දේශීය

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ “පැරකුම් ලෙගසි” සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (18) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති සැලසුම් කර ඇත. ඒ අනුව, ඇතුමල් වැව ආශ්‍රිතව කයැකින් පහසුකම්, පාරම්පරික බෝට්ටු සවාරි, වනජීවීන් නැරඹීම සඳහා පහසුකම්, අත්කම් නිර්මාණ ගම්මානයක්, වෙළෙඳ කුටි, දේශීය හා විදේශීය ආහාර රසවිඳීමේ පහසුකම් ඇතුළු සංචාරක පුරවරයක් ලෙස ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ගම්මාන සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්, ග්‍රාමීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කෙරේ

“පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි. එමෙන්ම “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් වෙන් කර ඇති අතර, ඊට අමතරව රුපියල් මිලියන 100ක (කෝටි 10ක) මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, සංචාරකයන් ප්‍රදේශයට ආකර්ෂණය කර ගැනීම හරහා නව ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීම, දේශීය නිෂ්පාදන සඳහා නව වටිනාකමක් එක් කරමින් ජාතික ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බව ද අමාත්‍යවරයා පැවසීය.

“ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ “ප්‍රජා ශක්ති” ජාතික මහලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනාගනු ලබන සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

තවද, මෙය මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික ධනය නොව මහජනතාවගේ බදු මුදල් බවත්, එබැවින් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක්ව එම මුදල් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් කළමනාකරණය කරමින් ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නිවාස සංවර්ධන හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති ලලිත් තිස්ස කුමාර මහතා, පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත කුමාර මහතා, තම්න්කඩුව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රතිලාභීන්, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago