ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලෙහි එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13) කියා සිටියේය.
එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත් විදේශ විනිමය වියදම් අඩු කර අනුපාත ශක්තිමත් කර ගැනීමටත්, සෞඛ්‍ය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයන මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමත් එම තීරණය ගැනීමේ අරමුණ බවත් එහි සඳහන් කර තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැතිවරයාගේ සහ විෂය භාර ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමු වූ බවද එහි දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර තිබේ. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යෑම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල අ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.
ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරන රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.ඩො.මිලියන 3,67කි.
වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී අ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.
බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.
විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.
දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.
එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.


