
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට, එහි ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාලබේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. මාලබේ පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරි සැරයන් රුවන් කරුණාදාස මහතා (69042) අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මාලබේ, තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියගොස් ඇති බවත්, ඔහුගේ මෘත දේහය නැඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ තැන්පත් කර ඇති බවටත් රෝහල් පොලීසිය මඟින් මාලබේ පොලීසියට දැනුම් දී තිබුණි. පොලීසියේ ඉල්ලීම පරිදි, වෙඩි වැදීම සිදුවූ තලාහේන පිහිටි නිෙවස වෙත ගිය කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අදාළ අපරාධ ස්ථානය නිරීක්ෂණය කළේය.
මේ අතර, අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් කසුන් කංචන දසනායක මහතා නැඟෙනහිර කොළඹ මූලික රෝහල වෙත ගොස් මෘත දේහය පරීක්ෂා කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතු සහිත වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය. පරීක්ෂණයෙන් පසු මෘත දේහය හිටපු පොලිස්පතිවරයාගේ පුත් විනුර වික්‍රමරත්න මහතා වෙත භාරදීමටත්, අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමටත් අධිකරණය අවසර ලබා දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් සහ සහකාර පොලිස් අධිකාරි නිරෝෂන් මහතාගේ අධීක්ෂණය යටතේ, මාලබේ පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.
නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක
උපුටා ගැනීම – දිනමිණ


