විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවා කාලයද දීර්ඝ කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, හමුදා සාමාජිකයන් බොහෝ දෙනෙකු වසර 20ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම යාම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ වඩාත්ම වගකීම් සහිත අවධියක සමාජීය හා ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි.හමුදා සෙබළුන් වසර 20කින් විශ්‍රාම යන විට ඔවුන්ගේ වයස අවුරුදු 45ක් පමණ වෙනවා. ඒ කාලය තමයි දරුවන් විභාගවලට පෙනී සිටින, පවුලේ වැඩිම වගකීම් තියෙන කාලය. ඒ වයසේදී අලුතින් රැකියාවක් සොයා ගැනීමත් පහසු නැහැ. යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ලෝකයේ දියුණු රටවල හමුදා සේවා ක්‍රමවේදයන් පිළිබඳ සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ, ඇමරිකාව වැනි රටවල ඉහළ හමුදා නිලධාරීන් වැඩි වයසක් දක්වා සේවය කරන බවයි.
“මම හමුදා සේවයෙන් ඉවත් වෙලා දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් මට අදත් හමුදාවට අණ දෙන්න පුළුවන්. කායිකවත් මානසිකවත් මම හොඳ තත්ත්වයක ඉන්නවා.”යනුවෙන්ද ෆීල්ඩ් මාර්ෂල්වරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීමෙන් ඔවුන් සතු පළපුරුද්ද සහ විශේෂඥතාව රටේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් යොදාගත හැකි බවද ඔහු අවධාරණය කළේය.


