Tuesday, July 21, 2026
Homeදේශීයසැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත...

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ලංකාවේ දැරියන් සහ තරුණියන් සවිබල ගැන්වීමේ ප්‍රමුඛතම ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සුරතින් දැරියන් වෙත පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරිණි.

file

​මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී දැරියන්ගේ විනය, ඔරොත්තු දීමේ හැකියාව, අඛණ්ඩතාව සහ අනුන්ට සේවය කිරීමේ කැපවීම අගයමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මාන 338ක් සහ අගමැති බාලදක්ෂිකා සම්මාන 12ක් බැගින් සමස්ත සම්මාන 350ක් ප්‍රදානය කෙරිණි.

file

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඇති ප්‍රධානතම ශක්තියක් වන්නේ පසුබිම හෝ හැකියාව කුමක් වුවත් සෑම දරුවෙකුටම එක හා සමානව අවස්ථා ලබා දීමයි. ඒවගේම , තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව කටයුතු කිරීම, සහකම්පනයෙන් යුතුව සවන්දීම සහ අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමත් සැබෑ නායකයෙක් ගේ ලක්ෂණයක්.

අතීතයේ කාන්තාවන්ට තිබුණේ සීමිත අවස්ථාවන් නමුත් අද සියලු අංශයන් තුළ තරුණියන් වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම තරුණියන් වෙනදාට වඩා සියළු අංශයන්ගෙන් ඉදිරියට එමින් තිබෙනවා. හැම තරුණියකටම, ගැහැණු දරුවෙකුටම ඉදිරියට එන්න, සංවර්ධනය වෙන්න සමාන අවස්ථාවන් හිමි විය යුතුයි. අදට වඩා යහපත් රටක් වෙනුවෙන් තරුණ නායිකාවන් වන ඔබ ඉදිරියට එන්න අවශ්‍යයි.

විශේෂයෙන්ම ​වත්මන් ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මධ්‍යයේ තිරසාර ජාතික ප්‍රගතියක් කරා ගමන් කිරීමට නම් ආර්ථික වර්ධනය පමණක් නොව, සදාචාරාත්මක සහ සමාජීය වගකීම් සහිත පුරවැසියන් පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ඉටුකරන මෙහෙවර අගය කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවා ය.

READ:   සෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි - ජනාධිපති (VIDEO)

​”සූදානම්ව සිටින්න” (Be Prepared) යන ආදර්ශ පාඨය පෙරදැරි කරගත් බාලදක්ෂිකා ව්‍යාපාරය 1917 මාර්තු 21 වන දින මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ජෙනී කැල්වර්ලි ග්‍රීන් මෙනෙවිය විසින් මෙරට ප්‍රථම වරට ආරම්භ කරන ලදී. වයස් කාණ්ඩ සහ දක්ෂතාවලට අනුව සමනළි, කුඩා මිතුරී, බාලදක්ෂිකා, රේන්ජර්, තරුණ, විවිධ දක්ෂතා සහිත සහ ප්‍රජා බාලදක්ෂිකා ලෙස ශාඛා හතක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය තුළ බාලදක්ෂිකාවකට ලැබිය හැකි ඉහළම ඇගයීම “ජනාධිපති බාලදක්ෂිකා සම්මානය” වන අතර ​තම මූලික අභියෝගතා, ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ මෙන්ම ‘බී.පී. අභියෝගතාවය’ (BP Challenge) සාර්ථකව නිම කරන බාලදක්ෂිකාවන් පමණක් මෙම ඉහළම ඇගයීමට පාත්‍ර වේ. රේන්ජර් බාලදක්ෂිකා අංශයේ ඉහළම ඇගයීම ලෙස අගමැති සම්මානය පිරිනැමීම ද සිදු කෙරේ.

file

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ස්වර්ණිකා පිටිගල , ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂන්තා , හේරත් ජනාධිපති බාලදක්ෂිකා කොමසාරිස් පුෂ්පා පෙරේරා , අගමැති බාලදක්ෂිකා කොමසාරිස් අරුණි කරුණාරත්න මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළු ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්