර්තමාන පටිච්චසමුප්පන්න ඛේදවාචක යයි. මේ දවස්වල කැලය හරිම විවෘතයි. මහපොළොව මත, අතුරණයක් සේ හොඳින් වියළිලා ඇතිරිලා තිබෙන, කොළ රොඩු මත කටුස්සෙක් දිවගියත් හොඳින් ශබ්ද නැෙඟනවා. පංචනීවරණ යටපත් වූ සිතක, ක්ෂණයෙන් මතුවෙන කෙළෙස් ධර්මයක්, මතුවූ සැණින් හඳුනා ගන්නවා සේ, වියළී ගිය කොළ රොඩු සහිත පරිසරය හඳුනා ගැනීම හරිම පහසුයි.
විදේශගතව කලක් වැඩවාසය කරලා භික්ෂුව මුණගැසීමට කුටියකට පැමිණි ස්වාමින් වහන්සේ නමක්, භික්‍ෂුවගෙන් විමසුවා ‘‘ඔබ වහන්සේ දැන් බෞද්ධ ජනතාව අතර ටිකක් ජනපි‍්‍රයයි, ඔබවහන්සේ කොහොමද මෙහෙම කුටියකට වෙලා විවේකීව වැඩසිටින්නේ කියලා. භික්‍ෂුව එම ස්වාමින් වහන්සේට ලබාදුන් පිළිතුර වූයේ, කැලයේ කුටියක වැඩසිටිනකොට, මගේ සිත කුටිය කියන සංඥාව තුළ නැවතිලා තිබෙන්නේ කියලා. නගරයට වැඩියහම නගරය කියන සංඥාව තුළ විවෘතව කටයුතු කරනවා. ආරණ්‍යයක වැඩසිටින කොට විවෘතව ආරණ්‍යය සංඥාව තුළ වැඩසිටිනවා. ධර්ම දේශනා පවත්වන කාලයට, ධර්ම දේශනා සංඥාව තුළ විවෘතව වැඩසිටිනවා. පසුගිය මාස දෙකේ රට පුරා ධර්ම දේශනා පවත්වපු අවස්ථාවේ, මා තුළ තිබූ ධර්ම දේශනා සංඥාව දැන් භික්ෂුව ළඟ නැහැ. ඒවාට සම්බන්ධ වූ පින්වත් ගිහි පැවිදි පින්වතුන්ලා ගැන කිසිදු සටහනක් දැන් මා ඇසුරේ නැහැ. කුටියක වැඩසිටිනකොට කුටිය කියන සංඥාව තුළ භික්‍ෂුවගේ සිත නැවතිලා. භික්‍ෂුව විවිධත්වය කරා විවෘතව ගමන් කරනවා. ප‍්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින්, නමුත් එක වරකට, එක සංඥාවක් තුළ පමණයි භික්‍ෂුව ස්ථානගත වෙන්නේ. මේ සුන්දර වස්සානය, වස්සානය කියන සංඥාව තුළම භික්ෂුව ගත කරනවා. මෙය බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක අපට දේශනා කොට වදාළ ප‍්‍රතිපදාවයි.
කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන පුළුල් භවත‍්‍රයම ආවරණය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකය කුටිය කියන කුඩා සීමාවට අරගෙන, එම කුටිය කියන සංඥාවත් අනිත්‍ය බව දකිමින් ජීවත් වෙනකොට, සිතට ලොකු නිදහසක්, විවේකයක්, ලැබෙනවා. කුටි සංඥාව ද අනිත්‍ය වශයෙන් දකින නිසාම, එම විවේකය විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන විවේකයක් බවටයි පත්වෙන්නේ. හැමදාමත් කුටියට තනිරකින දසදෙනෙක්ගෙන් පමණ වූ වළිකුකුළු රංචුව, වියළී ගිය කුණු රොඩු අවුස්සමින් ආහාර සොයන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. කුටි සංඥාව තුළ ස්ථානගත වෙච්ච භික්‍ෂුවගේ සිත, හාර අවුස්සා බලන්න භික්‍ෂුවට කිසිම අවශ්‍යතාවක් නැහැ. භික්‍ෂුවගේ සිත වර්තමානය තුළ ප‍්‍රභාෂ්වරව තිබෙනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැසි තුන්මාසයක් භික්‍ෂූන් වන අපිට පනවන්නේ, පුරා මාස නවයක් ස්වාමින් වහන්සේලා වන අපි තුළින් ශක්තිමත් වුණ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, උපයෝගී කොටගෙන, විවේකී වස් තුන් මාසය තුළ ඥායපටිපන්න ගුණය ඇතිකොට ගැනීමටයි. එසේ නොමැතිව, ගිහි පින්වතුන්ලා සමග මුහුවෙලා සුපුරුදු පරිදි පින්කම් කරමින් ජීවත්වීමට නොවේ. භික්‍ෂූන් වහන්සේලා වශයෙන් පුරා මාස නවයක් ප‍්‍රගුණ කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, ඒ කියන්නේ උජුපටිපන්න ගුණයේ ශක්තිය උපයෝගී කොටගෙන විවේකී මනසකින්, ඥායපටිපන්න ගුණය ඇතිකොට ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ඥායපටිපන්න ගුණය කියලා ධර්මයේ හඳුන්වන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය, සම්මා සමාධිය පරිපූර්ණ කොටගෙන, මහා සංඝරත්නය ඇතිකොට ගන්නා වූ ලෞකික චුතූපපාත ඥාන, පූර්වේ නිවාසානුස්සති ඥාන, දිව්‍ය චක්ඛු, දිව්‍ය ශ්‍රෝත ඥාන සහ සෝවාන් සකෘදාගාමි ආදීවූ විදර්ශනාවන් ලෝකෝත්තර ඥානයන්මයි.
වර්තමාන සමාජයේ සද්ධර්මයට අදාළ සූත්‍ර, විනය, අභිධර්ම, ධර්මයන් හොඳින් හැදෑරීම, ධර්මයට සහ අධර්මයට අදාළ විභාග ඉහළින් සමත්වීම, ආචාර්ය, මහාචාර්ය පදවි ලැබීම වැනි ධර්මතාවන් ඥායපටිපන්න ගුණය යැයි වරදවා දකින පින්වතුන්ලා සිටිනවා.
ඥායපටිපන්න ගුණය යනු උජුපටිපන්න ගුණයේ ඵලයයි, උජුපටිපන්න ගුණය යනු සුපටිපන්න ගුණයේ ඵලය වශයෙන් අපි නිවැරැදිව හඳුනා ගන්න අවශ්‍යයි. මේ ති‍්‍රවිධ ගුණයන්ගෙන් පෝෂණය වුණා වූ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් දේශනාකොට වදාළා වූ, උතුම් ශී‍්‍ර සද්ධර්මය, තම අත්දැකීම් තුළින් ලැබූ පන්නරය, ශික්‍ෂණය තුළිනුයි පින්වත් ලෝකයාට ධර්මය දේශනා කිරීමේ සාමීචිපටිපන්න ගුණය ඇතිවෙන්නේ. මේ උතුම් වස්සාන කාලය තුළ මහා සංඝරත්නය වන අප විසින්, ගිහි පින්වතුන් ශ‍්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව පූජා කරන සිව්පසය, මධ්‍යම ප‍්‍රතිපදාවට අදාළව ලබමින්, අපි තුළ ශක්තිමත්ව වැඞී තිබෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රයෝජනයට ගනිමින්, උතුම් ඥායපටිපන්න ගුණයත්, ලෝකයාගේ හිතසුව පිණිස සාමීචිපටිපන්න ගුණයත් ශක්තිමත් කොට ගැනීමේ වගකීමටයි, අපි බැඳී සිටින්නේ. එසේ නොවී, වස්සාන තුන් මාසයත්, ගිහි පින්වතුන්ලා සමඟ ගිහි වගකීම්, පින්කම් උදෙසාම අපි කැපවුණොත් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ වස්සාන කාලය පැවිදි අපගේ ජීවිතවලට, ඥායපටිපන්න ගුණයේ ඉඩෝරයම එකතුකොට ගත්තා වෙනවා. අපගේ උතුම් ඥායපටිපන්න ගුණය ඉඩෝරයට හසුවූ තැන, ලෝකයට නිවන් මඟ අර්ථාන්විතව මතුකොට දෙන, සාමීචිපටිපන්න ගුණයේ සිසිල් දිය කඳ සිඳී යෑමේ, අනතුර කරාම සමාජය ගමන් කරනවා. මේ උතුම් වැසි සමයේදී, පැවිදි සමාජයේ අපි සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක දකිමින්, ලෞකික බන්ධනයන්ගේ විෂම දුක දකිමින්, සුපටිපන්න ගුණය තව තව ශක්තිමත්කොට ගනිමින්, දුකින් මිදීමේ, දුක නැතිකොට ගැනීමේ එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගනිමින්, උජුපටිපන්න ගුණයේ ශක්තිමත්භාවය තුළ සකස්කොට ගන්නා ඥායපටිපන්න ගුණයත්, සාමීචිපටිපන්න ගුණයත් ශක්තිමත්කොට ගැනීමේ වීර්ය අපි තුළ ඇතිකොට ගතහොත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වස් ශීලය පැනවීමෙන් බලාපොරොත්තු වූ අරමුණ, සංඝ සමාජයේ අපි විසින් නිවැරැදිව ඉටුකළා වෙනවා. වස් ශීලයන් අධිෂ්ඨාන කරන, ඇසළ පොහොයට පෙරාතුව, ගෙවී ගිය වසරේ අපි තුළ වැඩුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව, ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථය, මෛති‍්‍රය, සමාධියේ ශක්තිය, සිදුකොට ගන්නා වූ පින්කම්, තුළින් රැස්කොට ගන්නා වූ සෑම කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යතාවය, මේ වස් තුන්මාසය තුළ සුමගින් දකිමින් ජීවත් වෙමින්, සංස්කාරයන්ගේ යථා ස්වභාවය මතුකොට දැකීමට අපි දක්‍ෂ වුණොත් එම දක්‍ෂතාවයම අපගේ උතුම් ඥායපටිපන්න ගුණයට ශක්තියක් වුණා වෙනවා.
දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති, මුළු පරිසරයම හරිම නිහඬයි. විටෙක හඹා එන සුළඟ මොහොතකින් නවතිනවා, රාති‍්‍ර නින්දට යෑමට පෙරාතුව, කුරුල්ලන් නඟන විවිධ කුරුලූ නාදයන්, පරිසරයේම කොටසක් බවට පත්වෙලා. තෘෂ්ණාවේ දෙවැනියෙක් ළඟ නොනැවතුණ, භික්‍ෂුවගේ සිත ද, නිහඬ පරිසරය වගේමයි, සිත තුළ මතුවෙන විදර්ශනාත්මක පී‍්‍රතිය, පස්සද්ධිය මේ සන්ධ්‍යාවේ පරිසරයේම කොටසක් බවට පත්වූ කුරුල්ලන්ගේ නාදයන් වගේ, වෙන්ව දකින්න බැහැ, වෙන් කරන්නත් බැහැ, විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයත්, විවේකී සිතක කොටසක්ම වෙනවා. සමාජය නිරතුරුවම කියන දෙයක් තමයි, ලෝකය හරිම දුකයි, ලෝකය හරිම අමිහිරියි, ලෝකය හරිම දරුණුයි කියලා. විවෘත සමාජය ඉදිරියේ මේ කතාවන් ඇත්ත වුණත්, සැබෑ ලොව්තුරා ධර්ම මාර්ගය ඉදිරියේ, ඉහත කතාවන් සියල්ලක්ම බොරු වෙනවා. තෘෂ්ණාවේ දෙවැනියෙක් ළඟ නැති, භික්‍ෂුවගේ ජීවිතය, දුකෙන් බැහැර වූ විදර්ශනාත්මක සප්ත බොජ්ඣංග ධර්මයන්ම ජීවිතය කොටගන්න ජීවිතයක් වෙනවා.
වස් තුන් මාසය තුළ මහා සංඝරත්නය උතුම් සංඝරත්නයේ ගුණයන් තුළ වැඩසිටිමින් උතුම් ඥානසම්පන්න ගුණය උදෙසා වීර්යය වඩන විට, පින්වත් ගිහි පින්වතුන්ලාට මහා සංඝරත්නය කියන අර්ථය උතුම් පින් කෙතක්ම වෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසලයක් බවට බුදුරජාණන් වහන්සේ පනවන්නේ, මේ උතුම් ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත් වූ පින් කෙතේ සශ‍්‍රීක අස්වැන්නේ ශක්තිය දැකලාමයි.