කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC) බ්‍රිතාන්‍යයේ Global Marine Systems Limited සමාගම සඳහා අති නවීන මුහුදු පතුලේ කේබල් එළීම හා අලුත්වැඩියා කිරීමේ නෞකාවක් (Cable Laying and Repair Vessel) ඉදිකිරීමේ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුවා.
Global Marine Systems සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී Simon Hibberd මහතා ද, Colombo Dockyard PLC වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමිර එස්. ගොඩකුඹුර මහතා ද මේ අවස්ථාවට එක්වුණා.
මෙම නෞකාව මුහුදු පතුලේ ෆයිබර් ඔප්ටික් සන්නිවේදන කේබල් එළීම, අලුත්වැඩියා කිරීම සහ Remote Operated Vehicle (ROV) තාක්ෂණය භාවිතයෙන් පරීක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් සැලසුම් කර තිබෙනවා.
නවීන තාක්ෂණයෙන් සමන්විත පරිසර හිතකාමී නෞකාවක්
මෙම නෞකාව නෝර්වේහි Vard Design AS සමාගම විසින් සැලසුම් කර ඇති අතර, අඩු ඉන්ධන පරිභෝජනය, වැඩි වේගය සහ අඩු කාබන් විමෝචනයක් සහිත පරිසර හිතකාමී සැලසුමකින් යුක්ත වේ.
නෞකාව Bureau Veritas ජාත්‍යන්තර වර්ගීකරණ ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකෙරෙන අතර, BV CLEANSHIP පාරිසරික ප්‍රමිතීන් ද සපුරාලනු ඇති. මෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ,
- දිග – මීටර් 100
- පළල – මීටර් 18.8
- ගැඹුර – මීටර් 7.15
- බර ධාරිතාව – ටොන් 1,800 (DWT)
- උපරිම වේගය – නාවික සැතපුම් 14.5
- පුද්ගලයින් 76 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම්
- ෆයිබර් ඔප්ටික් කේබල් රැගෙන යාම සඳහා කේබල් ටැංකි 3ක්
නෞකාව ඩීසල්-විදුලි (Diesel-Electric) බල පද්ධතියකින් ක්‍රියාත්මක වන අතර Azipod ප්‍රචාලක පද්ධතිය, Tunnel Thrusters, Integrated Automation System සහ Power Management System වැනි අති නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත වේ.
කොළඹ ඩොක්යාර්ඩ් ජාත්‍යන්තර විශ්වාසය දිනාගනී
Colombo Dockyard PLC මීට පෙර 2019 වසරේ ජපානය සඳහා KDDI Cable Infinity නමැති මීටර් 113ක කේබල් එළීමේ නෞකාව සාර්ථකව ඉදිකරනු ලැබුවා.
2023 වසරේ ප්‍රංශය සඳහා Sophie Germain නමැති මීටර් 100ක කේබල් එළීම හා අලුත්වැඩියා කිරීමේ නෞකාවද නිෂ්පාදනය කර භාරදී ඇති අතර, එහි සාර්ථකත්වය හේතුවෙන් ප්‍රංශය සඳහා තවත් නෞකා දෙකක් මේ වන විට ඉදිකෙරෙමින් පවතින අතර, ඒවා 2028 සහ 2029 වසරවල භාරදීමට නියමිත බය කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය පවසනවා.
Global Marine Systems සඳහා ඉදිකෙරෙන මෙම නව නෞකාව 2029 සැප්තැම්බර් මාසයේදී භාරදීමට සැලසුම් කර තිබේ.
යුරෝපා වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට නව පිළිගැනීමක්
මෙම ගිවිසුමත් සමඟ කේබල් එළීම හා අලුත්වැඩියා කිරීමේ නෞකා ඉදිකිරීමේ ලෝකයේ විශ්වාසදායක නෞකා නිෂ්පාදකයෙකු ලෙස Colombo Dockyard PLC තවත් වරක් සිය හැකියාව තහවුරු ඇත.
එමෙන්ම යුරෝපා නෞකා හිමියන්ගේ විශ්වාසය දිනාගත් නෞකා ඉදිකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ ස්ථාපිත කිරීමටද මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් වනු ඇති.
නෞකා ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා විදේශ විනිමය උපයා දීමේදී Colombo Dockyard PLC ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන අතර, රටේ සමුද්‍රීය කර්මාන්තයේ සහ කාර්මික සංවර්ධනයේ ඉදිරි ගමනටද මෙවැනි ව්‍යාපෘති විශාල ශක්තියක් වනු ඇත.



